ගොඩනැගිලි පිහිටා ඇති භූමි ප්‍රමාණයට වඩා ගස් වැල් මලින් පිරීගිය ඉඩ ප්‍රමාණය ඉතා ඉහළ මෙන්ම ඉතා අඩු කාබන්ඩයෝක්සයිඩ් ප්‍රමාණයෙන් යුත් අවකාශයක සිසිලස මුළු ගත හිත පුරා විද ගන්නට හැකියාව ලැබෙන නගරයක ඇවිදින්නට යන්නට ඇත්නම්.

එවන් නගරයක එසේ ඇවිදා යෑම ලියන්න පවා හිතන්නටවත්  පුළුවන්ද? ඔබේ සිතට එසේ ප්‍රශ්ණයක් පැන නැගීම ඉතාමත්ම සාධාරණයි. වර්තමාන ස්භාවික පරිසරය හා ඈදුණු මිනිස් නගර නිර්මාණකරණය කොතරම් දුරට ස්වභාවිකත්වය විකෘති කර ඇත්දැයි  අප සියළු දෙනා ඉතා හොදින් දන්නවා. නමුත් මේ සිතුවිල්ලට පන පොවන්නට පින්ලන්ත රජයේ බලධාරීන් මේ වන විට කටයුතු සුදානම් කරමින් සිටිනවා. මනුෂ්‍යන්ට අවශ්‍ය සියළුම නාගරික පහසුකම් ලබා දෙමින් ස්වභාවික නගරයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ මූලික අරමුණයි.

ඉතින් අද ලිපිය ලියැවෙන්නේ පින්ලන්තයේ හෙල්සින්කි නගරය 2050 වන විට මෝටර් රථ වලින් තොරව අවම කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ජනනය වන නගරය බවට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවයි. සාර්ථක වේවිද? අසාර්ථක වේවිද? විවිධ නිරීක්ෂකයන් විවිධ ආකාරයෙන් අදහස් මේ වන විට පළකරමින් සිටිනවා.

හෙල්සින්කි නගරයේ වත්මන් තත්වය

හෙල්සින් නගරයේ වන ආවරණය. (visitfinland.com)

යුරෝපා මහද්වීපයේ බෝල්ටික් කලාපයේ කොනක පිහිටි පින්ලන්තයේ ප්‍රධාන නගරය වන “හෙල්සින්කි වරාය නගරය” පුරාණ කාලයේ පටන් පැති තුනකින් මුහුදින් වට වූ  හරිත නගරයක් ලෙස ලොව පුරා ඉතාමත්ම ප්‍රසිද්ධයි. වර්තමනයේ හරිත නගර අතරින් ලෝකයේ නව වන ස්ථානය දින සිටින්නේ මේ නගරයයි. වායු දුෂණය අවම නගර අතින් හත්වන ස්ථානය හිමි වී තිබෙන්නේ හෙල්සින්කි නගරයටයි.

වන රෝපණයෙන් සමන්විත උද්‍යානමය නගරයක් වන මෙහි මුළු භූමියෙන් වර්තමානය වන විට 40%ක් වෙන් කර තිබෙන්නේ ස්භාවික පරිසරය සඳහායි. ලක්ෂ හයක පමණ කුඩා ජනගහනයක් වර්තමානය වන විට මෙහි නේවාසිකයන් වෙනවා.

2050 වන විට මෝටර්රථ තහනම් කිරීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට ඔවුන් ඒ සඳහා වඩා වැදගත් පියවර කිහිපයක්ම ගෙන තිබෙනවා. උසස් මට්ටමේ පොදු ප්‍රවාහන සේවාවක් හදුන්වා දීම, පොදු පහසුකම් නිවසටම සපයා දෙන හරිත නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, පා ගමනින් යාමට ජනයා උනන්දු කරවන ආකාරයේ මාර්ග පද්ධතියක් ගොඩ නැගීම හා මෝටර් රථ ගාල් කිරීමේදී අය කරන ගාස්තුව ඉහළ දැමීම ඒ අතර ගත් ප්‍රධාන ක්‍රියාමාර්ග වෙනවා.

තම නිවසේ සිට වැඩ කරන ස්ථාන දක්වා වැඩි දුරක් ගමන් කිරීමට සිදු වන පුද්ගලයන්ට සුඛෝපභෝගී බස් රථ, හා දුම්රිය ගාස්තුව පහළ දැමීම සිදු කර තිබෙනවා. එමගින් කබන්ඩයෝක්සයිඩ් විමෝචනය අර්ථවත් ආකාරයෙන් අඩු කරගැන්මට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.

අනාගතය සඳහා සැළසුම

නුදුරු අනාගතයේදී ජන සංඛ්‍යාව ඉතාමත් ඉහළ යාමක් (2050 වන විට 40%කින් එනම් පුද්ගලයන් දෙලක්ෂ පනස්දහසකින්) අපේක්ෂා කරන හෙයින් පරිසර හිතකාමී සංකල්පය තව දුරටත් රැක ගැනීම උදෙසා හෙල්සින්ක් උපාය මාර්ගික සැලසුම් අංශය මේ වන විට නවතම යෝජනා සමූහයක් රැගෙන විත් තිබෙනවා.

දැනට පවතින තත්වය අනුව වර්තමානයේ  20%ක කාබන් විමෝචනයක් ඇති ප්‍රවාහන සේවය 2050 වන විට 30%ක අගයක් දක්වා ඉහළ යන බව තක්සේරු කර තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වන හෙල්සින් නගරයේ නාගරික සැලසුම් කරුවෙකු වන ඇල්පෝ ටානි –

“කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වත්මන විට ක්‍රමයෙන් අඩු කිරීමට අපිට හැකියාව ලැබී තිබුනත් 2050 වන විට එය සම්පුර්ණයෙන් අහෝසි කිරීමට තව දුරටත් අප වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු වෙනවා. එනම් 2050 වන විට නගරය වට වී ඇති වන ගහනයෙන් උකහා ගතහැකි ප්‍රමාණයට පමණක් කාබන්ඩයෝක්සයිඩ් නිකුත් කිරීම සිදු කරනවා”

ප්‍රධානතම යෝජනාව වන්නේ පෞද්ගලික මෝටර්රථ නගරය තුළට ඇතුල් වීම තහනම් කිරීමයි. ඒ මගින් අපේක්ෂිත අයුරින් වායු දුෂණය අවම වන බව ඔවුන් පෙන්වා දෙනවා. උපාය මාර්ගික සැලසුම් අංශයේ අධ්‍යක්ෂ රික්ගාඩ් මහිනියන් පවසන අන්දමට අනෙක් සංකල්පය වන්නේ පොදු ප්‍රවාහන ගමනාගමන පද්ධතිය නිවාස පද්ධතිය හා එකාබද්ධ කිරීමයි. මෙහි එක් පියවරක් ලෙස නව ගොඩනැගිලි සියල්ලම ඉදි කරන්නේ ප්‍රධාන ප්‍රවාහන පද්ධතිය ඉදිකරන ප්‍රදේශය තුළයි. වෙළදපොළ, පාසල්  හා සේවා ස්ථාන නිවසේ සිට පයින් යා හැකි දුරක් පිහිටුවීමත් මෙහිදී සිදුවෙනවා.

ව්‍යාපෘතිය සඳහා විවේචන

2050 වන විට සියළුම පුද්ගලික මෝටර් රථ ධාවනය තහනම් වේ. (smithsonianmag)

විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කිරීමට නගරවාසීන් සියළු දෙනාම එකහෙළා තම අනුමැතිය පළකලත් පෞද්ගලික මොටර්රථ ධාවනයෙන් ඉවත් කිරීම පිළිබඳව ඔවුන් එතරම් කැමැත්තකින් පසු වන්නේ නෑ. විවේචනයට මූලිකම හේතුව වන්නේ කුඩා අර්ධද්වීපයක පිහිටා තිබෙන මෙම නගරය සංවර්ධනය කරා ගමන් කිරීමේදී සෙමෙන් සිදුවන ප්‍රවාහනය හා සැපයුම් මඟින් සංවර්ධන වේගය මන්දගාමී කරන බවයි.

එසේම නව ප්‍රවාහන පද්ධතිය සමඟ එක් වූ ගෘහ හා අනෙකුත් නිර්මාණ පද්ධතිය ඉදි කිරීම මගින් නගයේ ඉඩ ප්‍රමාණය තවදුරටත් පුළුල් වන බව තවත් මතයක්. මෙය ඉදිරිපත් කරන්නේ හෙල්සින්කි වාණිජ මණ්ඩලයයි. ඔවුන් වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටිනවා.

“උපාය මාර්ගික සැලසුම් අංශය කියන්නේනම් මෙම ව්‍යපෘතිය මගින් නගර ප්‍රමාණය  කුඩා වන බවයි. නමුත් ඒ තුළින් නගරය පුළුල් වීමක් තමයි වෙන්නේ. පුළුල් නගරයකින් මෝටර්රථ ඉවත් කිරීම යථාර්තවාදී ක්‍රියාවක් නොවේ. එම නිසා මේ සැලසුම් අසාර්ථක වේවි.එසේ ප්‍රකාශ කරන්නේ හෙල්සින්කි වාණිජ මණ්ඩලයේ ප්‍රධානී හෙක්කි කොවනන්ය.

මොටර්රථ හිමියන්ගෙන් කොටසක් පවා මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. නමුත් පොදු වශයෙන් ගත කළ ජනතාවගේ මේ පිළිබඳව තිබෙන මතය ඉතාමත්ම සුබදායි එකක්.

නගරය තුළ ජලාශ. (greencitytrip)

වසර 2050 වන විට ඔවුන් මෙම ව්‍යපෘතිය ඉටු කර සාර්ථක ඵල නෙලාගන්න තුරු අප මෙන්ම මුළු මහත් ලෝකයම ඒ දෙස බල සිටිනවා. ඉතින් මේ සංකල්පය අප රටටත් ගැලපෙයිද  මොහොතක් ඒ පිළිබඳව සිතා ඔබට හැගෙන ආකාරය කියා යන්න අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: moneysupermarket.com