Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විඳවමින් මියයාම – කුරුසිපත් කිරීම

කුරුසිපත් කිරීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිශය කෘර දඬුවම් ක්‍රමයකි. කුරුසිපත් කිරීම ලොව පුරා කතාබහකට ලක්වූයේ ක්‍රිස්තියානි ආගමේ ශාස්තෘවරයා වූ ජේසුස්වහන්සේව මෙසේ කුරුසිපත් කිරීම නිසාවෙන්. නමුත් ඊට පෙර අවධිවල දී විවිධ ජාතීන් විසින් කුරුසිපත් කිරීම තම දඬුවම් ක්‍රමයක් වශයෙන් යොදාගෙන තිබුණු බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙම ලිපියෙන් ඔබ හමුවට තැබීමට යන්නේ කුරුසිපත් කළ විවිධ ආකාරයන්, සහ මේ සම්බන්ධ ඓතිහාසික සිදුවීම් පිළිබඳව යි.

කුරුසිපත් කිරීම ගැන පුරාණ ඉතිහාසයෙන්

පළමුවන ඩේරියස් (ක්‍රි.පූ. 522 – ක්‍රි.පූ. 486) රජුගේ කාලයේ දී බැබිලෝනියාවේ නගරයක් පර්සියානු ආධිපත්‍යයට පිටුපා ඔවුන්ට විරුද්ධව කැරලි ගැසුවේ ය. මෙය සිදු වූයේ ක්‍රි.පූ 522 – ක්‍රි.පූ. 521 අතර කාලයේ දී යි. ඩේරියස් රජු මෙම නගරය නැවත අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කළේ ය. ඒ අනුව පර්සියන්වරුන් එම නගරයට පහර දුන්නේ ය. නගරයේ අයවලුන් නගරයේ දොරටු මාස 19ක් පුරාවට රැකගෙන සිටියත් පර්සියන්වරුන් අවසානයේ නගරයේ දොරටු හා බිත්ති බිඳ දැමුවේ ය. හෙරඩෝටස්ගේ වාර්තා අනුව ඩේරියස් රජු මෙම නගරයේ ඉහළ තනතුරුවල සිටි 3000 පමණ පිරිසක් කුරුසිපත් කරන ලදී. එසේ කළේ මෙවැනි කැරලි කෝලහාලවලට දඬුවම එය බව දැන්වීමට යි.

ජේසුස්වහන්සේව කුරුසිපත් කිරීම දැක්වෙන සිතුවමක් (The Coversation)

ක්‍රි.පූ. 332 දී මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් ටයිරය ආක්‍රමණය කළේ ය. ඒ වන විට පර්සියන්වරු මෙම නගරය නාවික කටයුතු සඳහා මූලස්ථානයක් ලෙස යොදාගෙන තිබුණි. ඇලෙක්සැන්ඩර් රජුගේ හමුදාවට ජනවාරි සිට ජූලි දක්වා කාලයක් මෙම නගරය අල්ලා ගැනීමට ගිය අතර, මෙම නගරය අල්ලා ගත් පසු 6000 පමණ මිනිසුන් එදින ඝාතනය කළ බව සඳහන් වේ. මෙයින් 2000ක් පමණ මිනිසුන් මුහුදු වෙරළේ කුරුසිපත් කළ බව සඳහන්.

පුරාණ රෝමයේ දඬුවම් ක්‍රම අතරින් කුරුසිපත් කිරීම යනු ප්‍රධාන දඬුවම් ක්‍රමය නොවේ. විශේෂ අවස්ථාවල දී පමණක් මෙම ක්‍රමය භාවිතා විය. සොරකම් කිරීම් හා කැරලි ගැසීම්වල දී වහලුන්ව කුරුසිපත් කරන ලදී. රෝමානු පුරවැසියෙකුව කුරුසිපත් කළේ ඉතාමත් බරපතල චෝදනාවක් ඔහු වෙත එල්ල වුවහොත් පමණි. එනමුත් පසු කාලීනව මෙය වෙනස් වී කුඩා වරදක් කළ අයවලුන්වත් කුරුසිපත් කරන ලදී.

ස්පාර්ටකස් නම් රෝමානු වහලෙක් capua හි පිහිටි ග්ලැඩියේටර් පුහුණු කඳවුරකින් තවත් වහලුන් 78 දෙනෙකු සමග පැන ගියේ ය. මොහු පැනගොස්, තවත් වහලුන් එකතුකරගෙන විශාල හමුදාවක් සාදාගෙන රෝමානු රජයට විරුද්ධව කැරලි ගසන ලදී. කෙසේ වෙතත් අවසානයේ රෝමානු ජෙනරාල්වරයෙක් වූ ක්‍රසස් මෙම කැරැල්ල මර්ධනය කළේ ය. ස්පාර්ටකස්ව ඝාතනය විය. එමෙන්ම මේ හේතුවෙන් රෝමානු ඉතිහාසයේ විශාලතම කුරුසිපත් කිරීමේ සංහාරය සිදුවිය. රෝමයේ සිට Capua දක්වා මාර්ගයේ එක දිගට මිනිසුන් 6000කට අධික ප්‍රමාණයක් කුරුසිපත් කරන ලදී.

මඟ දිගට කුරුසිපත් කිරීමක් දැක්වෙන සිතුවමක් (pinterest.com)

කුරුසිපත් කිරීම ජුදෙව් ජාතීන් දඩුවම් දුන් ක්‍රමයක් බව බයිබලයේ සඳහන් නොවේ. එනමුත් ජුදෙව් වාචික සම්ප්‍රදායට (මිෂ්නා) අනුව එල්ලා මැරීම් සිදු කර ඇත. ක්‍රි.පූ. 126 – 76 දක්වා කාලයේ සිටි ඇලෙක්සැන්ඩර් ජන්නෙවුස් විසින් ජුදෙව් දේශපාලනික සතුරන් 800ක් පමණ කුරුසිපත් කළ බව සඳහන් වේ.

ජපානයට කුරුසිපත්කිරීම් හදුන්වා දී තිබෙන්නේ සෙන්ගොකු අවධියේ දී ය. එනම් ක්‍රි.ව. 1467 – 1573 අතර කාලයේ දී ය. මීට සමාන හරිත්සුකේ නම් නම් ක්‍රමයක් කමකුරා අවධියේ දී ජපානයේ භාවිතා වී ඇත. 1597 දී ජපානයේ නාගසාකිවල දී ක්‍රිස්තියානි පුද්ගලයන් 26 දෙනෙක් කුරුසිපත් කර ඇත. ඒ අතර සාන්තුවරයන් කිහිපදෙනෙක් සිට ඇත.

කුරුසිපත් කළ අකාරය

කුරුසිපත් කිරීමේ දී අතට ඇණ ගසා ඇත. බයිබලයේ සඳහන් වන ආකාරයට ජේසුස්වහන්සේගේ අල්ලට මෙම ඇණ ගසන ලදී. එනමුත් අල්ලට ඇණ ගැසුවානම් ශරීරයේ බර එයට දරා සිටිය නොහැකියි. එම නිසා ඇණ ගැසුවේ අතෙහි මැණික්කටුවට බව පොදු පිළිගැනීම යි. ඒත් සමග අත ලණුවලින් ගැට ගසා තිබී ඇත. බයිබලයේ උක්ත සඳහන් කළ කරුණ පරිවර්තන දෝෂයක් බව බයිබල් විශාරදයන්ගේ මතය යි. එමෙන්ම අලුත් ගිවිසුමේ ශුභාරංචි පොත් අතරින් මුලින්ම ලියැවුනු කෘතිය වූයේ ශුද්ධ වූ මාක්ගේ ශුභාරංචිය යි. මෙය ලියැවුනේ ක්‍රි.ව. 60 – 70 අතර කාලයේ දී ය. මේ වන විට ජේසුස්වහන්සේ මියගොස් වසර 30ක් පමණ වේ. එමනිසා නිසැකවම ඇණ ගැසුවේ අල්ලට ද යන වග ඔවුන්ට පැවසීමට නොහැකි වීම සාමාන්‍ය කාරණාවකි. ජේසුස්වහන්සේ කුරුසිපත් කරන විට උන්වහන්සේගේ ගෝලයෝ බියෙන් විසිරී සිටියේ ය. පසුකාලීනව යි මොවුන් එක්වී ධර්මය ප්‍රචාරය කරන ලද්දේ. එම නිසා ජේසුස්වහන්සේගේ අල්ලටම ඇණ ගැසූ බව නිශ්චිතවම පැවසිය නොහැකියි. මෙම ඇණයක් 11.5 cmක් පමණ විය.

කුරුසිපත් කළ ක්‍රම කිහිපයක් (pinterest.com)

කුරුසිපත් කිරීමට එකල සම්මත ක්‍රමයක් නොවී ය. කුරුසිපත් වන පුද්ගලයා කුරුසිය තමන් කුරුසිපත් කරන ස්ථානය වෙත රැගෙන යා යුතු විය. එනමුත් සමහර ඉතිහාසඥයන් පවසන පරිදි සම්පූර්ණ කුරුසියම උසුලාගෙන යා යුතු වුයේ නැත.

කුරුසිපත් කිරීම සඳහා බොහෝ විට යොදාගත්තේ දැවවලින් සාදන ලද කුරුසියකි. මෙහිදී ලණුවලින් අත් හා පය ගැටගසා අතට ඇණ ගැසුවේ ය. විටෙක කකුල්වලටත් ඇණ ගැසුවේ ය. මරණය වේගවත් කිරීමට සමහර අවස්ථාවල දී මොවුන් එල්ලන පුද්ගලයාගේ කකුල් කඩන ලදී. මෙම ක්‍රමයේ දී ක්ෂණික මරණයක් අත් නොවේ. ක්‍රම ක්‍රමයෙන් විඳවමින් මැරෙයි. පුද්ගලයා කුරුසිය මත සිටිනා විට මියගියේ ද නැද්ද යන්න දැන ගැනීමට සිරුරට ඇන බලයි. ජේසුස්වහන්සේ ද මියගියේද නැද්ද යන වග දැන ගැනීමට රෝමානු සොල්දාදුවන් හෙල්ලයෙන් බඩට ඇන බැලූ බව දැක්වේ. කුරුසිපත් කිරීමේ දී කකුලට ඇන ගසන ලද්දේ කකුල දෙපැත්තට සිටින ලෙසට යි.

මෙම දඬුවම් ක්‍රමයේ දී විටෙක තනි කනුවක් පමණක් යොදාගෙන ඇත. තවත් විටෙක X හෝ Y හැඩය ආකාරයට ද T ආකාරයට ද කනු සකස් කර ඇත. ටයිටස් විසින් ජෙරුසලම යටත් කරගත් පසු ඔහු කැරලි ගැසූ පුද්ගලයින්ව කුරුසිපත් කර ඇත. ඔහුගේ වාර්තාවල සඳහන් වන ආකාරයට කුරුසි විවිධ හැඩයන්ගෙන් යුක්ත වූ අතර විටෙක මිනිසුන්ව මුනින් අතට තබා කුරුසිපත් කර ඇත. බයිබලයේ නව ගිවිසුමෙහි ජේසුස්වහන්සේව කුරුසිපත් කළ කුරුසියේ හැඩය ගැන නිශ්චිතව සඳහන් නොවේ. එනමුත් ක්‍රි.ව. 100 පමණ වන විට ලියවුණු ලියවිලිවල මෙහි හැඩය T (ග්‍රීක් අකුර Tau) බව සඳහන් කර ඇත.

කුරුසිපත් කිරීමක දී අස්ථියක් පසාරු කරගෙන ගිය ඇණයක් (The Times of Israel)

මරණයට හේතුව

හදවතේ ක්‍රියාකාරීත්වය නතර වීම, අධික රුධිර වහනය නිසා ඇතිවන කම්පන, හෘද ස්පන්දනයේ රිද්මය නොමැති වීම, පෙනහළුවල රුධිර නාල අවහිර වීම හා ආම්ලිකතාව නිසා පුද්ගලයෙක් මිය යයි. මියයාම වේගවත් කිරීමට බොහෝ විට කකුල් කඩයි.

ජුදෙව් ඉතිහාසඥයෙක් වූ ජෙසෙෆස් හා අනෙකුත් මූලාශ්‍රවල රෝමානුවන් සිදු කළ දහස් ගණන් කුරුසිපත් කිරීම් ගැන සඳහන් කරයි. එනමුත් පුරාවිද්‍යාත්මකව ඒ පිළිබඳ සොයාගැනීම් ඇත්තේ අල්ප වශයෙනි. එනමුත් එය පුදුම විය යුතු කරුණක් නොවේ.මන්ද එකල පුද්ගලයෙක්ව කුරුසිපත් කළ විට ඔහුගේ ශරීරය දිරන තෙක් කුරුසිය මත තබයි. විශේෂ අවසරයකින් පමණක් එල්ලන ලද පුද්ගලයාගේ පවුලට සිරුර රැගෙන ආගමික වතාවත් සිදුකොට භූමිදාන කිරීමට ඉඩ ලබා දෙයි. රෝමයේ කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යාගේ කාලයේ දී (ක්‍රි.ව. 272 – 337) ක්‍රිස්තියානු ආගම නීත්‍යානුකූල ආගමක් බවට පත්විය. මෙයත් සමගම බොහෝ දෑ වෙනස් වූ අතර කුරුසිපත් කිරීමත් තහනම් කෙරුණි.

මුලශ්‍රයයන්:

1)ශුභාරංචි හතර පිළිබඳ අධ්‍යනයක් (ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ප්‍රකාශනයක්)

2)Roman Crucifixion Methods Reveal the History of Crucifixion - www.biblicalarchaeology.org

3)Crucifixion - www.britannica.com

4)10 Interesting Facts About Crucifixion - listerse.com

කවරයේ පින්තූරය - සාන්ත ඇන්ඩෲ කුරුසිපත් කිරීම. මෙහි X හැඩය ගන්නා ආකරයට කණු දෙකක උන්වහන්සේ කුරුසිපත් කරයි (Museo del Prado)

Related Articles