Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නත්තල් උත්සවයට නැතුව ම බැරි ඉඟුරුපාන්

නත්තල් උත්සව සමයේ දී ඉඟුරුපාන් යොදා ගනිමින් නිර්මාණය කරන ලද විසිතුරු හැඩයන්ගෙන් යුතු රසකැවිලි දැක ගැනීමට නොලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ තරමට ම නත්තල හා සබැඳි ඉඟුරුපාන් සකස් කිරීමේ දී පාන් පිටි සමග ඉඟුරු, කරාඹු නැටි, සාදික්කා හෝ කුරුඳු සහ මී පැණි, සීනි හෝ උක් පැණි මුසු කිරීම සිදුකරනවා. සීතල උඳුවප් මාසය නැවුම් සුවඳින් පුරවන ඉඟුරුපාන් බිහි වූ ආකාරය හෝ නත්තල් රසකැවිල්ලක් බවට පත් වූ ආකාරය ගැන ඔබ දැන සිටියා ද? මේ ලිපිය නත්තල් කෑම මේසයට නැතු ව ම බැරි ඉඟුරුපාන් ගැන යි.

(© Yamskayasloboda Zavidovo) විසිතුරු හැඩයන්ගෙන් යුතු ඉඟුරුපාන් රසකැවිලි

චීනයෙන් බිහි වූ වියළි ඉඟුරු

වර්තමානයේ දී ‘ඉඟුරුපාන්’ යන වදන යොදා ගන්නේ ඉඟුරු යොදා සකස් කරන ලද රසකැවිලි හැඳින්වීමට වුව ද, මධ්‍යකාලීන එංගලන්තයේ වැසියන් ‘ඉඟුරුපාන්’ යනුවෙන් හඳුන්වා ඇත්තේ කල් තබා ගත හැකි වන පරිදි සකස් කරන ලද ඉඟුරු යි. එසේ ම ඔවුන් 15 වැනි සියවස දක්වා ම රසකැවිලි සැකසීමේ දී ඉඟුරු යොදා ගැනීමට උනන්දුවක් දක්වා නොමැති බව යි වාර්තා වන්නේ. පසුකාලීන ව ඉංග්‍රීසි ජාතිකයන් විසින් මී පැණි සහ කුළුබඩු මුසු කර සකස් කරන රසකැවිලි හැඳින්වීම සඳහා එය භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා.

(© Escritorio Imagenes) ඉඟුරුපාන් සැකසීමේ දී මූලික වශයෙන් යොදා ගන්නා අමුද්‍රව්‍ය

ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව මුල් වරට ඉඟුරු වගා කිරීම සිදුකර ඇත්තේ පුරාණ චීන වැසියන් විසින්. ඒ ඖෂධයක් ලෙස භාවිතා කිරීම සඳහා යි. පසුකාලීන ව සේද මාවත ඔස්සේ යුරෝපයට පැමිණි ඉඟුරු, මධ්‍යකාලීන යුගයේ දී කල් තබා ගන්නා ලද මාංශ රසවත් කරන කුළුබඩුවක් ලෙස භාවිතා කර තිබෙනවා. 8 වැනි හෙන්රි රජු විසින් වසංගත රෝගයන්ට ප්‍රතිකාරයක් ලෙස ඉඟුරු රසකැවිලි අනුභව කරන ලද බව යි වාර්තා වන්නේ. වර්තමානයේ දී පවා සෙම් රෝග, උදරාබාධ වැනි සුළු රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේ අත්බෙහෙතක් ලෙස ඉඟුරු යොදා ගන්නවා.

ග්‍රීසියෙන් යුරෝපයට පැමිණි ඉඟුරුපාන්

රසකැවිල්ලක් ලෙස ඉඟුරුපාන් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා ලද වට්ටෝරුවක් පිළිබඳ ව මුල් වරට වාර්තා වන්නේ ක්‍රි. පූ. 2400 දී පමණ පුරාණ ග්‍රීසියෙන්. ක්‍රි. ව. 992 දී නයිකොපොලිස් හි වාසය කළ ආමීනියානු පූජකයෙකු වූ ග්‍රෙගරි, ප්‍රංශයේ බොන්ඩරෝයි ගම්මානය බලා පැමිණ ඇති අතර ප්‍රංශ වැසියන්ට ඉඟුරුපාන් සකස් කරන ආකාරය පුහුණු කර ඇත්තේ ඔහු යි. 13 වැනි සියවසේ දී ජර්මානු සංක්‍රමණිකයන් විසින් ස්වීඩනයට ඉඟුරුපාන් හඳුන්වා දී තිබෙනවා. ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙන්නේ 1444 දී ස්වීඩනයේ වැඩ්ස්ටීනා කන්‍යාරාමයේ වාසය කළ සොයුරියන් විසින් අජීර්ණයට ප්‍රතිකාරයක් ලෙස ඉඟුරුපාන් අනුභව කර ඇති බව යි.

(© Wikimedia Commons) ඉඟුරුපාන් සකසන ආකාරය දැක්වෙන පැරණි සිතුවමක්

විසිතුරු හැඩයන්ට අනුව සකස් කරන ලද ඉඟුරුපාන්, සීනි අයිසින් යොදා ගනිමින් සැරසීමේ ගෞරවය එංගලන්තයේ 1 වැනි එළිසබෙත් රැජිනට හිමිවෙනවා. ඇය විසින් ඇගේ රාජ සභාවේ අසුන් ගත් නිලධාරීන්ගේ හැඩයෙන් යුතු ඉඟුරුපාන් සකස් කරන ලද බව යි සඳහන් වන්නේ. 17 වැනි සියවස වන විට ඉඟුරුපාන් විස්කෝතු කර්මාන්තය යුරෝපයේ ජනප්‍රිය වූ අතර, ඇමෙරිකා එක්සත් ජනපදයට ඉඟුරුපාන් හඳුන්වා දී ඇත්තේ යුරෝපීය සංක්‍රමණිකයන් විසින්. පසුකාලීන ව ඇමෙරිකානුවන් විසින් සීනි වෙනුවට මිලෙන් අඩු උක් පැණි යොදාගෙන ඉඟුරුපාන් රසකැවිලි සැකසීම ආරම්භ කර තිබෙනවා.

නත්තල් සාම්ප්‍රදායයක් වූ ඉඟුරුපාන් නිවෙස්

16 වැනි සියවසේ දී නිවෙසක හැඩයෙන් යුතු ඉඟුරුපාන් රසකැවිලි නිර්මාණය කිරීමේ සාම්ප්‍රදාය බිහි වී ඇත්තේ ජර්මනියෙන්. නත්තල් සමයේ දී ඉඟුරුපාන් යොදාගෙන සකස් කරන නිවෙස්, සීනි අයිසින්, සහ වර්ණවත් රසකැවිලි යොදා ගනිමින් සරසනු ලබනවා. ඉඟුරුපාන් නිවෙස් නිර්මාණය කිරීමට හේතුව අපැහැදිලි වුව ද දැනට වැඩි දෙනෙකු විසින් පිළිගෙන ඇති විශ්වාසය වන්නේ ග්‍රිම් සහෝදරයන්ගේ සුරංගනා කථාන්තරයේ දැක්වෙන පරිදි හැන්සල් සහ ග්‍රෙටල්ට වනාන්තරයේ දී හමු වූ මායාකාරියට අයත් රසකැවිලි යොදා ගනිමින් සකස් කරන ලද නිවෙස, ඉඟුරුපාන් නිවෙස් නිර්මාණය කිරීමට අවැසි පදනම සපයන්නට ඇති බව යි.

(© Wallpapers Wide) ඉඟුරුපාන් නිවෙසක්

වර්තමානයේ දී ඉඟුරුපාන් නිවෙස් නිර්මාණය කිරීම කොතරම් ප්‍රචලිත ද කිවහොත් ගිනස් වාර්තා පොතට ඇතුළත් කිරීම සඳහා ලොව විශාලතම ඉඟුරුපාන් නිවෙස පමණක් නොව, ඉඟුරුපාන් ගම්මානය පවා මේ වන විට නිර්මාණය කර තිබෙනවා. 2013 දී ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වැසියන් කණ්ඩායමක් එක් ව ගොඩනංවන ලද ලොව විශාලතම ඉඟුරුපාන් නිවෙස, වර්ග අඩි 2,520ක භූමි ප්‍රමාණයක් ආවරණය කරන ලද අතර, උසින් අඩි 21 පමණ වූ බව යි වාර්තා වන්නේ.

ඉඟුරුපාන් මිනිසාගේ ආගමනය

(© Wallpaper Cave) ඉඟුරුපාන් මිනිසුන්

මිනිසුන්ගේ හැඩයෙන් යුතු ඉඟුරුපාන් රසකැවිලි මුල් වරට නිර්මාණය කර ඇත්තේ 16 වැනි සියවසේ දී යි. ඒ එංගලන්තයේ 1 වැනි එළිසබෙත් රැජින විසින්. ඇය විසින් ම සකස් කර සරසන ලද ඇගේ රාජ සභාවේ අසුන් ගත් නිලධාරීන්ගේ සහ විදේශ තනාපතිවරුන්ගේ හැඩයෙන් යුතු ඉඟුරුපාන්, රාජ්‍යයන් අතර සබඳතා ශක්තිමත් කරගැනීම සඳහා 1 වැනි එළිසබෙත් රැජින විසින් ගන්නා ලද උපායශීලී පියවරක් බව යි ඇතැම් ඉතිහාසඥයින්ගේ මතය වන්නේ. පසුකාලීන ව කුඩා දරු දැරියන් අතර ප්‍රචලිත වූ ‘ඉඟුරුපාන් මිනිසා’ නම් සුරංගනා කථාන්තරය සඳහා පාදක වන්නට ඇත්තේ ද 1 වැනි එළිසබෙත් රැජින විසින් නිර්මාණය කරන ලද මිනිසුන්ගේ හැඩයෙන් යුතු ඉඟුරුපාන් රසකැවිලි බවට සැකයක් නැහැ.

කවරයේ පින්තූරය: © JRLDESIGNSTUDIOS.COM

Related Articles