Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටුක් ටුක් එකේ ඉතිහාසය

වීල් එක කියලා අපි ඔක්කොම කට වචනෙට කියන ත්‍රීරෝද රථය වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ඉමහත් ජනප්‍රිය ප්‍රවාහන සේවාවක් බවට පත්වෙලා තියෙනවා.

ඕනෑම තැනකට ඉක්මනින් යන්න පුළුවන් වීම, අතට දැරිය හැකි මිලක් අය කිරීම වගේ ම ට්‍රැෆික් එකක් අස්සෙන් වුණත් වෙට්ටුවක් දාගෙන යන හින්දා බොහෝ දෙනෙක් මේ සේවාව එක්ක එකතු වෙලා ඉන්නවා.

මාර්ග නීති තුට්ටුවකට මායිම් කරන් නැති ව ධාවනය වන, අධික මාර්ග තදබදයකින් යුක්ත විදීවලට මෙම රථය කරදරයක්. ලංකාවේ ට්‍රැෆික් වැඩි වෙන්න එක් හේතුවක් ලෙස මාර්ගවලට දැරිය නොහැකි ත්‍රීවිල් ප්‍රමාණයක් එකතු කිරීම හඳුන්වා දෙන්න පුළුවන්.

මේ ප්‍රශ්න ගැන කතා කරලා ලංකාවට ත්‍රීවිල් ඕන ද? එපා ද? කියලා ලිපියක් අපි කලින් වතාවක ඔබට ගෙන ආපු හින්දා, මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ දකුණු ආසියාතික රටවල වගේ ම තායිලන්තයේ හා සිංගප්පූරුවේ ඉතා ජනප්‍රිය ප්‍රවාහන ත්‍රීරෝද ප්‍රවාහන සේවයේ ඉතිහාසය ගෙන එන්න යි.

ටුක් ටුක් මුලින්ම හැදුවේ කොහෙද?

ජපානයේ ටුක් ටුක් (YouTube)

1934 දී ජපානය විසින් ද්විත්ව පහර එන්ජිමක් සහිත ට්‍රයිසිකලයක් නිර්මාණය කරනවා. එය ඔවුන් විසින් හඳුන්වන්නේ ටුක් ටුක් නමින්. පසු ව ඒවා තායිලන්තයට අපනයනය කිරීමට ජපානය තීරණය කරනවා.

ඊට අමතර ව එවකට ජපාන රජයේ තැපැල් හා සන්නිවේදන අමාත්‍යංශය විසින් භාවිතා කරන ලද ටුක් ටුක් රථ 20000ක් පමණ ගිනිකොනදිග ආසියානු රටවලට ප්‍රදානය කරනවා. ඒවායින් බොහෝ ප්‍රමාණයක් තායිලන්තයේ බැංකොක් නුවර Klong Toey වරායෙන් එරටට ගොඩබානු ලබනවා. එම කාලයේ දී ජපානයෙන් ගෙන්වන ලද බොහෝ ටුක් ටුක් ප්‍රමාණයක් මෑතක් වන තුරු තායිලන්තයේ භාවිතා වෙනවා.

ජපානයෙන් නැවතුණු ටුක් ටුක් තායිලන්තයෙන් මතු වීම

තායිලන්තයේ (Bangkok)

1972 වසර වන විට මෝටර් රථ හා විශාල ප්‍රමාණයේ ට්‍රක් රථ නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ජපානය මෙතෙක් කාලයක් නිෂ්පාදනය කළ ටුක් ටුක් හා ඒවායේ අමතර කොටස් නිෂ්පාදනය අත් හිටුවනවා. මේ හේතුවෙන් තායිලන්තය ඇතුළු ආසියාතික රටවල් බොහෝ ප්‍රමාණයක ටුක් ටුක් රියදුරන් බරපතල අර්බුදයකට මුහුණ පානවා.

මෙම අර්බුදයට පිළියමක් ලෙස ජුම්රුෂ් හූන්ස්රි (Jumrush Vhooonsri) නම් තායිලන්ත කාර්මිකයා අමතර කොටස් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන්නේ ඔහුගේ ගරාජය තුළ යි.

ටික කාලයකට පසු ව ජපාන ටුක් ටුක් රථයට වඩා මනා පෙනුමකින් යුක්ත අලංකාරවත් ටුක් ටුක් රථයක් නිපදවීමට ඔහු සමත් වෙනවා. සවිමත් වහලයක්, ජපාන ටුක් ටුක් රථයට වඩා සුවපහසු ආසන, හා නව එන්ජිමක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා. එහි පැරණි ද්විත්ව පහර එන්ජිම වෙනුවට සිව් පහර එන්ජිමක් සවි කෙරෙනවා.

ක්‍රම ක්‍රමයෙන් වේගවත්, ආරක්‍ෂිත, හා සුවපහසු ටුක් ටුක් නිෂ්පාදනය තායිලන්තය තුළ ව්‍යාප්ත වෙනවා. මේ තරම් කාලයක් ජපානයේ නිෂ්පාදනය කළ ට්‍රයිසිකල් රථ ටුක් ටුක් ලෙස හැඳින්වුව ද, නියම ටුක් ටුක් නිෂ්පාදනය වූ රට ලෙස තායිලන්තය ලෙස හදුන්වා දිය හැකි යි. ඒවායේ සයිලන්සරයෙන් නිකුත් වන ශබ්දය ටුක් ටුක් ලෙස නාමකරණය වීමට ඉවහල් වෙනවා.

මෙම රථ තායිලන්තයේ සංචාරකයන් අතර ඉතා වේගයෙන් ජනප්‍රිය වනවාත් සමග ම තායිලන්තය හා ටුක් ටුක් අතර ආකර්ශනීය සම්බන්ධතාවයක් නිර්මාණය වෙනවා.

අනෙකුත් රටවලට ව්‍යාප්ත වීම

ඉන්දියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ටුක් ටුක් යොදාගනියි (Verbalists)

තායිලන්තයේ නිෂ්පාදනය වූ ටුක් ටුක් ටික කාලයකට පසු ව ඉන්දියාව, ශ්‍රී ලංකාව, හා සිංගප්පූරුව වෙත අපනයනය කිරීමට එරට රජය තීරණය කරනවා. පසු ව තවත් රටවල් කිහිපයක ටුක් ටුක් ජනප්‍රිය වෙන අතර, එම රටවල් ලෙස ඊජිප්තුව, බංගලාදේශය, නයිජීරියාව, හා පේරු හඳුන්වා දිය හැකි යි.

වර්තමානය වන විට ටුක් ටුක් භාවිතය හා නිෂ්පාදනය අතින් ඉදිරියෙන් සිටින රටක් ලෙස ඉන්දියාව හැදින්විය හැකියි. බජාජ් ඔටෝ, කුමාර් මෝටර්ස්, කේරළ ඕටෝ, මහින්ද්‍රා, පියාජියෝ, හා TVS යනු එම නිෂ්පාදකයන් අතරින් සමහරක්.

ඉන්දියාවේ මාර්ගවල ඉතා සුලබ ව ටුක් ටුක් දැකිය හැකි අතර, ඔවුන් මෙම රථය වැඩිපුර ම භාවිතා කරන්නේ පාසල් ප්‍රවාහන මාධ්‍යක් ලෙස යි. කෙසේ නමුත් අධික මාර්ග තදබදයට මෙම රථය ප්‍රධාන ලෙස බලපාන හෙයින්, මුම්බායි හි කොටසක ටුක් ටුක් ධාවනය කිරීම තහනම් කර තිබෙනවා. නමුත් ඉන්දියාව තුළ ටුක් ටුක් කොතරම් ජනප්‍රිය යැයි ද පවසනවා නම් වාර්ෂික ටුක් ටුක් තරගාවලියක් පවා එහි සංවිධානය වෙනවා.

විවිධ රටවල විවිධ නමින් හඳුන්වන ටුක් ටුක්

පිලිපීනයේ (Pinterest)

ඊජිප්තුව විසින් මෙම රථය නම් කර තිබෙන්නේ ටෝක් ටෝක් ලෙස යි. මැඩගස්කරයේ හා ටැන්සානියාවේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යක් ලෙස මෙය භාවිතා වෙන අතර බජාජි ලෙස හඳුන්වනවා.

බංගලාදේශයේ මෙම ප්‍රවාහන සේවය හඳුන්වන්නේ බේබි ටැක්සි (baby taxi) ලෙස යි. චීනයේ දුෂ්කර පළාත්වල ප්‍රවාහන මාධ්‍යක් ලෙස භාවිතා කරන අතර, ඔවුන් විසින් සැන් ලං චේ ලෙස හඳුන්වනවා. ඉන්දියාවේ ඔටෝ ලෙස ද, ශ්‍රී ලංකාවේ ත්‍රී වීලර් ලෙස ද, පකිස්ථානයේ  චන්ඩ් ගැරී, හා ඉන්දුනීසියාවේ බජායි ලෙස ද හැඳින්වෙනවා.

තායිලන්තයේ හා සිංගප්පුරුවේ ටුක් ටුක් ලෙස හඳුන්වනවා.

විශේෂයෙන් දකුණු ආසියාතික රටවල හා දියුණු වෙමින් පවතින රටවල ප්‍රවාහන මාධ්‍යයේ ජනප්‍රිය අංගයක් ලෙස තව බොහෝ කාලයක් ටුක් ටුක් පවතිනු ඇතැ යි අපට කිව හැකි යි.

 

කවරයේ පින්තූරය: Tuk Tuk Safari Sri Lanka

මූලාශ්‍රයයන්:

thedaleguild.com

asianoasisblog.com

youtube.com

Related Articles