Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනීමරණ ගීතය

ඔබ නොයෙක් වර්ගයේ මිනීමරුවන් ගැන අසා ඇති. එහෙත් කිසිදිනක මිනි මරණ ගීතයක් ගැන අසා නැති බවට සැකයක් නැහැ.මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බිහි වූ භයානකම සහ මාරාන්තික ගීතය පිළිබඳවයි.

bh-s2.azureedge.net

ජෝසෆ් කෙලර්

වැසි බර අඳුරු ඉරිදා සන්ධ්‍යාවක, තට්ටු නිවාසයක ඉහළ මාලයේ පිහිටි සිය හුදෙකලා අඳුරු කුටියට වී ගීතයක කොටසක් මුමුණමින් සිටි සපත්තු සාදන්නකු වන ජෝසෆ් කෙලර් මොහොතක් නැවතී යමක් කල්පනා කරන්නට විය. ඔහුගේ මුවේ ඇත්තේ කිසිවෙකුටත් සිතා ගත නොහැකි අද්භූත එමෙන්ම අමුතුම බැල්මකි. අසල ඇති ගිනි උඳුනේ ගිනිදැල් ඔහුගේ මුහුණ මත සිය සෙවනැලි වලින් විවිධ රටා මවද්දී, කෙලර්  සිය අතේ ඇති කොලයේ සටහන්ව ඇති පද පෙළ නැවත නැවත මිමිණුවේ අමුතුම ස්වරයකට ආවේශ වෙමිනි. මොහොතකින් යාන්ත්‍රිකව මෙන් නැගී සිටි ඔහු සිය මේස ලාච්චුවෙන් පිස්තෝලයක් ඇද සිය හිසට තබා ගත්තේ කට කොනකට නැගුණු විකෘති සිනහවක්ද සමගිනි. රාත්‍රියේ නිහඬ බව පසාරු කළ වෙඩි උණ්ඩය කෙලර්ගේ ජීවිතය රැගෙන පලා යද්දී ඔහු අත තිබූ ගීතයේ පද පෙළ සහිත කොලය ලෙයින් නැහැ වී තිබුණි. එහි ඉහළින්ම සටහන්ව තිබුනේ Gloomy Sunday යන්නයි.

Gloomy Sunday හෙවත් ‘අඳුරු ඉරිදා’

ඒ, Gloomy Sunday හෙවත් ‘අඳුරු ඉරිදා’ ගීතය හේතුවෙන් ලොව වටා සිදු වූ අද්භූත සියදිවි නසා ගැනීම් වලින් එකක් පමණයි. ‘හංගේරියානු ආත්ම ඝාතක ගීතය’ ලෙසින් ලෝක ප්‍රකට Gloomy Sunday ගීතය වටා බැඳුනු සියදිවි නසා ගැනීම් ගණන දුසිම් තුන ඉක්මවන බව පැවසෙනවා.එහෙත් ඇතැම් වාර්තා සඳහන් කරන්නේ එය සියය ඉක්මවන බවයි.ඒ නිසාම මෙම ගීතය ඇතැම් රටවල තහනම් කරනු ලැබූ බවත් ප්‍රකට කරුණක්.

i.ytimg.com

මෙම ගීතය නිර්මාණය කරනු ලැබුවේ හංගේරියානු සංගීතවේදියකු වන රෙසෝ සේරෙස් විසින් 1933 වසරේදී යි. අතිශයින්ම දුක්බර පදමාලාවක් සහ සංගීත පබැඳුමක් අඩංගු වූ Gloomy Sunday විරහවේ වේදනාව මෙන්ම ජිවිතයේ හුදෙකලාව ද, යුද්ධයේ කුරිරු බවද සප්ත ස්වරයට නැගෙන හද හඬවන ශෝකාලාපයක් ලෙස විවිධ ආකාරයේ විචාරකයන්ගේ විග්‍රහයන්ට ලක්ව තිබෙනවා.

‘ලෝකයේ අවසානය’ පදමාලාව

ලාස්ලෝ ජාවර් නම් කවියා විසින් හංගේරියානු බසින්  රචනා කළ පද පෙළක් ඇසුරෙන් රෙසෝ විසින් නිර්මාණය කල මෙම ගීතය මුලින් ගායනා කරනු ලැබුවේ පෝල් කල්මාර් විසින්. මුලින් ජාවර් විසින් රචනා කල ගීතය හැඳින්වී ඇත්තේ ලෝකයේ අවසානය යන අර්ථය සහිතවයි.මෙම ගීතය නිර්මාණය කල සංගීතවේදියා වූ රෙසෝ පණමෙන් ආදරය කල පෙම්වතිය ඔහුගෙන් වෙන්ව යාමේ ශෝකය ඔහුට Gloomy Sunday  නිර්මාණය කිරීමට පාදක වී ඇති බවත් සත්‍යයක්. සිය පෙම්වතිය වෙන් වීමෙන් හදට නැගුණු හැඟීම් මාලාව තනුවක් කළ රෙසෝ එයට පද වැලක් එක් කිරීම භාර කර ඇත්තේ ඔහුගේ සමීපතම මිතුරකු වූ ජාවර් හටයි.

www.historicmysteries.com( ගීතයේ සංගීත රචනය )

රෙසෝගේ මරණය

ගීතය නිර්මාණය කළ රෙසෝද 1968 වසරේදී  බුඩාපේස්ට් හි පිහිටි සිය තට්ටු නිවාසයේ ජනේලයකින් පැන සිය දිවි නසාගෙන ඇති අතර ඒ මොහොතේ ඔහු සතුවද Gloomy Sunday පදමාලාව අඩංගු කොලයක් තිබී හමු වී තිබෙනවා. ගීතය සඳහා හේතු වූ රෙසෝ ගේ පෙම්වතියද ගීතය ජනප්‍රිය වී කෙටි කලකින්ම වස පානය කර සියදිවි හානි කරගෙන ඇති අතර ඇය මිය යන මොහොතේ ඇය සමීපයේ Gloomy Sunday ගීතයේ පද පෙළ තිබී හමු වූ බවත් පැවසෙනවා.

දෙවන ලෝක යුද්ධයේදී යම්තමින් දිවි බේරාගත් රෙසෝ පසුකාලීනව පියානෝව වාදනය කර ඇත්තේ එක් අතකින්. ඔහුගේ අනෙක් අත දරුණු ලෙස තුවාල වී තිබීම ඊට හේතුවයි. සිය ගීතය ලොව පුරා ජනප්‍රිය වෙමින් තිබුණු සමයේදී එමගින් විශාල මුදලක් උපයාගත හැකිව තිබූ නමුත් ඔහු ඒ සියල්ල පසෙකලා සුපුරුදු ලෙස අඳුරු තානායමක පියානෝ වාදකයකු ලෙස හුදෙකලා දිවියක් ගෙවා තිබෙනවා.

‘මම රිදුම් දෙන වේදනා බර හදවතක් තියෙන අසාර්ථක මිනිහෙක්. මගේ හඬන හදවතේ තියෙන මාරාන්තික තුවාල වල ශෝකී වේදනාව පිට කරන්නයි මේ තනුව නිර්මාණය වුනේ. මේ ගීතයට ලැබුණු ප්‍රතිචාර නිසා මම වගේම වේදනාබර හදවත් තියෙන මැරී මැරී ජිවත් වන තවත් ආත්ම ගණනක් මේ ලෝකේ ඉන්න බව මට වැටහුනා’

ගීතය ලොව වටා ජනප්‍රිය වූ පසු  රෙසෝ සිය මිතුරු ජාවර්ට එසේ පවසා තිබුනා.

www.storypick.com

‘Gloomy Sunday’ වාදනය තහනම් කිරීම

Gloomy Sunday පසුව ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂා වලට පරිවර්තනය වී විවිධ වෙනස්කම් වලට ලක්ව ගායනා කෙරී තිබෙනවා. 1936 වසරේදී එය පළමුවෙන් ඉංග්‍රීසි බසින්  ගායනා කෙරුණු අතර Gloomy Sunday වඩාත් ජනප්‍රිය වුනේ සුප්‍රකට ගායිකා බිලි හොලිඩේ විසින් එය ගායනා කිරීමෙන් පසුවයි. සෑම් ලුවිස් විසින් ඉංග්‍රීසි බසින් රචනා කළ පද පෙළ ද සිය දිවි නසාගැනීම් සඳහා ඇතැමුන් පොළඹවන සුළු බවත් පැවසුණු අතර,  BBC සේවය ඇතුළු ලොව පුරා ගුවන් විදුලි නාලිකා විසින් Gloomy Sunday තහනම් කරනු ලැබුවේද එහි ඇති භයානකකම සලකමිනුයි. BBC සේවය විසින් මෙම ගීතය සඳහා කළ තහනම ඉවත් කෙරුනේ 2002 වසරේදීයි.

මෙම ගීතය නිර්මාණය කෙරුණු 1930 දශකය තුළ පමණක් හංගේරියාව සහ ඇමෙරිකාව තුළ සිදු වූ සියදිවි නසාගැනීම් දහනවයකට Gloomy Sunday ගීතයේ සම්බන්ධයක් පැවති බව තහවුරු වී තිබෙනවා. ගීතය මුලින්ම ප්‍රචාරය කිරීමට භාරගත් ගුවන් විදුලි නාලිකාවේ ප්‍රධානියකුද ගීතයේ පදපෙල අතැතිව සිය දිවි නසාගෙන ඇති බවත් පැවසෙනවා. එසේම සංගීත කණ්ඩායමක් විසින් Gloomy Sunday  ගීතය ගායනා කරනු අසා සිටි තරුණයන් දෙදෙනෙකු තමන්ට වෙඩි තබා ගනිමින් සිය දිවි නසාගත් බවත්, තවත් තරුණියක් ගීතයේ පදපෙල සහිත කොලයක් රැගෙන දියට පැන දිවි නසාගෙන ඇති බවත් Gloomy Sunday  සම්බන්ධයෙන් පලවන වාර්තා වල සඳහන් වෙනවා.

i.pinimg.com

79 වතාවක් පමණ ප්‍රතිනිර්මාණය වීම

Gloomy Sunday  ගීතය මේ වන විට 79 වතාවක් පමණ ප්‍රතිනිර්මාණය වී තිබීමත් විශේෂත්වයක්.1993 වසරේදී ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ සුප්‍රකට Schindler’s List සිනමාපටයේ තැන් කිහිපයකද මෙම ගීතයේ සංගීතය අඩංගු වන අතර, 1999 වසරේ නිර්මාණය කෙරුණු ජර්මන්-හංගේරියන් නිෂ්පාදනයක් වූ ‘Ein Lied von Liebe und Tod’ (Gloomy Sunday  )නම් සිනමාපටය සඳහා මෙම ගීතය නිර්මාණය කිරීමට පදනම් වූ කතා පුවත තේමා වී ඇති බවත් පැවසෙනවා.

වර්තමානයේදී  Gloomy Sunday  ගීතය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින නමුත් ඒ සම්බන්ධ සියදිවි නසාගැනීම් වාර්තා වී නැහැ. ඒත් බටහිර ලෝකයේ ඇතැමුන් විශ්වාස කරන්නේ Gloomy Sunday තවමත් රසිකයන්ගේ හදවත් පාරමින් ඔවුන් සිය ආත්ම තුළම මරා දමමින් සිටින ගීතයක් බවයි.

cover-

https://www.walldevil.com/

මූලාශ්‍ර

http://mentalfloss.com/article/28525/songs-killer-strange-tale-gloomy-sunday

https://www.historicmysteries.com/gloomy-sunday-suicide-song/

https://io9.gizmodo.com

Related Articles