Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙරට ප්‍රථම කොමියුනිස්ට් පක්ෂය ආරම්භයේ කතාව මේකයි

ලංකාවේ පැරණිම වාමාංශික ව්‍යාපාරය වන්නේ 1935 වසරේ දී බිහි වූ ලංකා සමසමාජ පක්ෂය යි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතින් ගත් විට මෙරට ලියාපදිංචි පැරණිම පක්ෂය වන්නේත් ලංකා සමසමාජ පක්ෂය යි. පැරණිම පක්ෂය ලෙස නම් දරා සිටියත් 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමසමාජ පක්ෂයට, අලුතෙන්ම පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂය හමුවේ පරාජයට පත් වීමට සිදුවෙනවා.

ලංකා සමසමාජ පක්ෂයේ බිඳීයාම් මෙම පරාජයට හේතුව බව ඇතැම් විචාරකයන් පෙන්වා දෙනවා. අවස්ථා කිහිපයක දී මතවාදයන් හා න්‍යායාත්මක ප්‍රශ්ණ හේතුවෙන් ලංකා සමසමාජ පක්ෂය විවිධ කුඩා කොටස්වලට කැඩී යනවා. ඒ කතාව යි මේ.

තරුණ පිරිසකගේ වාමාංශික නැඹුරුව

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා (Daily FT)

උසස් අධ්‍යාපනය සඳහා ලංකාවෙන් යුරෝපය වෙත ගිය තරුණ පිරිස්, එහිදී කොමියුනිස්ට්වාදී කියවීම් වලට නැඹුරු වීම හේතුවෙන් ලංකා සමසමාජ පක්ෂය බිහිවීයැ යි ප්‍රකාශ කිරීම නිවැරදි යි.

ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්‌ලි ගුණවර්ධන හා රොබට් ගුණවර්ධන ඇතුළු තරුණයන් කිහිපදෙනෙක් බ්‍රිතාන්‍යයේ දී එකිනෙකා හමුවෙනවා.

එක්දාස් නවසිය විසි ගණන්වල අග භාගයේ දී ඔවුන් එකිනෙකා හමුවන්නේ වාමාංශික අදහස් ඇතිව යි. එවකට සෝවියට් සමූහාණ්ඩුව පාලනය කළ ස්ටාලින්ගේ ක්‍රෑරත්වය, තවත් කොමියුනිස්ට්වාදියෙකු වන ලියොන් ට්‍රොට්ස්කි විසින්  විවේචනය කෙරෙන අතර, ලංකාවේ තරුණයන් යොමුවන්නේ ට්‍රොට්ස්කිවාදයට යි. 1931 සමාජවාදී මන්ත්‍රීවරයකු වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ දොස්‌තර වික්‍රමසිංහ ද පසුව මේ පිරිසට එකතු වෙනවා.

මෙම සමය වනවිට ලෝකය පුරා කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත වීමේ නැඹුරුවක් දකින්න ලැබුණු අතර ලංකාවට පැමිණෙන මෙම තරුණ පිරිස ඉන්පසුව නොයෙකුත් සමාජ ප්‍රගමනය උදෙසා වූ කටයුතුවල නිරත වෙනවා.

කොමියුනිස්ට්වාදය උදෙසා මූලිකාංග මෙරට ස්ථාපනය කිරීමට උත්සාහ දරන මොවුන් මුල් කාලයේ දී අධිරාජ්‍යවිරෝධී හා රදළවිරෝධී පිළිවෙතක් අනුගමනය කරනවා. සූරියමල් ව්‍යාපාරය සමග 1933 -1935 වර්ෂවල මැලේරියා වසංගතයෙන් විපතට පත්වූවන්ට උපකාර කිරීමෙන් ඔවුන් ලංකාවේ ජනසමාජය තුළ කීර්තියක් දිනා ගැනීමට සමත් වෙනවා.

ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීම

පිලිප් ගුණවර්ධන (Colombo Telegraph)

මෙම උගත්, ප්‍රභූ තරුණ පිරිසගේ මූලිකත්වයෙන් 1935 දෙසැම්බර් 18 වන දා කොළඹ මරදානේ ස්‌කිනස්‌ පාරේ ලෝරන්ස්‌ විද්‍යාලයේ දී ලංකා සමසමාජ පක්‍ෂය ප්‍රථම ලියාපදිංචි පක්ෂය ලෙස ආරම්භ වෙනවා. එහි මූලික අරමුණ වන්නේ ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයෙන් මුදාගෙන, මෙරට පාලන බලය තමන් සතු කරගැනීම යි.

පක්ෂයේ ඉහළ නායකත්වය සම්පූර්ණයෙන්ම උගත්, ප්‍රභූ, රැඩිකල් තරුණයන් සතු වූ අතර, ඔවුන්ගේ  ඉලක්කය වන්නේ නාගරික කම්කරු පන්තිය යි.

ලංකා සමසමාජ පක්‍ෂය ආරම්භ කිරීමෙන් මාස කිහිපයකට පසුව, එනම් 1936 දී, දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය පැවැත්වෙනවා. පිලිප් ගුණවර්ධන අවිස්‌සාවේල්ල ආසනයෙන් ද, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා රුවන්වැල්ල ආසනයෙන් ද මැතිවරණය සඳහා ඉදිරිපත් වන අතර, ඔවුන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වෙනවා.

පෙරේරා හා ගුණවර්ධන ව්‍යවස්ථාදායක සභාව තුළ රැගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් රටේ විශාල පිරිසකගේ ප්‍රසාදයක් ලංකා සමසමාජ පක්ෂය වෙත හිමිවෙනවා.

ඔවුන්ගේ මන්ත්‍රණ සභා යෝජනා අතරට ලංකාවේ පොලිසි හා උසාවිවල කටයුතු ස්වදේශික භාෂාවලින් සිදු කිරීම, ගංගා ආශ්‍රිත ජල විදුලි යෝජනාක්‍රම හා වැඩවසම් ක්‍රමය යටතේ ක්‍රියාත්මක වෙන විවිධ තනතුරු ඉවත් කිරීම වැනි අදහස් රැසක් ඇතුළත් වෙනවා.

මේ වන විට සමසමාජ පක්ෂයට විරුද්ධව ඇතැම් සංවිධාන නිර්මාණය වී තිබූ අතර, ඒවා අධිරාජ්‍ය ගැති පුද්ගලයන්ගෙන් සමන්විත බව සමසමාජ පක්ෂය දේශපාලන වේදිකාවේ දිගින් දිගටම ප්‍රකාශ කරනවා.

1939 වසරේ පෙබරවාරියේ සමසමාජ පක්ෂයේ රැස්වීමක දී මෙවැනි විරුද්ධ පිරිස් සමූහයක් හා සමසමාජවාදීන් අතර ගැටුමක් හටගන්නවා. ගැටුමට සම්බන්ධ වීමේ චෝදනාව මත පිලිප්, රොබට් හා තවත් ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට පත්වෙනවා.

සමසමාජ පක්ෂයේ පළමු දෙදරා යාම

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සමසමාජ පාක්ෂිකයන් සමග (Daily News)

සෝල්බරි ප්‍රතිසංස්කරණ යටතේ ලංකාවේ පැවැත්වූ පළමු පාර්ලිමේන්තු මැතිවරණයටත් ප්‍රථම සමසමාජ පක්ෂයේ පළමු දෙදරා යාම නිර්මාණය වෙනවා.

ඒ වන විට සෝවියට් සංගමය පාලනය කරමින් සිටින්නේ ජෝසප් ස්ටාලින්. එම සමයේ ඔහුගේ මර්දනකාරී පිළිවෙත දැඩි ලෙස විවේචනය කරන සෝවියට් සංගමයේ ලියොන් ට්‍රොස්කිව රුසියාවෙන් පළවාහරින අතර, ඔහු ස්ටාලින්වාදය වෙනුවට ට්‍රොස්කිවාදය නිර්මාණය කිරීමට සමත්වෙනවා. කොමියුනිස්ට්වාදයේ මෙම බෙදීම ලෝකය පුරා අනෙකුත් කොමියුනිස්ට් පක්ෂ වෙත ද සීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා.

මෙම ගැටුම සමසමාජ පක්ෂය තුළට පැමිණෙන්නේ 1939 වසරේ දී යි. මේ හේතුවෙන් බොහෝ ක්‍රියාකාරිකයන් පිරිසක් පක්ෂයෙන් ඉවත්වෙන අතර, තවත් පිරිසක් සමසමාජ පක්ෂයන් නෙරපා හැරෙනවා. මේ පිරිසට සමසමාජයේ ශක්තිමත් සාමාජිකයන් 70ට වැඩි පිරිසක් ඇතුළත්. ඉවත් කළ ප්‍රබල සාමාජිකයන් අතරට දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ, එම්. ජී. මෙන්ඩිස්‌, ඩබ්. ආරියරත්න හා කේ. රාමනාදන් ද ඇතුළත්.

කොමියුනිස්ට් පක්ෂය බිහි වීම

ලියෝන් ට්‍රොස්කි (The Wire)

ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ සමසමාජ පක්ෂයේ ප්‍රථම දෙදරා යාම මෙලෙස සිදු වූ අතර, පක්ෂය බිඳී යාමෙන් පසුව දොස්තර වික්‍රමසිංහ ඇතුළු පිරිසක් විසින් 1940 අගභාගයේ දී පෑලියගොඩට රැස් වී ‘එක්‌සත් සමාජවාදී පක්‍ෂය’ නම් නව දේශපාලන පක්‍ෂයක්‌ ආරම්භ කෙරෙනවා.

1941 වසරේ මාර්තුවේ දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව දොස්තර වික්‍රමසිංහ හා මෙම පක්ෂයේ ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගන්නා අතර එක්‌සත් සමාජවාදී පක්‍ෂය තහනම් කිරීමට ද කටයුතු කරනවා. 1943 ජූලි මස බොරැල්ලේ දී ‘ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය’ ඔවුන් අතින් පිහිටුවෙන්නේ ඉන් අනතුරුව යි.

ඒ, ලංකා සමසමාජ පක්ෂයේ පළමුවර බිඳී යෑම වූ ආකාරය යි. ඉන් පසුවත් සමසමාජ පක්ෂය තුළ තවත් බෙදීම් ඇති වූ අතර ඒ පිළිබඳව තවත් ලිපියකින් පසුව හමුවෙමු.

කවරයේ පින්තූරය - Wikipedia

මූලාශ්‍රයයන්:.

island.lk

dailynews.lk

dinamina.lk

Related Articles