පුරාණ ඇනටෝලියාවේ ට්‍රෝයි නුවර රණ ශූරයන් සහ බලවත් ග්‍රීක සටන්කාමීන් අතර ලෝකඩ යුගයේ අවසන් භාගයේ දී ඇති වූ බව කියන ට්‍රෝජන් යුද්ධය, සියවස් ගණනාවක් තිස්සේ ඉතිහාසඥයින්ගේ පමණක් නොව අසිපත් ලෙළවමින් නිර්භය ව යුද පෙරමුණට ගිය රණකාමීන් පිළිබඳ ව සඳහන් වන කථාන්තර කියවීමට ප්‍රිය කරන උදවියගේ ද නොමද අවධානය දිනා ගැනීමට සමත් වූ බව පැවසීම වැරදි නැහැ. ක්‍රිස්තු පූර්ව 12 හෝ 13 වැනි සියවසේ දී සත්‍ය වශයෙන් ම ට්‍රෝජන් යුද්ධය ඇති වුණා විය හැකි වුව ද ග්‍රීක කිවිවර හෝමර් විසින් රචිත ‘ඉලියඩ්’ නම් වෙළුම් 24 කින් යුතු කාව්‍ය ග්‍රන්ථය කියවන අයෙක්ට එය සත්‍ය වශයෙන් ම සිදු වූ යුද්ධයකට වඩා මිථ්‍යාවට බර බව හැඟීම නොවැළැක්විය හැකි බව යි ඉතිහාසඥයින්ගේ මතය වන්නේ.

© Franz Matsch

පැරිස් සමග පලා ගිය රූමත් හෙලන්

ග්‍රීක පුරාවෘත්තයන්ට අනුව ට්‍රෝජන් යුද්ධය ඇති වීමට පදනම සැකසෙන්නේ සියුස් දෙවිඳුන්ගේ තීරණයක් හේතුවෙන්. මනුෂ්‍ය ලෝකයේ කටයුතු සාමකාමී ව පැවති සමයක දී ආරවුල්වලට සහ අසමගියට අධිපති ග්‍රීක දේවතාවිය වන එරිස්, ‘අසමගියේ ඇපල් ගෙඩිය’ ලෙස ඇතැම් මූලාශ්‍රයන් හි දැක්වෙන රන්වන් ඇපල් ගෙඩියක් තවත් ග්‍රීක දේවතාවියන් තිදෙනෙකු ව වන හේරා, ඇතීනා සහ ඇෆ්‍රොඩයිටී වෙත ලබා දෙනවා. රන්වන් ඇපල් ගෙඩිය ලබා දෙමින් එරිස් ප්‍රකාශ කර සිටින්නේ ඔවුන් තිදෙනාගෙන් සුන්දර ම දේවතාවිය වෙත එය හිමි විය යුතු බව යි. ඒ අනුව වඩාත් සුන්දර දේවතාවිය තෝරා ගැනීම සඳහා හේරා, ඇතීනා සහ ඇෆ්‍රොඩයිටී අතර ගැටුමක් ඇති වන අතර ඔවුන් අතරින් සොඳුරු ම දෙවඟන තේරීමේ කාර්යය සියුස් දෙවිඳුන් විසින් ට්‍රෝයි නුවර පාලනය කළ ප්‍රියම් රජුගේ පුතු වූ පැරිස් කුමරු වෙත පවරනු ලබනවා.

(© Peter Paul Rubens) පැරිස් විසින් රූමත් ම දෙවඟන තේරීම

දේවතාවියන් තිදෙනා ම අතිශය රූමත් වූ බැවින් පැරිස් කුමරුට ද ඔවුන් තිදෙනාගෙන් වඩාත් සුන්දර කවුදැයි තීරණය කිරීම අපහසු වූ බව සඳහන්. මේ හේතුවෙන් දේවතාවියන් තිදෙනා ම ඔහුට අල්ලස් ලබා දීමට ඉදිරිපත් වන අතර හේරා පොරොන්දු වන්නේ සමස්ත යුරෝපයේ සහ ආසියාවේ අයිතිය පැරිස්ට ලබා දෙන බව යි. යුද කුසලතා, දැනුම සහ රණශූරයෙක් සතු සියලු ම දක්ෂතා ලබා දීමට ඇතීනා ඉදිරිපත් වන අතර මිහිමත වාසය කරන සුන්දර ම කාන්තාව පැරිස්ට ලබා දීමට ඇෆ්‍රොඩයිටී පොරොන්දු වෙනවා. තරුණ වියේ පසු වූ පැරිස්, දේවතාවියන් අතරින් සුන්දර ම දේවතාවිය ලෙස තෝරා ගන්නේ ප්‍රේමයට සහ රූප සම්පත්තියට අධිපති ඇෆ්‍රොඩයිටී දෙවඟන යි.

(© Jacques-Louis David) පැරිස් සහ හෙලන්

රන්වන් ඇපල් ගෙඩිය හිමි කර ගැනීමෙන් පසු ව ඇෆ්‍රොඩයිටී පොරොන්දු වූ පරිදි ම මිහිමත වාසය කරන සොඳුරු ම කාන්තාව වූ හෙලන්, පැරිස් කුමරු හා ආලයෙන් බැඳීමට සලස්වනවා. නමුත් ඒ වන විට ද ග්‍රීසියේ ස්පාර්ටා නුවර පාලන කටයුතු මෙහෙය වන මෙනලෙයස් රජු සමග විවාහ වී සිටින රූමත් හෙලන්ට සිදු වන්නේ හොර රහසේ ම පැරිස් කුමරු සමග ට්‍රෝයි නුවර බලා පලා යාමට යි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ස්පාර්ටා නුවර සහ ට්‍රෝයි නුවර අතර දශකයක් මුළුල්ලේ පැවතුණු බව සඳහන් වෙන ට්‍රෝජන් යුද්ධය ආරම්භ වීම යි.

හෙලන් ව ගලවා ගැනීම සඳහා මහා සංග්‍රාමයක්

තමන්ගේ රැජින පැරිස් කුමරු සමග පලා ගිය බව පිළි ගැනීමට අකැමති වූ වන මෙනලෙයස් රජුගේ අදහස වන්නේ පැරිස් කුමරු ඇය ව බලෙන් පැහැරගෙන ගිය බව යි. ඒ අනුව ඇය ව ගලවා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කරන ඔහු එහි නායකත්වය ඔහුගේ සහෝදරයා වූ ඇගමෙම්නොන් වෙත පවරනවා. ඒ අනුව දස දහස් ගණනක හමුදාවක් සහ යුද නෞකා දහසක් සමග එජියන් මුහුද ඔස්සේ බටහිර ආසියාවට (වත්මන් තුර්කිය ආශ්‍රිත ප්‍රදේශය) ළඟා වී ට්‍රෝයි නුවර වටලන ලද බව සඳහන්. මුල් අවස්ථාවේ දී ට්‍රෝයි නුවරට එරෙහි ව යුද ප්‍රකාශ නොකර ඇගමෙම්නොන්, ප්‍රියම් රජුගෙන් ඉල්ලා සිටින්නේ පැරිස් කුමරු රැගෙන ආ රූමත් හෙලන් ව යළිත් ලබා දෙන ලෙස යි.

(© Guido Reni) රූමත් හෙලන් පැරිස් සමග ට්‍රෝයි නුවර බලා පැමිණීම

නමුත් රූමත් හෙලන් ස්වකැමැත්තෙන් ට්‍රෝයි නුවරට පැමිණි බව සඳහන් කරන ප්‍රියම් රජු ඇය ව ආපසු ලබා දීම ප්‍රතික්ෂේප කරන අතර ඇගමෙම්නොන් අප්‍රමාදී ව ට්‍රෝයි නුවරට එරෙහි ව යුද ප්‍රකාශ කරනවා. මෙසේ ආරම්භ වන ට්‍රෝජන් යුද්ධය දශකයක් තිස්සේ පැවති බව යි ග්‍රීක කිවිවර හෝමර්ගේ ‘ඉලියඩ්’ නම් කාව්‍ය ග්‍රන්ථයේ සඳහන් වන්නේ. ට්‍රෝජන් යුද්ධයේ දී ඇපලෝ සහ ඇෆ්‍රොඩයිටී වැනි දෙවිවරුන් ද ට්‍රෝයි නුවර වෙනුවෙන් සටන් කර ඇති අතර මෙනලෙයස් රජුගේ මාරක ප්‍රහාරයකින් පැරිස්ගේ දිවි ගලවාගෙන ඇත්තේ ඇෆ්‍රොඩයිටී දෙවඟන යි.

ලී අසු තුළ සැඟ වී පැමිණි ග්‍රීක සටන්කරුවන්

(© Keith Thompson / Infidel Bloggers Alliance)

දශකයක සංග්‍රාමයකින් පසු ව ට්‍රෝයි නුවරට ඇතුළු වීමට නොහැකි වූ ඇගමෙම්නොන් සහ ග්‍රීක සටන්කරුවන්, උපායක් යොදා ගනිමින් ට්‍රෝයි නුවරට ඇතුළු වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් උදෑසනක දී සටන් බිම වෙත පැමිණෙන ට්‍රෝයි යුද භටයින්ට දැක ගැනීමට ලැබෙන්නේ දැවයෙන් තනන ලද විශාල අශ්වයෙක් ට්‍රෝයි නුවර ප්‍රධාන ද්වාරය අසල තැන්පත් කර සියලු ම ග්‍රීක සටන්කාමීන් ඔවුන්ගේ කඳවුර කරා පසුබැස ඇති ආකාරය යි. එය යුද ජයග්‍රහණයක් ලෙස සැලකූ ට්‍රෝයි යුද භටයන් ජයග්‍රහණය සැමරීම සඳහා දැවමය අශ්වයා ව ට්‍රෝයි නගරය තුළට රැගෙන යනවා.

© Pinterest

නමුත් රාත්‍රිය උදා වූ පසු දැවමය අශ්වයා තුළ සැඟ වී සිටි ඔඩේසියස්ගේ නායකත්වයෙන් යුතු ග්‍රීක සටන්කාමීන් පිටතට පැමිණි ට්‍රෝයි නගරය සම්පූර්ණයෙන් ම විනාශ කරන ලද බව සඳහන්. ට්‍රෝයි හි දී ඇති වන සංග්‍රාමය අතරතුර දී දරුණු ලෙස තුවාල ලබන පැරිස් මිය යන අතර ජයග්‍රාහී ග්‍රීක සටන්කමීන් ව රූමත් ව හෙලන් ව යළිත් ස්පාර්ටා නුවර කරා රැගෙන ගොස් මෙනලෙයස් රජුට භාර දී තිබෙනවා.

කවරයේ පින්තූරය : © Pinterest