Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ගැඹුරුම අගාධය – මරියානා ආගාධය

ලෝකයේ විවිධ වූ භූ විෂමතාවයන්ට අනුව විවධ කඳු හා අගාධ නිර්මාණය වී ඇත. මේ අනුව ලෝකයේ උසම ස්ථානය ලෙස හැඳින්වෙන්නේ එවරස්ට් කන්දයි. මෙහි උස දළ වශයෙන් මීටර් 8850ක් පමණ වේ. ලෝකයේ ගැඹුරුම තැන ලෙස දක්වා ඇත්තේ මරියානා ආගාධයයි. මෙය සාගරයේ ඇති ගැඹුරුම ස්ථානයද වේ. මෙහි ගැඹුර මීටර් 11034ක් පමණ වේ. ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද මරියානා ආගාධයේ ගිල්වුවද එම කඳු මුදුන මුහුදු මට්ටමට මීටර් 2133 ක් පහළින් පවතී. මේ අනුව මරියානා ආගාධය කෙතරම් ගැඹුරුද යන්න අප සියල්ලන්ටම වැටහේ. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ මරියානා ආගාධය පිළිබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමටයි.

පිහිටීම හා භෞතික ලක්ෂණ

i-fink.com

මරියානා ආගාධය පිහිටා ඇත්තේ බටහිර පැසිපික් සාගරය තුළයි. මෙහි දිග සැතපුම් 1580ක් පමණ වන අතර පළල සැතපුම් 43ක් පමණ වේ. මරියානා ආගාධය සඳහා නම ලැබී ඇත්තේ මරියානා දූපත් නම් කිරීමෙන් පසුවයි. මෙම ආගාධය අර්ධ කවාකාර හෝ අඩ සඳක හැඩයක් ගනී. විද්‍යාඥයින්ට අනුව මෙය නිර්මාණය වී ඇත්තේ පෘතුවි පෘෂ්ඨය සාගර තලයෙන් ඉහළට එසවීමෙනි.

සාගර තලයේ ඇති මරියානා ආගාධ කොටසේ උණුසුම් ජල විවර දක්නට ලැබේ. මෙම විවර තුළින් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි ඛනිජ වර්ග නිකුත් කරයි. මරියානා ආගාධයේ උෂ්ණත්වය ඉතා පහළ  අගයක පවතී. මෙහි පීඩනය සාමාන්‍ය මුහුදේ පීඩනය මෙන් දහස් ගුණයක් පමණ වේ. මරියානා ආගාධයේ පතුල කහ පැහැයට හුරු පැහැයක් ගනී. ඊට හේතුව දිරාපත් වූ සත්ව කොටස්, ශාක කොටස්, කවච ආදිය නිරන්තරයෙන් එහි තැන්පත් වී තිබීමයි.

මරියානා ආගාධයේ ගැඹුර මැනීම

deepseachallenge.com

මරියානා ආගාධයේ ගැඹුර මුලින්ම මැනීම සිදු කරන ලද්දේ වර්ෂ 1875 වසරේදීය. ඒ ශබ්ද තරංග උපයෝගී කර ගනිමිනි. ඉන් පසු මෙහි ගැඹුර මනින ලද්දේ 1899 වසරේදීය. මෙයද සිදු කරන ලද්දේ ශබ්ද තරංග උපයෝගී කර ගනිමිනි. 1957 වසරේදී සෝවියට් පර්යේෂණ නැවක් විසින් මෙහි පෙර සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් ගැඹුරට වඩා ගැඹුරක් ඇති බව සොයා ගන්නා ලදි. ඔවුන් වාර්තා කළ ගැඹුර වන්නේ මීටර් 10,990 කි. මීට පසු නවීන තාක්ෂණයත් සමඟ අඛණ්ඩව මෙහි ගැඹුර මැනීම සිදු කරන ලද අතර වර්තමානය වන විට මෙහි ගැඹුර මීටර් 11034ක් බව සොයාගෙන ඇත.

ආගාධය නිර්මාණය වීම

cimsec.org

මරියානා ආගාධය නිර්මාණය වී ඇත්තේ විශාල සාගර පෘෂ්ඨ දෙකක් එකිනෙක ඝට්ටනය වීමෙනි. මේවා භූ තැටි ලෙසින්ද හඳුන්වයි. මෙම ගැටීම නිසා එක් පෘෂ්ඨයක් අනෙකෙන් ඈතට තල්ලු වී පහළට ගොස් ඇත. මෙලෙස පහළට ගමන් කල පෘෂ්ඨය පෘතුවියේ බාහිර ස්ථරයෙන් යටට කිඳා බැසීමක් සිදු වී ඇත. මෙලෙස ගැටුණු පෘෂ්ඨ දෙකේ ගිලා බැසුණු පෘෂ්ඨය හේතුවෙන් විශාල ආගාධයක් නිර්මාණය වීම සිදු වේ. මරියානා ආගාධය නිර්මාණය වී ඇත්තේ මෙලෙසිනි. මෙහිදී එකට ගැටී ඇති පෘෂ්ඨ දෙක වන්නේ පැසිපික් පෘෂ්ඨය හා පිලිපීන පෘෂ්ඨයයි. පැසිෆික් තැටිය වසර මිලියන 180ක් පමණ පැරණි වේ. පිලිපීන තැටිය පැසිපික් තැටිය තරම් පැරණි නොවේ.

මරියානා ආගාධයේ කිමිදීම

මරියානා අගාධයේ ඇති අධික ගැඹුර නිසා මෙය දැඩි කලුවරකින් හා ශීතලකින් යුතු වේ. මිට අමතරව මෙහි ජලයේ පීඩනයද අධිකව පවතී. මරියානා ආගාධයට මේ වන තුරුම ගමන් කර ඇත්තේ එක් වාරයක් පමණි. ඒ වර්ෂ 1960 දී Jacques piccard හා Don Walsh නමැත්තන් විසිනි. පැය පහක කිමිදුමක නිරත වූ මොවුන්ට ගැඹුරු ප්‍රදේශ වල ඡායාරූප ගැනීමට නොහැකි විය. ඊට හේතුව රොන් මඩ හේතුවෙන් එම ප්‍රදේශය අපැහැදිලි වී තිබීමයි. මොවුන් කිමිදෙන තුරු විද්‍යාඥයින්ට තිබූ එක් ගැටලුවක් වුයේ මෙතරම් ගැඹුරු ස්ථානයක ජීවින් සිටිය හැකිද යන්නයි. මෙම ඉතිහාසගත කිමිදීමෙන් අනතුරුව එතරම් ගැඹුරක පවා ජීවින් ඇති බවට විද්‍යාඥයින් සොයා ගන්නා ලදී.

මෙහි ජීවත් වන සතුන්

animals.howstuffworks.com

මෑතකදී කරන ලද පරීක්ෂණ වලට අනුව මරියානා ආගාධයේ විවිධ වූ ජීවින් වාසය කරන බව සොයාගෙන ඇත. මෙහි ගැඹුරුම කොටස් වල ජිවත් වන සතුන් දැඩි පීඩනයකින් හා ඝන කළුවරේ ජිවත් වේ. Scripps ආයතනයේ ඉගනුම ලබන Gallo සිසුවා ප්‍රකාශ කර ඇති ආකාරයට මරියානා ආගාධයේ ආහාර ඉතාමත් සීමිත වේ. ගස් කොළ හා පැළෑටි අතරින් මෙම ප්‍රදේශයට ළඟා වීමට විශාල දුරක් පහළට ගමන් කළ යුතු වේ. මේ හේතුවෙන් මෙහි සිටින ඇතැම් ක්ෂුද්‍ර ජීවින් මීතේන්, සල්ෆර් වැනි රසායනික ද්‍රව්‍ය මත යැපේ.

abc.net.au

මරියානා ආගාධයේ දැකිය හැකි සුලභ ජීවින් කොට්ඨාශ තුනක් වන්නේ xenophyophores, amphipods හා holothurians ය. මීට අමතරව මෙහි පතුලේ ඇති මඩ තට්ටු වල ක්ෂුද්‍ර ජීවින් වර්ග 200ක් පමණ ජීවත් වන බව සොයා ගෙන ඇත. අවාසනාවකට වර්තමානයේදී ගැඹුරු මුහුද මිනිසුන්ගේ අපද්‍රව්‍ය එක් රැස් වන තැනක් බවට පත් වී ඇත. පරීක්ෂණ වලින් හෙළි වී ඇති ආකාරයට 1970 වසරේදී තහනම් කරන ලද මිනිසා නිපද වූ විවිධ රසායනික ද්‍රව්‍ය තවමත් මෙම ගැඹුරු මුහුදු ප්‍රදේශ වල සැඟ වී ඇත.

නීතිමය බලය ඇත්තේ කාටද

සීමා කරන ලද ආර්ථික කලාප වලට අනුව මුහුදේ ඇති ජීවි හා අජීවී සම්පත් පිළිබඳ රටකට අයිතිය ඇත්තේ එහි වෙරළ තිරයේ සිට නාවික සැතපුම් 200ක් යනතුරු පමණි. මරියානා දූපත් වල පිහිටීමට ආසන්නතම රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එම නිසා මරියානා ආගාධය සම්බන්ධයෙන් අධිකරණ බලය ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි.

කවරයේ පින්තුරය – img.tyt.by

Related Articles