Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලන්ඩන් නුවර පොලිස් මූලස්ථානය: ස්කොට්ලන්ඩ් යාඩ්

ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂක කථාන්තර රසිකයන්ට ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසිය නුපුරුදු තැනක් නොවෙයි. ‘ස්කොට්ලන්ඩ් යාඩ්’යැ යි පැවසූ සැණෙන් ශ්‍රී ලාංකිකයන්ගේ සිහියට නැඟෙන්නේ සංකීර්ණ ගැටළු විසඳීම සඳහා ෂර්ලොක් හෝම්ස්ගේ උපදෙස් සහ සහාය පැතූ ලෙස්ට්‍රේඩ්, ග්‍රෙග්සන්, හොප්කින්ස්, සහ බ්‍රැඩ්ස්ට්‍රීට් වැනි පොලිස් පරීක්ෂකයින් වුව ද, ලන්ඩන් නුවර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙසියවසකට ආසන්න ඉතිහාසයක් ඇති ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසියෙන් සිදුවන මෙහෙය නොසලකා සිටින්නට බැහැ. එසේ ම, වික්ටෝරියානු එංගලන්තයේ කාන්තා ඝාතකයා ලෙස සැලකෙන ‘ජැක් ද රිපර්’ සොයා සිදුකළ මෙහෙයුමේ පටන් 7/7 ලන්ඩන් ප්‍රහාරය (2005 ජූලි 7 වැනි දින ලන්ඩන් නුවරට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය) සඳහා වගකිව යුතු පාර්ශවයන් සොයා පරීක්ෂණ සිදුකිරීමේ ගෞරවය හිමි විය යුත්තේ ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසියට යි.

(© Daily Mail) ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසියේ නාම පුවරුව

ලන්ඩන් නුවර නාගරික පොලිසියේ මූලස්ථානය ලෙස සැලකෙන ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසිය, නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ ‘නිව් ස්කොට්ලන්ඩ් යාඩ්’ යන නාමයෙන්. වෙස්ට්මින්ස්ටර් නුවර, වෙස්ට්මින්ස්ටර් පාලමට උතුරු දෙසින් තේම්ස් නදියේ වික්ටෝරියා ඉවුරේ එය පිහිටා තිබෙනවා. නමුත් කලකට පෙර ග්‍රේට් ස්කොට්ලන්ඩ් යාඩ් වීදියට විවර වන පිටුපස දොරටුවක් සහිත ව ලන්ඩන් නුවර නාගරික පොලිසියේ මූලස්ථානය පිහිටා තිබුණේ වයිට්හෝල් පෙදෙසේ, අංක. 4 දරණ ස්ථානයේ වන අතර, ඒ හේතුවෙන් එයට ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ යන නාමය ලැබෙන්නට ඇති බව යි සැලකෙන්නේ.

ලන්ඩන් නුවර ආරක්ෂාවට පොලිස් බලකායක්

(© Henry William Pickersgill) ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසිය පිහිටුවීමට මූලිකත්වය ගත් ශ්‍රීමත් රොබට් පීල්  

1829 දී එවකට මහා බ්‍රිතාන්‍යයේ ස්වදේශීය ලේකම් (Home Secretary) ලෙස කටයුතු කළ ශ්‍රීමත් රොබට් පීල් විසින් ලන්ඩන් නුවර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් බලකායක් නිර්මාණය කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පනත සම්මත වී තිබෙනවා. එහි ප්‍රතිඵලය වුණේ එවකට ලන්ඩන් නුවර ආශ්‍රිත ව ක්‍රියාත්මක වූ මුරකාර සේවය වෙනුවට අලුත් පොලිස් බලකායක් බිහි වීම යි. 1839 වන විට නව පොලිස් බලකායේ නිලධාරීන්ට, මහේස්ත්‍රාත්වරුන්ගේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා යොදවා සිටි බෝ වීදියේ සංචාරක නිලධාරීන්ගේ (the Bow Street Patrols) ස්ථානය පමණක් නොව තේම්ස් නදිය අවට අපරාධ මැඩ පැවැත්වීම සඳහා කටයුතු කළ රිවර් පොලිසියේ (the River Police) ස්ථානය ද හිමි වුණා.

(© Wikimedia Commons) ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසිය නිසා තනතුරු අහිමි වූ බෝ වීදියේ සංචාරක නිලධාරීන්

‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසියේ ප්‍රධාන වගකීම වුණේ සමාජයේ වැදගත් සාමාජිකයින්ට ආරක්ෂාව සැපයීම, ප්‍රජා මුර සංචාරයේ යෙදීම, මහජන කටයුතු, කාර්ය මණ්ඩල කළමනාකරණය, සහ නව බඳවා ගැනීම් සිදුකිරීම යි. ඒ අනුව 1842 දී සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් භටයින්, විදී සංචාරයේ යෙදවීමට පවා ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසිය කටයුතු කර ඇති අතර, ඒ හේතුවෙන් වැදගත් පරීක්ෂණ කිහිපයක් ම සාර්ථක ව නිම කර මහජන ප්‍රසාදය දිනා ගැනීමට ඔවුන් සමත් වූ බව යි වාර්තා වන්නේ. නමුත් 1877 දී රහස් පරීක්ෂක අංශ ප්‍රධානීන් පස් දෙනෙකු අතරින් සිව් දෙනෙක්, අපරාධකරුවන් සමග කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් අධිකරණය ඉදිරියට පමුණුවා ඇති අතර, එයින් ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසියේ කීර්තිනාමයට සිදු වූ හානිය පිළිසකර කිරීමට ගත් උත්සාහයේ අවසන් ප්‍රතිඵලය වුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (හෙවත් CID) බිහි වීම යි.

‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිස් ඉතිහාසයේ ප්‍රකට මංසලකුණු

(© National Portrait Gallery) ‘මුගටියා’ හෙවත් ෆ්‍රෙඩරික් පෝටර් වෙන්ස්ලි

මිතුරන් විසින් ‘මුගටියා’ යන නාමයෙන් ආමන්ත්‍රණය කරන ලද ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසිය සතු වූ අයෝමය රහස් පරීක්ෂකයා ලෙස සැලකෙන ෆ්‍රෙඩරික් පෝටර් වෙන්ස්ලි, ඔහුගේ 40 වසරක රාජකාරී දිවිය අරඹන ලද්දේ 1888 දී යි. ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිස් ඉතිහාසයේ මංසලකුණු තැබූ පරීක්ෂක රැසක නියැලුණු ප්‍රකට ම පරීක්ෂණය ලෙස ‘Blodie Belgium’ හෙවත් 32 හැවිරිදි ප්‍රංශ කතක් වූ එමිලියන් ජෙරාඩ්ගේ මිනීමරුවා සොයා සිදුකළ පරීක්ෂණය සැලකෙනවා. 1917 නොවැම්බර් 2 වැනි දින උදෑසන, විදී පිරිසිදු කරන්නන්ට එමිලියන් ජෙරාඩ්ගේ කවන්ධය හමුවුණේ ‘Blodie Belgium’ යන වදන පෙළ සහිත කඩදාසියක් ද සමග යි. අපරාධකරුවා සොයා ගිය ෆ්‍රෙඩරික් පෝටර් වෙන්ස්ලි, එමිලියන් ජෙරාඩ්ගේ ආදරවන්තයා වූ ලුවී වොයිසන් ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසු ව පොලිස් පරීක්ෂකවරයා, ‘Bloody Belgium’ යන වදන කඩදාසියක් මත සටහන් කරන ලෙස ලුවී වොයිසන්ට නියම කර ඇති අතර, ඔහු විසින් එය අකුරු වරදවා ‘Blodie Belgium’ ලෙස ලියා ඇත්තේ ඔහුගේ වරද තහවුරු කරමින්.

(© Illustrated London News) ‘ජැක් ද රිපර්’ මනඃකල්පිත සිතුවමක්

‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසිය විසින් සිදුකරන ලද තවත් ප්‍රකට මෙහෙයුමක් වන්නේ වික්ටෝරියානු එංගලන්තයේ කාන්තා ඝාතකයා ලෙස සැලකෙන ‘ජැක් ද රිපර්’ සොයා යාම යි. 1888 – 1891 අතර කාලයේ දී ඔහු විසින් වයිට්චැපල් ප්‍රදේශය ආශ්‍රිත ව කාන්තා පස් දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කර තිබෙනවා. නූතන අධිකරණ වෛද්‍ය තාක්ෂණයන් නොපැවති 19 වැනි සියවසේ දී ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසිය විසින් අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා භාවිතා කරන ලද්දේ මානවමිතිය (එනම් ඇහිබැමේ ඝනකම හෝ හක්කේ හැඩය වැනි මුහුණේ ලක්ෂණ උපයෝගී කර ගනිමින් අපරාධකරුවන් හඳුනාගැනීම) යි. ඒ අනුව ‘ජැක් ද රිපර්’ බවට සැකපිට ‘විශ්මලන්තයේ ඇලිස්’ ග්‍රන්ථයේ රචක ලුවිස් කැරොල් වැනි ජනප්‍රිය පුද්ගලයින් ද ඇතුළු ව පුද්ගලයින් 160කට අධික ප්‍රමාණයක් ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත ද සැබෑ මිනීමරුවා සොයාගැනීමට අසමත් වීම හේතුවෙන් ඔවුන් 1892 දී ‘ජැක් ද රිපර්’ පරීක්ෂණ ගොනුව නිල වශයෙන් වසා දමා තිබෙනවා.

(© Captain Roger Fenton) තේම්ස් නදියේ වික්ටෝරියා ඉවුරේ ‘නිව් ස්කොට්ලන්ඩ් යාඩ්’ ගොඩනැඟිල්ල

වර්තමානයේ දී ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසිය

වයිට්හෝල් පෙදෙසේ පිහිටි ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිස් ගොඩනැඟිල්ල, තේම්ස් නදියේ වික්ටෝරියා ඉවුරේ පිහිටි මහල් 20කින් යුතු නවීන ගොඩනැඟිල්ල වෙත රැගෙන යන ලද්දේ 1967 දී යි. එතැන් පටන් ‘නිව් ස්කොට්ලන්ඩ් යාඩ්’ ලෙස හඳුන්වනු ලබන එහි, දළ වශයෙන් පොලිස් නිලධාරීන් 30,000ක් පමණ සේවයේ යෙදී සිටිනවා. එසේ ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යංශය (හෙවත් FBI) පවා භාවිතා කරන ඇඟිලි සලකුණු ක්‍රමවේදයන් ඇතුළු පරීක්ෂණ විධි රාශියක් මුල් වරට භාවිතා කිරීමේ ගෞරවය හිමි වන්නේ, ‘ස්කොට්ලන්ඩ් යාඩ්’ පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යි.

කවරයේ පින්තූරය: © The Financial Times Limited

Related Articles