Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොහාවි ජනයා අතර හැදී වැඩුණු මෝමොන් යුවතිය – ඔලිව් ඕට්මාන්

19 වන සියවස ආරම්භයේ දීත් ඇමෙරිකා එක්සත් ජනපදයේ තැනින් තැන ස්වදේශික ජන කොට්ඨාස සිය බලය තහවුරු කරගෙන සිටියා. මින් සමහරක් ජනයා ප්‍රචණ්ඩ ගති පැවතුම් තිබූ අයවළුන් වූ අතර, තම බල ප්‍රදේශයට ඇතුළු වන ආගන්තුකයින් මරා දැමීමට පවා විටෙක සැහැසි වුණා.

ඔලිව් ඕට්මාන් ඇමෙරිකා එක්සත් ජනපදය සිය නිජ භූමිය කරගත් සුදු ජාතික තරුණියක්. මෝමොන් භක්තිකයන් වූ ඇගේ දෙමාපියන්, ඇය හා ඇගේ සොයුරු සොයුරියන් හොඳින් රැක බලාගත්තා. මේ නිසා ඇගේ ජීවිතය ප්‍රීතිමත් ලෙසත්, සාමාන්‍ය ලෙසත් ගලා ගියා. 13 වැනි වියේ දී මෙලෙස ගෙවුණු ඇගේ දිවිය උඩු යටිකුරු වූයේ ස්වදේශික ජන කණ්ඩායමක් ඇගේ දෙමාපියන් ඇතුළු පවුලේ වැඩිදෙනා ඝාතනය කිරීමත් සමග යි.

පවුල මුහුණදුන් අකරතැබ්බ

ඔලිව් ඕට්මාන්- arizonahighways.com

ඔලිව් ඕට්මාන් උපත ලැබුවේ 1837 වසරේ දී යි. ඇයගේ දෙමාපියන් වන රෝයිස් හා මේරි ඈන් ඉතාමත් තද මෝමන් ලබ්ධිකයින් වුණා. 1850 වසරේ දී, එනම් ඔලිව් හට 13 විය සපිරෙන වසරේ දී ඇගේ මුළු පවුලම ආගමික කටයුත්තක් සඳහා යූටාවේ සිට කැලිෆෝනියාව දක්වා තවත් විශාල පිරිසක් සමග ගමන් අරඹනවා. මේ ගමන අතරතුර නිව් මෙක්සිකෝ ප්‍රාන්තය ඔවුනට හමුවන අතර එහිදී මේ නඩය දෙකට බෙදෙනවා. එක් පිරිසක් උතුරු දිගට යද්දී, ඕට්මන් පවුල ඇතුළු අනෙක් පිරිස දකුණුදිගට ගමන් කළා. 

උක්ත දෙවන කණ්ඩායමේ එක් සන්ධිස්ථානයෙක් වුණේ ඇරිසෝනාවේ ටූසාන් නුවර යි. ඒ අතරමැද මැරිකෝපා වෙල්ස් නම් පෙදෙසක් හමුවන අතර, කාන්තාරික දේශගුණය පවතින ඇරිසෝනාවේ, ජල උල්පත් සහිත ළිං කිහිපයක් මෙහි පැවතියා. ආසන්නයේ වෙනත් කිසිදු ජල මූලාශ්‍රයක් නොමැති බැවින්, සංචාරයේ යෙදෙන බොහෝ පිරිස් සිය ජල අවශ්‍යතා සපුරාගන්නට මේ ස්ථානයේ නැවතුණා. මෙහිදී, එහි ජීවත් වූ ජනයාගෙන් ඕට්මන් පවුල ඇතුළු සංචාරක කණ්ඩායමට අනතුරු ඇඟවීමක් ලබෙනවා. ඒ එම ස්ථානයේ සිට ටූසාන් දක්වා වැටී ඇති මඟ දෙපස ජීවත් වන ස්වදේශික ජනයා ඉතා ප්‍රචණ්ඩ හා ම්ලේච්ඡ බව යි. මේ පණිවුඩය ඇසූ පිරිසේ බොහෝ දෙනා සිය ගමන නවතා එම ස්ථානයේම රැඳී සිටින්නට තීරණය කරනවා.

ඉතා තද මෝමන් ලබ්ධිකයන් වූ ඕට්මන් යුවල මෙහිදී තීරණය කරන්නේ කෙසේ හෝ සිය දරුවන් සමග ඉදිරියට ගොස් ඉක්මණින්ම තමන් සමග පැමිණි අනෙක් කණ්ඩායම සමග එක් වීම සුදුසු බව යි. මේ නිසා ඔවුන් සිය දරුවන් කැටුව තනිවම ගමන අරඹනවා.

දින සතරක් කිසිදු උපද්‍රවයකින් තොරව ඔවුන් ගමන් කළ අතර, සිව්වැනි දිනයේ දී ඔවුනට ස්වදේශික ජන කණ්ඩායමක් මුහුණට මුහුණ හමු වනවා. මොවුන් අයත් වූයේ බටහිර යවපායි නම් ස්වදෙශික කණ්ඩායමට යි. ඔවුන් ඕට්මන් පවුල සමග මුල දී සුහදව ආහාර හා දුම්කොල ගණුදෙනුවකට සැරසෙනවා. මෙහිදී එම කටයුත්තට රෝයිස් එකඟ නොවීමත් සමග ප්‍රචණ්ඩ වන ස්වදේශිකයින් මුගුරු හා පොරව යොදාගෙන ඕට්මන් පවුලට පහර පිට පහර එල්ල කරනවා. මෙහිදී ඕට්මන් යුවල හා දරුවන් සිව් දෙනෙක් එතැනම මියයනවා.

ස්වදේශිකයින් සමග

ඔලිව් හා ඇගේ සොයුරියක වන මේරි ස්වදේශිකයින්ගෙන් එල්ල වුණු ප්‍රහාරයෙන් දිවි ගලවාගන්නා අතර ඔවුන් ස්වදේශික කණ්ඩායමේ ග්‍රහණයට නතු වෙනවා. සැතපුම් සියයක් පමණ එපිටින් පිහිටි සිය වාසභවනට ඔවුන් ගෙන යන යවපායි ජනයා ඔවුන් වහලුන් මෙන් සේවයේ යොදවා ගන්නවා. මෙහිදී දෙසොයුරියන්ට නිතාරම පහරකෑම්වලට ලක්වන්නට සිදුවුණා.

යවපායි ගෝත්‍රිකයින් සමග දෙසොයුරියන් ඉතා අයහපත් වසරක් ගත කළ අතර, අවසානයේ ඔවුන් මේ දෙදෙනා තවත් ස්වදේශික ජන කණ්ඩායමක් වන මොහාවි ගෝත්‍රිකයින් සමග හුවමාරු කරගත්තේ අශ්වයින් දෙදෙනෙකුට යි.

මොහාවි ගෝත්‍රිකයෙක්- fortmojaveindiantribe.com

පමාවී ආ වාසනාව

මොහාවි ජන කණ්ඩායම යවපායිවරුන්ට වඩා යහපත් වූ, එමෙන්ම හොඳින් බව භෝග සම්පත්තිය තිබූ ජන කොට්ඨාසයක් වුණා. ඔවුන්ගේ නායකයා ඔලිව් හා මේරි ගැන අනුකම්පා උපදවා ඔවුන් තමන්ගේම දරුවන් ලෙස ඇතිදැඩි කරන්නට පටන් ගත්තා. ඔවුනට සාම්ප්‍රදායික මොහාවි ඇඳුම් පැළඳුම් ලැබුණු අතර, වගා කිරීම සඳහා ඉඩම් කොටස් ද ලැබුණා.

මොහාවි ජනයා සිය නිකටේ හා අත්වල පච්චා කොටා ගැනීම චාරිත්‍රයක් ලෙස සිදු කළ අතර, එම සමාජයේ පිළිගැනුම ලබන්නට නම් එය සිදු කළ යුතුම වුණා. ඉක්මණින්ම දෙසොයුරියන්ගේ සිරුරුවල ද පච්චා කොටන්නට ඔවුන් ක්‍රියා කළා.

1855 හා 1856 වසර මොහාවි ජනයාට එතරම් යහපත් කාල වකවානුවක් වූයේ නැහැ. නිසි කලට වැසි නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ භෝග වගාවන් විනාශ වී ගිය අතර ජල මූලාශ්‍ර බොහොමයක් ද සිඳී ගියා. මේ හේතුවෙන් දුර්භික්ෂයක් පැතිරී බොහෝ දෙනා මියගියා. මියගියවුන් අතර ඔලිව්ගේ සොයුරිය මේරි ද වුණා. සොයුරියගේ අභාවයත් සමග තනි වූ ඔලිව් සම්පූර්ණයෙන්ම මොහාවි ජනයාගේ සම්ප්‍රදායට හුරු වී ඔවුන් සමග දිවි ගෙවන්නට තීරණය කළා.

නැවතත් සුදු ජාතිකයින් අතරට

ඔලිව් 19 වන වියට පා තබන තුරු ඇය සාමකාමීව මොහාවි ජනයා සමග හැදී වැඩුණා. ඒ ඔවුන්ගේම කෙනෙකු ලෙස යි. මේ කාලයේ දී සුදු ජාතික කාන්තාවක් මොහාවි ජනයා අතර සිටින බැව් ඇමෙරිකානු සුදු ජාතික පාලන තන්ත්‍රය දැනගන්නා අතර, ඔවුන් වහාම මොහාවිවරුන්ට දන්වා හරින්නේ එක්කෝ එම සුදු ජාතික කාන්තාව තමන් වෙත භාර දෙන ලෙස යි. එසේත් නැතිනම් ඇය ඔවුන් සමග සිටින්නේ ඇයිදැ යි යන්න පිළිබඳව පිළිගත හැකි පැහැදිළි කිරීමක් කරන ලෙස යි.

ඕට්මන් නුවර- ahrensadventures.com

මුල දී ඇය සුදු ජාතිකයින්ට ලබා දීමට මොහාවි ජනයා කැමති නොවූවත් ඔවුන් තමන් විනාශ කරාවියැ යි බිය වූ නිසා අවසන ඔවුන් ඔලිව් සුදු ජාතිකයින් හට භාර දෙනවා. අවසානයේ සය වසරකට පසුව ඔලිව් සුදු ජාතික සමාජයට ඇතුළු වන අතර එහිදී ඇයට ලොරෙන්සෝ නම් තමන්ගේ එක් සොයුරෙක් සිය දෙමව්පියන් මියයාමට හේතු වූ ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන ජීවත් වන බව දැනගන්නට ලැබෙනවා. ඔහු ඒ වන විට ඔලිව් හා මේරි පිළිබඳව සෑම තැනකම සොයමින් සිටියා.

අවසානය

28 වියැතිව සිටිය දී ඔලිව් හට ජෝන් බී. ෆෙයාචයිල්ඩ් නම් අයෙකු මුණගැසෙනවා. මේ දෙදෙනා විවාපත් වන අතර ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචි වෙනවා. ඔවුන් කුඩා දරුවෙකු ද හදා වඩාගන්නවා.

නැවත සුදු ජාතිකයින් සමග දිවි ගෙවීම ආරම්භ කළ ද කායිකව හා මානසිකව යම් තාක් දුරකට ඔලිව් සිටියේ මොහාවිවරුන් සමග යි. ඇගේ මුහුණෙහි වූ පච්චා සලකුණු නිසා අනෙක් සුදු ගැහැණුන් අතර ඇය කැපී පෙණුනා. හැකියාවක් ලැබුණු විට ඇය මොහාවි ජනයා බැහැ දැක සුවදුක් විචාරන්නට ද අමතක කළේ නැහැ. ඇගේ අසාමාන්‍ය කතාව ඇමෙරිකානු ජනයා අතර ඉතා ප්‍රසිද්ධ වුණ.

1903 වසරේ දී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔලිව් ඕට්මන් මියයනවා. ඇය ඒ වන විට 65 වන වියෙහි පසුවුණා. පසුකාලීනව ඇය සිහිවනු වස් ඇරිසෝනාවේ නගරයක් ද ඇය නමින් නම් කෙරුණා.

Related Articles