ඇන්ටාක්ටිකාවේ ‘රුධිර ඇල්ලේ’ අබිරහස

සොබාදහම විසින් විවිධ වූ අපූර්ව දේවල් ලොව පුරා නිර්මාණය කොට තිබෙනවා. ජෛව විවිධත්වයෙන් අනූන ඇමසන් වනයේ සිට නිරුදක සහරාව දක්වා වූ පරිසර පද්ධතිවල නිර්මාණය වී ඇති මේවා, සමහර විටෙක දකින්නට ලැබෙන්නේ ලෝකයෙන් ම එකම ස්ථානයක පමණයි.
ඇන්ටාක්ටිකාව සැලකෙන්නේ වැඩිමනක් ම අයිස්වලින් ගැවසී ගත් ජනශුන්‍ය කලාපයක් ලෙස යි. කෙසේ නමුත් මෙහි ද අපූර්ව නිර්මාණ කරන්නට සොබාදහම අමතක කොට නැහැ. ඇන්ටාක්ටිකාවේ නැගෙනහිර පෙදෙසේ හමුවන ‘රුධිර ඇල්ල’ ඉන් ප්‍රමුඛතම එකක්. මේ පිළිබඳ ව මෙතෙක් කල් රහසක් ව පැවති දෙයක් පසුගිය දා හෙළිදරව් වුණා. ඒ එහි දක්නට ලැබෙන රක්ත වර්ණයට හේතුව යි.

රුධිර ඇල්ල පිළිබඳ හැඳින්වීම

නැගෙනහිරදිග ඇන්ටාක්ටිකාවේ හමුවන ටේලර් නම් ග්ලැසියරය සුවිශේෂී එකක් වෙනවා. එහි මතුපිට ඇති අයිස් ස්ථරයට අමතර ව ඊට යටින් ජල දහරාවක් ද ගලා යනවා. මෙහි මුවදොර සැලකිය යුතු මට්ටමක බෑවුමක පිහිටා ඇති අතර, ඊට සමගාමී ව ඉවතට කඩා හැලෙන ජල දහරාව දිය ඇල්ලක් නිර්මාණය කරනවා. මෙහි විශේෂත්වය වන්නේ එය මිනිස් රුධිරය මෙන් තද රතු පැහැ වර්ණයක් ගැනීම යි.

රුධිර ඇල්ල- noisebreak.com

රක්ත වර්ණයට හේතුව සොයා

ඇන්ටාක්ටිකාවේ රුධිර ඇල්ල ගවේෂණය කරන ලද්දේ 1911 වසරේ දී ඕස්ට්‍රේලියානු දේශ ගවේෂකයෙකු වන ග්‍රිෆිත් ටේලර් විසිනුයි. මේ විශ්මිත ඇල්ල සොයාගත් දින පටන් ම එය හා එහි වර්ණය පිළිබඳ ව විවිධ කසු කුසු ඇති වුණා. ග්‍රිෆිත්ට එක්වර ම මීට හේතුව වටහාගත නොහැකි වූ අතර, සොබාදහමේ තවත් එක් හාස්කමක් ලෙස ඔහු එය හඳුන්වා දී තිබුණා.
මෙම ඇල්ල පිහිටි ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 17ක් හෙවත් ෆැරන්හයිට් අංශක 1.4ක් වෙනවා. තත්ත්වය මෙසේ තිබිය දී මෙම රක්ත වර්ණ ජල දහරාව ද්‍රවමය ස්වභාවයෙන් පිටතට පැමිණීම, මෙන්ම එහි මුවදොර අවට අයිස් දියවන ස්වභාවයක් දැක්වීම නිරීක්ෂණය වීම, එහි අහිරහස් භාවය තවත් තීව්‍ර කරන සාධකයන් වුණා.

20 වන සියවස පුරා ම මෙහි අබිරහස විසඳීමට විද්‍යාඥයින් රැසක් උත්සාහ ගත්තත්, ඒ කිසිවෙකුට එකල පැවති තාක්ෂණයේ සීමිතභාවය නිසා නොහැකි වුණා. මුල දී අනුමාන කෙරුණේ මේ ජලයෙහි රක්ත වර්ණ ඇල්ගී ජීවත් වන බව යි. එහි පවතින පාරිසරික තත්ත්ව මත එලෙස ජීවයක් පැවතීමේ සම්භාවිතාව ඉතා අඩු බව ද කියැවුණා. පසුව සිදුකරන ලද පර්යේෂණවලින් තහවුරු වූයේ එහි ඇල්ගී අන්තර්ගත නොවන බව යි. ඒ වෙනුවට එහි ඔක්සිකරණය වූ යකඩ අයන හෙවත් ෆෙරික් අයන අන්තර්ගත බැව් ඔවුන් විසින් සොයාගත්තා. ෆෙරික් අයන දීප්තිමත් රතු පැහැති සංයෝග නිපදවනවා. මේ අනුව එහි රක්ත වර්ණය ඇති වන්නේ ඇයි ද යන කාරණය විසඳුණත්, එය කොහේ සිට කෙලෙස පැමිණෙන්නේ ද යන්න ඔවුනට උභතෝකෝටික ප්‍රහේළිකාවක් වුණා.

වසර ගණනාවක අවෑමෙන් ඇන්ටාක්ටිකාවේ රුධිර ඇල්ල හා සබැඳි අවසාන ගැටළු කිහිපයත් විසඳන්නට ඇලස්කාවේ විද්‍යාඥයින් පිරිසක් පසුගියදා සමත්වී තිබෙනවා. ඔවුන් සොයාගෙන ඇත්තේ මේ ජලය ඉවතට පැමිණෙන්නේ යකඩ අයනවලින් පොහොසත් භූගත ලවණ විලකින් බව යි. එහි මතුපිට ඇති පාෂාණ ස්ථරයේ ඇති කුහරයකින් ග්ලැසියරය වෙතට පැමිණෙන මෙහි ජලය ග්ලැසියරයට පහළින් ඒත් සමග ඇදී ගොස් එහි මුවදොරේ දී ඉවතට විදිනවා. කෙසේ නමුත් ආරම්භයේදී ජලය රතු පැහැය නොදක්වන අතර, මුවදොරේ දී රතු පැහැයට හැරීම සිදුවෙනවා.

රුධිර ඇල්ලේ හා ලවණ විලෙහි ව්‍යුහය- aminoapps.com

රතු පැහැයට හැරීම හා ද්‍රව ජලයට හැරීමට හේතුව

උක්ත ග්ලැසියරයට පහළින් ද්‍රව ජලය සහිත ලවණ විලක් ඇති බැව් සොයාගන්නට විද්‍යාඥයින්ට පර්යේෂණ කිහිපයක් ම සිදුකරන්නට වුණා. රේඩ්යෝ තරංග මිදුණු ග්ලැසියරය හරහා යවා ඔවුන් මෙම නිරීක්ෂණය සිදුකොට තිබෙනවා. මෙහි දී එය පිහිටා ඇති ගැඹුර වැනි දේ පවා ඔවුන් සොයාගෙන තිබෙනවා.

මෙම භූගත ලවණ විලෙහි ජලය පිහිටා තිබෙන්නේ වැඩි පීඩනයකට යටත්ව යි. එමෙන්ම එහි ලවණතාවය ද අධික යි. මේ හේතුවෙන් හාත්පස ජලය මිදෙන උෂ්ණත්වයට පහළ උෂ්ණත්වයක පැවතියත් මෙහි ජලය ද්‍රව තත්ත්වයෙන් පවතිනවා. (සෙල්සියස් අංශක 0 දී මිදෙන්නේ සම්මත පීඩනයේ පවතින සංශුද්ධ ජලය යි. වායු පීඩනය හා ලවණතාවය වැඩි වන විට මේ අගය පහළ වැටෙනවා.)

භූගත විලෙහි ජලයෙහි ඔක්සිජන් දිය වී ඇත්තේ ඉතා අවම වශයෙනුයි. මේ නිසා එහි යකඩවල අයන පවතින්නේ ෆෙරස් අයන ලෙස යි. මේවා ග්ලැසිරයට පහළින් පැමිණ ඉවතට විදින විට ම ඔක්සිජන් හා මුසු වෙනවා. එවිට එහි වූ ෆෙරස් අයන වහා ඔක්සිකරණය වී ෆෙරික් බවට පත් වෙනවා. මේ අයන මඟින් සාදන ඔක්සයිඩය තද රතු පැහැති බැවින් ජලයට රුධිරය වැනි වර්ණයක් ගෙන දෙනවා. මෙවා පාරිසරික පීඩනයට හා උෂ්ණත්වයට බඳුන් වීම නිසා පහළ වූ විලට වැටුණු පසු නැවත ඝනීභවනය වෙනවා.

ලවණ විලෙහි ජීවී ආකාර

පසුගිය දා තමන් සිදුකළ නිරීක්ෂණවලට අනුකූල ව පැමිණි නිගමන ඔස්සේ පර්යේෂණ මෙහෙයවා උක්ත විද්‍යාඥයින් කණ්ඩායම මේ ග්ලැසියරය විද බලන්නට තීරණය කළා. එහි දී ඔවුන්ගේ පර්යේෂණ සියල්ල සාර්ථක බව හා නිගමන සියල්ල නිවැරදි බැව් සනාථ කරමින් රුධිරය වන් රක්ත වර්ණ ලවණ ජලය ඉන් පිටතට විදිනු ලැබුවා.

රුධිර ඇල්ලේ ජලය නැවත මිදුණු පසු දිස් වන අයුරු- Youtube

රුධිර ඇල්ලේ අබිරහස එසේ විසඳෙන විට, තවත් අන්තයකින් පර්යේෂණ රාශියක් සඳහා මංපෙත් මේ වන විට විවර වී තිබෙනවා. පර්යේෂණ කණ්ඩායමේ විද්‍යාඥයින් පවසන්නේ මේ ජලය තුළත් ‘ජීවය’ දකින්නට ඇති බව යි. කිසිසේත් ම හිරු එළිය නොවැටෙන, අධික ලවණතාවයකින් යුක්ත, ශීතල ජලයෙහි ක්ෂුද්‍රජීවීන් සිට ඔවුනට හමු වී තිබෙනවා. මීට පෙර ද මෙවැනි කටුක පාරිසරික තත්ත්වයන් හි ජීවය තිබී හමු වී තිබෙන බැව් සත්‍ය වූවත්, මෙම ජීවී විශේෂ ජීවත් වන පරිසර තත්ත්වයන් ඊටත් වඩා කටුක බව ඔවුන් පවසනවා. මොවුන් යොදාගෙන එවැනි පාරිසරික තත්ත්වවල ජීවය පැවතීම සඳහා ඔවුන් හැඩගැසී ආකාරය පිළිබඳ ව පර්යේෂණ රාශියක් සිදුකළ හැකි බව ඔවුන් පවසනවා.

කවරයේ පින්තූරය: Alasdair Turner/ Getty Images

Related Articles