Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දීය අධිකරණ හදවත සෙලවූ නිර්භයා සිදුවීම

වර්ෂ 2012 දෙසැම්බර් මස 16 වන දින රාත්‍රී කාලයේ, දකුණු දිල්ලියෙහි මාර්ගයට අවතීර්ණ වන භෞත චිකිත්සක අභ්‍යාසලාභිනියක වන 23 හැවිරිදි ජ්‍යෝති සිං, සිය නිවසට පැමිණෙන්නේ නැහැ. දකුණු දිල්ලියේ කලාපයක් වන මුනිර්කාහි බස් රථයක් තුළ දී කාමාතුර අපරාධකරුවන් පිරිසක් විසින් ඇගේ ජීවන පරිච්ඡේදය බලහත්කාරයෙන් නිමා කර දැමෙනවා. ජ්‍යෝති සිං ගමන් කරමින් සිටින්නේ තනිවම නොවූවත්, ඇය සමග ගමන් කළ ඇගේ මිතුරා වූ අවීන්ද්‍ර ප්‍රතාප් පාන්ඩේ නමැති තරුණයාට ඇගේ ඉරණම පෙරළීමට තරම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

එදින හැන්දෑවේ සිනමා පටයක් නැරඹූ ජ්‍යෝති සිං සහ අවීන්ද්‍ර ප්‍රතාප්, එම සිනමා ශාලාවෙන් පිටවන්නේ ඉදිරි පැය කිහිපය පිළිබඳ කිසිදු සැක සංකාවක් සහිතව නොවෙයි. මුනිර්කා බස් නැවතුමෙන් බසයට නගින විටත් බස් රථයේ රියදුරු ද ඇතුළත්ව බසයෙහි සිටි පුද්ගලයන් සයදෙනා පිළිබඳව ජ්‍යෝති සිං හෝ අවීන්ද්‍ර ප්‍රතාප් සැකයක් ඇති කරගන්නේ නැහැ. 

බස් රථය සුපුරුදු මාර්ගයෙන් ගමන් නොකර වෙනත් මාර්ගයකින් ගමන් කරන බව හැඟී ඒ පිළිබඳව විමසිලිමත්වත්ම, මොවුන් දෙදෙනා දකින්නේ බස් රථයේ සිටි පිරිස එහි දොරවල් අගුලුලන ආකාරය. ඒ පිළිබඳව ප්‍රතාප් විසින් විමසා සිටිය දී එම පිරිස ඔහුට පහරදෙන අතර, ජ්‍යෝති සිං බස් රථයේ පසුපස අසුනට ඇදගෙන ගොස් සමූහ වශයෙන් ලිංගික අඩත්තේට්ටමට ලක්කිරීම ආරම්භ කරනවා. 

එම නින්දිත මිනිසුන් සමග පැයකට ආසන්න කාලයක් සටන් කරන ජ්‍යෝති අවසානයේ නිහඬ වන්නේ අපරාධකරුවන් පිරිස අතර සිටි බාලවයස්කාර අපරාධකරු යකඩ පොල්ලක් මාර්ගයෙන් ඇගේ අභ්‍යන්තර අවයවවලට දරුණු ලෙස හානි පැමිණවීම සමග යි. බස් රථය තුළ මේ සා විසල් අපරාධයක් සිදුවෙමින් තිබියදීත් බස් රථයේ රියදුරු මුළු දිල්ලිය පුරාම බසය ධාවනය කරගෙන යනවා. 

නිර්භයා ලිංගික අඩත්තේට්ටමට ලක් කළ අපරාධකරුවන් (India Legal)

මරණය කරා ළඟා වී සිටි ජ්‍යෝති සිං සහ ප්‍රතාප් මිය යන්නට හැර, ගමන් ගන්නා බස් රථයෙන් පිටතට ඔවුන්ගේ සිරුරු වීසිකරමින් අපරාධකරුවන් පලා යනවා. රුධිර වහනය වෙමින් මාර්ගයේ වැටී සිටින මොවුන් දෙදෙනා දුටු මඟියෙක් ඒ පිළිබඳ දැනුම්දීමත් සමග වහාම ක්‍රියාත්මක වන දිල්ලි පොලීසිය ඔවුන් දෙදෙනාව රෝහල වෙත රැගෙන යනවා. ඒ වනවිටත් ජ්‍යෝති සිං ජීවතුන් අතර සිටිනවා. රෝහලේ දී වෛද්‍යවරුන් අනාවරණය කරගන්නවා ජ්‍යෝති සිංගේ ශරීර අභ්‍යන්තරයේ ඉතිරිවී ඇත්තේ බඩවැල් 5%ක ප්‍රමාණයක් පමණක් බව. ඉතිරිය අපරාධකරුවන් විසින් යකඩ බටයේ ආධාරයෙන් පිටතට ඇද දමා තිබෙනවා. වර්ෂ 2012 දෙසැම්බර් මස 29 වන දින දක්වා මාරයා සමග එඩිතර සටනක නිරත වන ජ්‍යෝති සිං අවසානයේ දී ඉතා දුක්බර ලෙස පරාජය භාර ගන්නවා.

මිය යන අවස්ථාව වන විට පොලීසිය වෙත ලබා දී තිබූ ප්‍රකාශයන මඟින් ජ්‍යෝති සිං ඉල්ලා තිබුණේ තමන්ට මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් 6 දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කර, යුක්තිය සාක්ෂාත් කර දෙන ලෙස යි. මුළු ඉන්දියාව පුරාම මෙම සිදුවීම ඇති කළේ ඉමහත් කැළඹීමක්. අපරාධකරුවන්ට එරෙහිව රට පුරාම දැවැන්ත විරෝධතා, උද්ඝෝනය සංවිධානය වුණා. අවසානයේ දී කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන් සම්බන්ධ ඉන්දීය නීතිය පවා වඩා ශක්තිමත් කිරීමට, ජ්‍යෝති සිංට සිදු වූ අපරාධය හේතුවක් වුණා.

මෙම නඩුව ප්‍රසිද්ධියට පත් වූයේ නිර්භයා නඩු තීන්දුව ලෙස. ලිංගික අඩත්තේට්ටම සම්බන්ධ නඩුවල දී වින්දිතයාගේ නම ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට ඉන්දීය නීතිය යටතේ අවසර ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන් ජ්‍යෝති සිංව හැඳින්වීම සඳහා ජනමාධ්‍යවලින් විවිධ නම් භාවිත කළා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ‘නිර්භයා’ යන නාමය ය. එහි අර්ථය වූයේ ‘බිය නොමැති තැනැත්තිය’ යන්න යි. වර්ෂ 2013, International Women of Courage නමින් සම්මානයක් ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්භයා හෙවත් ජ්‍යෝති සිං නමින් වෙන් කරනු ලැබුවා. ඒ, ඇය මේ තරම් බරපතල අපරාධයකට මුහුණදීමෙන් පසුව ද ජීවත්වීම පිණිස ධෛර්යය සපයාගත් ආකාරය හේතුවෙන්.

නිර්භයාගේ දෙමාපියන් (OrissaPOST)

ජ්‍යෝති සිං ගමන් කළ බස් රථයේ රියදුරු වූ රාම් සිං, රාම් සිංගේ සහෝදරයා වූ මුකේෂ් සිං, කාය වර්ධන උපදේශන සහායකයකු වූ විනේ ෂර්මා, පලතුරු වෙළෙන්දෙකු වූ පවන් ගුප්තා, ආක්ෂේ ඨාකූර්, සහ අවුරුදු 17ක බාලවයස්කාර අපරාධකරු නිර්භයා නඩුවේ චූදිතයන් වුණා. නඩු විභාගය පැවැත්වෙන කාලය අතරතුර දී, බස් රථයේ රියදුරු වූ රාම් සිං තිහාර් බන්ධනාගාරයේ දී සියදිවි නසාගත්තා. ඒ, වර්ෂ 2013 මාර්තු මස 11 වන දින. බාලවයස්කාර අපරාධකරු සම්බන්ධයෙන් නඩුව විභාග වූයේ ළමුන් සඳහා වෙන් වූ අධිකරණයක. එහිදී ඔහුට හිමි වූයේ ළමා අධිකරණය මඟින් ලබාදිය හැකි උපරිම සිර දඬුවම වූ වසර තුනක සිර දඬුවමක් පමණ යි. එකී සිර දඬුවම ඔහුට ගෙවාලීමට සිදු වූයේ ද පුනරුත්ථාපන කඳවුරක. වර්ෂ 2014 මාර්තු මස 13 වන දින මුකේෂ් සිං, විනේ ෂර්මා, පවන් ගුප්තා, සහ ආක්ෂේ ඨාකූර් යන චූදිතයන් හතර දෙනාට එරෙහිව දිල්ලි මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන්නට යෙදුණා. 

සිරගෙදර දී සියදිවි නසාගත් රාම් සිං (Daily Mirror)

කෙසේ නමුත් ජ්‍යෝති සිංගේ ජීවිතයට වැඩිම හානියක් කළ බවට සැලකෙන බාලවයස්කාර අපරාධකරුට ඔහුගේ බාලවයස්කාර බව හේතුවෙන්ම හිමි වූයේ ඉතා කුඩා දඬුවමක් පමණ යි. ආක්ෂේ ඨාකූර් හැර සෙසු චූදිතයන් තිදෙනාම මෙකී නඩු තීන්දුව සම්බන්ධයෙන් නැවත විමසා බලන ලෙස ඉල්ලමින් පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කරන ලද නමුත්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වර්ෂ 2017 මැයි 5 වන දින එකී පෙත්සම නිෂ්ප්‍රභ කරමින් දිල්ලි මහාධිකරණය විසින් ලබා දුන් මරණ දඬුවම පිළිබඳ තීන්දුව අපරානුමත කරනු ලබනවා.

වර්ෂ 2020 මාර්තු මස 20 වන දින තිහාර් සිරගෙදර දී චූදිතයන් තිදෙනාව එල්ලා මරා දැමෙනවා. ඔවුන් මිය යන්නේ කිසිදු අවසන් කැමැත්තක් ඉදිරිපත් කිරීමකින් තොරවම යි. ලිංගික අඩත්තේට්ටමක වින්දයන්ගේ නම ප්‍රසිද්ධ කිරීමට ඉන්දීය නීතිය යටතේ අවසර නොමැති නමුත් නිර්භයාගේ මව විසින් වර්ෂ 2015 ඇගේ තෙවර්ෂ පූර්ණ සිහි කිරීමේ දී ඇගේ සත්‍ය නම ජ්‍යෝති සිං බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා.

නිර්භයාව සිහිවීම පිණිස වර්ෂ 2013 දෙසැම්බර් මස ඇගේ පවුලේ සාමාජිකයින් විසින් නිර්භයා අරමුදල පිහිටුවනු ලැබුවා. එකී අරමුදල පිහිටුවීමෙහි අරමුණ වූයේ ප්‍රචණ්ඩත්වයට බඳුන්වන කාන්තාවන්ට නීති සහය සැපයීමත්, ඔවුනට වාසස්ථාන ලබා දීමත්.

කවරයේ පින්තූරය (Lowy Institute)

මූලාශ්‍රයයන්:

  • Vinay Sharma V. Union of India & Others, WRIT PETITION (CRL.) NO.65 OF 2020
  • Mukesh & Another V. State for NCT of Delhi & Ors., CRIMINAL APPEAL NOS. 607-608 OF 2017, thehindu.com
  • Nirbhaya (Delhi Rape Victim) Age, Death, Biography, Family, Facts & More, starsunfolded.com
  • What is Nirbhaya Case, timesofindia.indiatimes.com
  • Justice for Nirbhaya: 4 men convicted for gang-rape hanged 7 years after brutal crime, indiatoday.in
  • Nirbhaya convicts hanged to death: A brief timeline of the case that shook India, thenewsminute.com

Related Articles