Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වියට්නාම කැලයෙන් මතු වූ සැබෑ ටාර්සන්

ටාර්සන් කියන්නේ ලෝක ප්‍රකට මනඃකල්පිත චරිතයක් බව හැම දෙනාම දන්නා කරුණක්. එඩ්ගාර් රයිස් බරෝස් විසින් 1912 වසරේදී පළමු වරට නිර්මාණය කළ මේ අපූරු චරිතය ඉන් පසු තවත් නවකතා 25ක් හරහා ලොව වටා පාඨකයන් මිලියන ගණනක් අමන්දානන්දයට පත් කළා. ඒත් මේ කියන්න යන්නේ ඒ ටාර්සන් ගැන නෙවෙයි. සැබෑවටම ටාර්සන් බවට පත්වුණු වියට්නාම තරුණයාගේ අපූරු කතාවයි.

www.thesun.co.uk – (සැබෑ ටාසන් හෙවත් වෑන් ලන්ග්)

බාරෝස් විසින් නිර්මාණය කළ ටාර්සන් ජිවත් වුණේ අප්‍රිකානු ඝන වනාන්තරය තුළ මන්ගානි වානරයන් සමගයි. කුඩා කාලයේ පටන්ම සතුන් සමග ජිවත් වුණු, ඒ නිසාම බිහිසුණු සිදුවීම් වලට මුහුණ පෑ,  ග්රෙස්ටෝක් සාමිවරයා ලෝක සාහිත්‍ය තුළ අපූරුම වීර චරිතයක් ලෙස සැලකෙනවා. මේ කතාවේ අපූරු චරිත දෙකක් සිටිනවා. ඒ තමයි හෝ වෑන් ලන්ග් සහ ඔහුගේ පියා වන හෝ වෑන් තන්හ දෙදෙනා. පුරා වසර හතළිහකට වැඩි කාලයක් වනාන්තරයේම කල් ගෙවූ ඔවුන් දෙදෙනා 2013 වසරේදී ලෝකයට අනාවරණය වන විට ලන්ග් ගේ වයස අවුරුදු 42ක්. ඒ වන විට  තන්හ ගේ වයස අවුරුදු 87ක්. මේ වන විට වනයෙන් පිටත ගමක් ජිවත්වන නමුත් වියට්නාම ටාර්සන් ලෙස හැඳින්වෙන හෝ වෑන් ලන්ග් නිරන්තරයෙන්ම කල් ගෙවීමට කැමැත්තක් දක්වන්නේ සිය හුරුපුරුදු කැලයේම බව පැවසෙනවා.

www.thesun.co.uk

වෑන් ලන්ග් ටාර්සන් වීමට හේතුව

හෝ වෑන් ලන්ග් ටාර්සන් බවට පත් කිරීමට හේතු වී ඇත්තේ සුප්‍රකට වියට්නාම්-ඇමරිකා යුද්ධයයි. එවකට වියට්නාම් හමුදා බටයකු වූ හෝ වෑන් තන්හ සිය දෙහැවිරිදි දරුවාද රැගෙන වනගතව සැඟවීමට තීරණය කර ඇත්තේ ගුවනින් පැමිණි ඇමරිකානු බෝම්බ විසින් ඔහුගේ බිරිඳ සහ අනෙක් දරු දෙදෙනා මරා දැමීමෙන් පසුවයි. ක්වන්ග් නාගි පළාතේ ටේ ට්‍රා  දිස්ත්‍රික්කයේ ජීවත්වූ ඔවුන් දිවි බේරා ගැනීමට දිගින් දිගටම වනය තුළට ගමන් කර ඇති අතර හෝ වෑන් තන්හ තීරණය කර ඇත්තේ ඔවුන්ට ඇති එකම ආරක්ෂාව වනය පමණක් බවයි.

පලවැල, විවිධ අල වර්ග සහ මස් වර්ග කමින් සිය ජීවිතය බේරා ගැනීමට කටයුතු කර ඇති පියා සහ පුත්‍රයා ඔවුන්ගේ නිවහන ලෙස ගසක් උඩ පැල් කොටයක්ද ගොඩනගාගෙන තිබෙනවා. සම් සහ පොතු ආදියෙන් සිය ඇඳුම් සකස් කරගෙන ඇති ඔවුන් සිය ආයුධ ලෙස තමන්ම නිපදවාගත් පොරවක් ආදිය ද භාවිතා කර තිබෙනවා. පොළවෙන් මීටර් පහක් පමණ ඉහළින් ගොඩනගාගත් ඔවුන්ගේ නිවසේ සිටම ඇතැම් විට දෙදෙනා දඩයම් සිදුකර ඇති අතර ඒ සඳහා දුනු හී මෙන්ම හෙල්ලවල් ද ඔවුන්ම සකස් කරගෙන ඇත්තේ සැබෑ ටාර්සන් චරිතය සිහි ගන්වමිනුයි.

www.thesun.co.uk

වඳුරන්, සර්පයන්, ගෙම්බන්, මීයන් මෙන්ම කටුස්සන්ද ආහාරයට ගෙන ඇති ඔවුන් දෙදෙනා පැණි සහ මාළු වැඩි වශයෙන් සිය කෑම වේලට එකතු කරගෙන තිබෙනවා. කැලයේ ගෙවුණු වසර හතළිහකට වැඩි කාලය තුළදී ඔවුන් වරින්වර ස්ථාන පහක පමණ ජිවත් වී ඇත්තේ කාලයෙන් කාලයට ඔවුන් වනාන්තරයේ විවිධ පෙදෙස් වල සංචාරය කර ඇති බැවිනුයි.

ඔවුන් පලා යන විට පියා ඇඳ සිටි නිල ඇඳුම මෙන්ම කුඩා දරුවා ඔතාගෙන තිබූ රතුපැහැති රෙදි කඩද ඔවුන් විසින් සිය නිවසේ පරෙස්සමට තබාගෙන සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නොයෙක් වතාවන් වල ඔවුන් සිටි කැලයේ ඈත පෙදෙස් වෙත මිනිසුන් පැමිණ ඇති නමුත් ඒ සෑම විටම පිය පුතුන් දෙදෙනා ඔවුන් වෙතින් සැඟවී පලා ගොස් ඇත්තේ වනය ඔවුන්ගේ එකම ආරක්ෂාව ලෙස දෙදෙනා නිරතුරුව සිතූ බැවිනුයි.

එවන් අවස්ථා පහක් පමණ සිය ජීවිතයේ අත්දැකීම් ලෙස පවතින බව හෝ වෑන් ලන්ග් පසුව පවසා තිබුණා. ‘මිනිස්සු දකින හැම වෙලාවේම මට හිතුණේ එයාලගෙන් මට කරදරයක් වෙයි කියල. ඒ නිසා මට ඕන උණේ මිනිසුන්ගෙන් ඉවත්වෙලා මම හොඳට දන්න අඳුනන ගහකොළ එක්ක ඉන්න’ හෝ වෑන් ලන්ග් වැඩිදුරටත් සිය තීරණයන් එසේ සාධාරණීකරණය කරනවා.

www.ibtimes.co.uk

කිසි විටෙක සිය පියා හැර වෙනත් මිනිස් ඇසුරක් නොලැබූ නිසාම ඔවුන් බේරා ගන්නා විටත් හෝ වෑන් ලන්ග්ට කතා කිරීමට හැකිව ඇත්තේ වචන කිහිපයක් පමණයි. ඇතැම් වචන අමතකව යමින් වුවද මහලු හෝ වෑන් තන්හ යන්තමින් වියට්නාම් භාෂාව කතා කළ බවත් පැවසෙනවා. කෙමෙන් වයස්ගත වීමෙන් පසු හෝ වෑන් තන්හගේ මතකය කෙමෙන් ඔහුගෙන් දුරස්ව ඇති අතර එබැවින් දිවා රෑ ඔහුව රැකබලා ගැනීමට සිදුව ඇත්තේ හෝ වෑන් ලන්ග් හටයි.

images-cdn.9gag.com – (වෑන් ට්‍රයි සිය සොයුරා වන වෑන් ලන්ග් වනයේ සිට රැගෙන ආ අයුරු)

ටාසන්ට සිය සොහොයුරා මුණ ගැසුණු හැටි

බෝම්බ ප්‍රහාරයෙන් හෝ වෑන් ලන්ග් ගේ සොයුරෙකු දිවි ගලවාගෙන ඇති අතර පසු කලකදී ඔහුට සිය පියා සහ සොයුරා ලෙස සැලකිය හැකි දෙදෙනෙක් වනය තුළ සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. හෝ වෑන්  ට්‍රයි නම් ඔහු පසුව කෙමෙන් හෝ වෑන් ලන්ග් සමග හිතවත්කමක් ගොඩනගාගෙන ඇත්තේ නැවත ඔවුන් ශිෂ්ට සමාජයට රැගෙන ඒමේ අරමුණෙනුයි. හෝ වෑන් තන්හ ගේ රෝගී තත්වය උත්සන්න වීමෙන් පසු ට්‍රයි විසින් කෙසේ හෝ ඔවුන් දෙදෙනා වනයෙන් බේරා ගැනීමට තීරණය කර ඇති අතර අවසානයේ ටාර්සන් පිය පුතු දෙදෙනා අසල ඇති ගමට පැමිණීමට කැමැත්ත පල කර තිබෙනවා.

www.ibtimes.co.uk

කෙදිනකවත් නගරයේ තාක්ෂණය දැක නැති හෝ වෑන් ලන්ග් නැවත සමාජයට හුරු කිරීම මේ වන විට සියල්ලන්ම සතු විශාලතම ගැටලුව වී තිබෙනවා. එහෙත් දැන් ඔහු සෙමෙන් ශිෂ්ට සමාජයට හුරුවන අතර ඔහුගේ පියා විසින් හෝ වෑන් ලන්ග් ගේ සිතේ බාහිර සමාජය ගැන ඇතිකර ඇති බිය තවමත් ඉවත්ව ගොස් නැහැ. කාලයෙන් පිටතට පැමිණෙන තුරු ඔහු කාන්තාවන් ගැන නොදැන සිට ඇත්තේ ඔහුගේ පියා ඒ සියල්ල ඔහුගෙන් වසන්කර ඇති බැවිනුයි.

www.ibtimes.co.uk

රාත්‍රිය සහ දහවල හැරෙන්නට අන් කිසිවක් ගැන තැකීමක් නැති වියට්නාම ටාර්සන් සම්බන්ධයෙන් මේ වන විට වාර්තා චිත්‍රපට පවා නිර්මාණය වී තිබීමත් විශේෂත්වයක්. ‘එයා තවම කුඩා ළමයෙක් වගේ. හොඳ නරක මොනවත් දන්නේ නැහැ. මම ඔහුට යමකුට පිහියකින් අනින්න කිව්වොත් ඔහු එය කරයි. මොකද ඔහු එහි විපාක ගැන දන්නේ නැති නිසා. සිය සොයුරා නැවත ‘මිනිහෙක්’ කිරීමට උත්සාහ කරමින් සිටින හෝ වෑන් ට්‍රයි එසේ පවසනවා.

Cover: www.ibtimes.co.uk

මූලාශ්‍ර

www.thesun.co.uk

www.ibtimes.co.uk

www.telegraph.co.uk

www.dailymail.co.uk

www.thesun.co.uk

Related Articles