සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් යන නම ඇසූ පමණින් අපට මැවෙන පින්තූරයක් ඇත. ඒ වැරහැලි ඇදුම් ඇඳගෙන, මත්පැන් පානය කරමින්, GPS ජංගම දුරකථන සහිතව ගිනි අවි මානගෙන නැව් කොල්ලකා නාවිකයන් ප්‍රාණ ඇපයට රදවාගන්නා මිලේච්ඡයන් පිරිසකුයි. නමුත් මෙම චිත්‍රයෙන් ඔවුන්ව මෙම තත්වයට ඇද දැමූ සමාජ හා ආර්ථිකමය සාධක නිරූපනය වන්නේ නෑ.

ඉතින් මේ ලිපිය ලියැවෙන්නේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් කල කොල්ලකෑම් පිළිබඳව නම් නොවේ. මේ ආකාරයට දරුණු මුහුදු කොල්ලකරුවන් පිරිසක් බිහිවීමට බලපෑ හේතු සාධක සොයා බලන්නටයි මේ සැරසෙන්නේ. ඇත්තටම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් බිහිවන්නේ අවනීතියේ, නොසලකා හැරීමේ, අසාධාරණත්වයේ හා සම්පත් සූරාකෑමේ ප්‍රතිඵලයක් ලෙසයි. අහිංසක සෝමාලියානු ධීවරයන් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් බවට පත් වූ ආකාරය පිළිබඳවයි අද ලිපිය.

සෝමාලියානු සිවිල් යුද්ධය සමඟ හුදෙකලා වූ වෙරළ තීරය

සෝමාලියානු ධීවරයන් (Newsweek)

සෝමාලියාවේ අවසාන ක්‍රියාකාරී ආණ්ඩුව 1991 වසරේදී එරට සිවිල් යුද්ධයකට පැටලීම හේතුවෙන් අප්‍රිකානු මහද්වීපයේ දීර්ඝතම වෙරළ තීරයෙන් කිලෝමීටර් 3,330ක ප්‍රමාණයක් ආරක්ෂා කිරීමට නාවික හමුදාවක් සැපයීමට සෝමාලියානු රජයට නොහැකි වෙනවා.

මේ හේතුවෙන් එම මුහුදු සීමාවට කඩා වැදෙන බලවත් රටවලට හා විශාල සමාගම් වලට අයත් නැව් එරටේ මුහුදු සම්පත සොරාගෙන යාමට පෙළඹෙනවා. 2006 වසරේදී එක්සත් ජාතීන් විසින් නිකුත් කළවාර්තාවක සදහන් වන්නේ ක්ෂණිකව ක්‍රියාත්මක විය හැකි වෙරළාරක්ෂක බළකායක් නොමැති සෝමාලියානු මුහුදු තීරය නීතිවිරෝධීව සෝමාලියානු මුහුදු සම්පත් සොරකම් කරන්නන් ඇතුළු ලොව වටා සියළු දෙනාට විවෘත නිදහස් ප්‍රදේශයක් ලෙස පවතින බවයි.

එක්සත් ජාතීන් 2007දී තවත් වර්තාවක ඇස්තමේන්තු ගත කරමින් පෙන්වා දෙන්නේ විදේශීය ට්‍රෝලර් යාත්‍රා විසින් ඩොලර් මිලියන 300ක් වටිනා මුහුදු අහාර සෑම වසරකම රටේ මුහුදු තීරයෙන් සොරකම් කරන බවයි.

නීති විරෝධී මත්ස්‍ය යාත්‍රා සෝමාලියානු මුහුදට

සෝමාලියානු මුහුදු තීරය (University of Texas)

2006 වසරේ විද්‍යා සඟරාවකින් කළ අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ 2050 වසර වන විට වාණිජමය මත්ස්‍ය කර්මාන්තය ලෝකයේ බොහෝ සාගර කොටස් වලින් ඉවත් වන බවයි. නමුත් සෝමාලියානු මුහුදු කලාපයේ එසේ නොවන බවත් වර්තමානයේදී මෙන්ම ඉදිරි කාලයේදීත් ටූනා, මැකරල්, පොකිරිස්සා හා මෝරුන් ඇතුළු අනෙකුත් මුහුදු අස්වැන්නෙන් අඩුවක් නොවන බවයි.

මේ හේතුවෙන් ඉන්දියානු හා අනෙකුත් සාගර කලාප වල මහා පරිමාණ ධීවර සමාගම් විසින් සෝමාලියානු මුහුදේ තම අණසක පැතිරවීමට උත්සාහ දරනවා. තවද දකුණු කොරියාව, ජපානය හා ස්පාඤ්ඤය වැනි රටවල් විසින් බලපත්‍ර රහිත තම ට්‍රෝලර් යාත්‍රා දශක දෙකකට ආසන්න කාලයක් සෝමාලියානු මුහුද වෙතට මුදා හැර තිබෙනවා.

බලවත් ධීවර සමාගම් හමුවේ අසරණ වූ සෝමාලියානු ධීවරයෝ

Eyl ධීවර වරාය (The Japan Times)

එවකට සෝමාලියානු ධීවරයන් සුළු පරිමාණ කර්මාන්තකරුවන් වූ අතර ඔවුන් ධීවර කටයුතු වල යෙදෙන ලද්දේ තම එදිනෙදා ජීවිකාව රැකගෙන යාම සඳහායි. මහා පරිමාණ ධීවර යාත්‍රා හා තරඟ කිරීමට ඔවුන්ට තාක්ෂණයක් හෝ නවීන ධීවර යාත්‍රා නොතිබූ අතර විදෙස් ධීවරයන්ගේ වෙඩි තැබීම් වලටද සෝමාලියානු ධීවරයන් නිතරම පාහේ ලක් වෙනවා.

එබැවින් සෝමාලියානු ධීවරයන්ට සිදුවන්නේ ඊල් (Eyl), කිස්මෙයි, (Kismay) හා හර්දර් (Harardhere) වැනි වරායන් වල තම බෝට්ටු නවතා මුහුද දෙස බලා සිටීමටයි. (වර්තමානයේ මෙම වරායන් කොල්ලකරුවන්ගේ තිප්පොළවල් ලෙස සලකනු ලබනවා.)

සෝමාලියානු මුහුදට න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීම

නීති විරෝධී මහා පරිමාණ මත්ස්‍ය සොරකම් වලට අමතරව නෞකා මගින් විෂ අපද්‍රව්‍ය හා න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කරන බවට 90 දශකයේ සිට දේශීය ධීවරයන් විසින් චෝදනා කරනු ලබනවා. 2005 වසරේදී එක්සත් ජාතීන්ගේ පාරසරික වැඩසටහන් වාර්තාව මගින් පෙන්වා දෙන්නේ යුරේනියම් හා වෙනත් විකිරණශීලි අපද්‍රව්‍ය තැන්පතු සෝමාලියානු වෙරළ තීරයේ ඇති බවත් ඒවා මගින් අවට ගම්මාන වල පුද්ගලයන් ශ්වසන අබාධ හා සමේ රෝග වලට ගොදුරුවන බවයි.

එම වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දෙන්නේ මෙම න්‍යෂ්ටික අපද්‍රව්‍ය යුරෝපය තුල නිත්‍යානුකුලව බැහැර කිරීම සඳහා එම සමාගම් වලට ටොන් එකකට ඇමරිකානු ඩොලර් 250ක මුදලක් වැය වූවත් සෝමාලියානු මුහුදට මුදා හැරීමේදී  ටොන් එකක් සදහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් 2.50ක් පමණක් වන බවත්ය. එම නිසා ඔවුන් මෙම ලාභදායි ක්‍රමය තෝරාගෙන ඇති බවත් ඒ හේතුවෙන් සෝමාලියානු ධීවරයන්ට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වන ආකාරයත් මෙම වාර්තාවෙන් අනාවරණය කරනවා. නමුත් මෙම ක්‍රියාවන්ට එරෙහිව පියවරක් ගැනීමට සෝමාලියානු රජයට එදා සිටම කිසිදු හැකියාවක් ලැබී නෑ.

සෝමාලියාවෙන්  මුහුදු මංකොල්ල කණ්ඩායම් බිහි වීම

සෝමාලියානු මුහුදු කොල්ලකරුවෙක් (TRT World)

ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘස් විශ්ව විද්‍යාලයේ ත්‍රස්තවාද අධ්‍යනය පිලිබඳ මහාචාර්ය පීටර් ලේහ්ට (Peter Lehr) අනුව  පළමුවන මුහුදු කොල්ලකරුවන් කණ්ඩායම නිර්මාණය වන්නේ 90 දශකයේදීයි. ධීවරයන් වූ එම කොල්ලකරුවන්ගේ මූලික අරමුණ වී ඇත්තේ තම ධීවර කටයුතු විදේශීය ට්‍රෝලර් යාත්‍රාවන්ගෙන් ආරක්ෂා කර ගැනීම බවද ලේහ් පවසනවා.

වර්තමානයේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාර පිළිබඳව නිරීක්ෂණය කරන නයරෝබීහි පදනම් වූ නැගෙනහිර අප්‍රිකානු මුහුදු යාත්රිකයන්ගේ සහන වැඩසටහන (East African Seafarers Assistance Programme) හි ට්සුමා චාරෝ (Tsuma Charo) පවසන්නේ නීතිවිරෝධී මත්ස්‍ය යාත්‍රා විසින් මුහුදු කොල්ලකරුවන් බිහිකිරීමට මඟ පෑදූ බවයි.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මුල් කාලයේදී නීති විරෝධී මත්ස්‍ය යාත්‍රා වලින් කප්පම් ගැනීම පමණක් සිදු කල අතර ක්‍රම ක්‍රමයෙන් උපක්‍රමිකව තම ජාලය වර්ධනය කරගත් ඔවුන් නෞකා කොල්ලකෑමේ කටයුතු වලට එළඹෙනවා. මෙහිදී ඔවුන් මත්ස්‍ය යාත්‍රා පමණක් නොව සෝමාලියානු මුහුදු සීමාවෙන් ගමන් කරන වෙළද නෞකාවන්ද කොල්ලකෑම ආරම්භ කරනවා. ඒ ධීවර යාත්‍රා ලෙස මුහුදේ රැදී සිටිමිනුයි.

මෙය නැවත්වීම සඳහා 2005 හා 2006 වසර වලදී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සෝමාලියානු මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම තහනම් කරන්නට උත්සාහ දරන නමුත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් විසින් එම යෝජනාව අවලංගු කරනවා.

වර්තමාන සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ

නැවක් කොල්ලකෑමෙන් පසුව (Neptune Maritime Security)

ඒ ආකාරයට 90 දශකයේ සෝමාලියානු ධීවරයන්ගෙන් ආරම්භ වූ ප්‍රාථමික මුහුදු මංකොල්ල කණ්ඩායම් අද වන විට නවීන අවි ආයුධ වලින් සන්නද්ධ බිහිසුණු කණ්ඩායම් දක්වා වර්ධනය වී තිබෙනවා. සෝමාලියාවේ තිබෙන විශාල අදායමක් ලබා ගත හැකි මාර්ගයක් දක්වා එය දැන් වර්ධනය වී අවසන්.

වත්මන් ප්‍රධාන මංකොල්ල කණ්ඩායම් වන සෝමාලියානු ජාතික ස්වේච්ඡා වෙරළ රක්ෂකයන්(National Volunteer coast guard of Somalia) හා සෝමාලි මැරීන්ස් (Somali Marines) වැනි සංවිධාන තුළ සෝමාලියානු ධීවරයන් නොමැති අතර වෘත්තීය කොල්ලකරුවන් පමණක් සිටින බවයි. මේ වන විට ඔවුන් නැව් විශාල ප්‍රමාණයක් වරින් වර කොල්ලකා රදවාගෙන තිබෙනවා.

ලෝකයටම තර්ජනයක් වූ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් බිහි වූයේ ඔන්න ඔය ආකාරයටයි. ඔවුන්ව සම්පුර්ණයෙන්ම විනාශ කර දැමීමට මේ වනතෙක් කිසිදු රාජ්‍යකට හැකියාව ලැබී නෑ. ඉතින් කොල්ලකරුවන් සිදු කල නෞකා කොල්ලකෑම් කිහිපයක් පිළිබඳව තවත් ලිපියක් ඉදිරි දින වල ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා.

කවරයේ ජායාරූපය – Business Insider