Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මධ්‍යම රාත්‍රී හිරු පිළිබඳ දැන ගනිමු

නෝර්වේ, ස්වීඩනය වැනි රටවල සංචාරය කරන පුද්ගලයින්ට ග්‍රීෂ්මයේ මධ්‍යයට වන්නට සිදුවන අපූරු ස්වභාවික සංසිද්ධියක් අත්විඳිය හැකියි. මේ රටවල උතුරින් පිහිටි සමහර පෙදෙස්වලට එම කාලයේ දී පැය 24 ම හිරු පායා තිබෙනවා. ‘මධ්‍යම රාත්‍රී හිරු’ ලෙස හැඳින්වෙන මෙම සංසිද්ධිය ඝර්ම කලාපීය රටවල අයවලුන්ට සම්පූර්ණයෙන් ම ආගන්තුක යි. මේ ‘ආශ්චර්යය’ නැරඹීම සඳහා ම බොහෝ දෙනා උක්ත කාලයේ දී එම රටවල්වලට ඇදෙනවා.

මධ්‍යම රාත්‍රී හිරු සංසිද්ධිය ඇති වන්නේ ඇයි?

ශ්‍රී ලංකාව සැලකෙන්නේ සමකාසන්න රටක් හැටියට යි. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ ඍතු භේදය ඒ තරම් තදින් සිදුවන්නේ නැහැ. කෙසේ නමුත් සුළු වශයෙන් හෝ ශ්‍රී ලංකාව ඇතුළු සමකාසන්න රටවල ඍතු වෙනස්කම් සිදුවෙද්දී, ඒවාට අනුරූප පාරිසරික වෙනස්කම් ද සිදුවෙනවා.

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ උතුරු අක්ෂාංශ 10ට වඩා සමකාසන්න ව යි. මේ නිසා ඊට වැඩි ම ආනතියකින් යුතු ව හිරු උදාවෙන්නේ මකර නිවර්තනයට ඉහළින් හිරු ස්ථානගත වූ විට යි. සාමාන්‍යයෙන් දෙසැම්බර් මස අගභාගයේ එය සිදුවන අතර, මේ කාලය තුළ හිරු උදා වී පවතින්නේ දිනකට පැය 11 කුත් මිනිත්තු 30ක් තරම් කාලයකුයි. මෙහි විරුද්ධ ප්‍රතිඵලය කර්කටක නිවර්තනයට හිරු මුදුන් වන ජුනි මාසයේ ශ්‍රී ලංකාවට උදාවන අතර, එහි දී දිවා කාලය පැය 12 කුත් මිනිත්තු 30ක් තරම් දිගු වෙනවා. ඒ අනුව වසර පුරාවට පෘථිවියේ ආනතිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිවා කාලය පැයකින් පමණ වෙනස් වෙනවා.

Planet-earth-2017.com- පෘථිවියේ නිවර්තන හා ධ්‍රැවීය වෘත්තයන්ගේ පිහිටීම

පෘථිවියේ අක්ෂය අංශක 23 1/2ක පමණ ඇලයකින් යුක්ත යි. මේ නිසා වසරක් තුළ එහි හිරුට කෙළින් ම එල්ල වී ඇති ප්‍රදේශ විචල්‍ය වෙනවා. එම පෙදෙස් සමකයේ සිට කර්කටක හා මකර නිවර්තන අතර පෙදෙස තුළ නිබඳ ව ම පවතින අතර, ඊට පිටින් පිහිටි පෙදෙස්වලට හිරු උදා වන කෝණයත් ඒ අනුව වෙනස් වෙනවා. එනයින් සමකයේ සිට ධ්‍රැව කරා යන්නට යන්නට වසරේ කාලය අනුව දිවා හා රාත්‍රී කාල දැඩි ලෙස විචල්‍ය වෙනවා. සමහර විටෙක එය පැය ගණනක වෙනසක් විය හැකියි.

නෝර්වේ හි මධ්‍යාහ්න හිරු ගේ විවිධ පිහිටීම්- spectacularnwt.com

ආක්ටික් හෝ ඇන්ටාක්ටික් වෘත්ත යනුවෙන් හඳුන්වන්නේ සමකයේ සිට උත්තර හෝ දක්ෂිණ අක්ෂාංශ 66 1/2කට වඩා ධ්‍රැවාසන්න ව පිහිටි පෙදෙසුයි. පෘථිවියේ පිහිටීම අනුව වසරේ සමහර කාලවලට මේවාට හිරු උදාවන්නේ අංශක 90කට වඩා වැඩි ආනතියකින් යුක්ත ව යි. සෛද්ධාන්තික ව පැවසුවහොත්, ක්ෂිතිජයට පහළිනුයි. එනම්, හිරු ‘ප්‍රායෝගික ව උදාවීමක්’ සිදුවන්නේ නැහැ. උදාහරණයක් ලෙස උත්තර කවයේ පිහිටි ස්ථානයක් සැලකුවහොත්, මකර නිවර්තනයට හිරු මුදුන් වෙද්දී හිරු එම ප්‍රදේශයට සාදන කෝණය අංශක 90ට වැඩි වෙනවා. එවිට සරල ව ම පැවසුවහොත්, දින ගණනකට හිරු උදා වන්නේ නැහැ. මෙහි ම විරුද්ධ දෙය කර්කටක නිවර්තනයට හිරු මුදුන් වන විට එම ප්‍රදේශයට අත්විඳීමට ලැබෙනවා. එනම්, මධ්‍යම රාත්‍රියේ පවා හිරු බැසයන්නේ නැහැ. ක්ෂිතිජය ආසන්නයට ම ළඟා වී නැවත ඊළඟ දිනයේ ඉහළ එනු දැකගත හැකි වෙනවා. මධ්‍යම රාත්‍රී හිරු පිළිබඳ සංසිද්ධිය එය යි. පැය 24 පුරාවට ම හිරු උදා නොවෙන කාලසීමාව ‘ධ්‍රැවීය රාත්‍රීන්’ ලෙස හඳුන්වනවා.

නෝර්වේ හි පුරසඳ සහිත ධ්‍රැවීය රාත්‍රියක් – Maria Sahai/ capturelandscapes.com

ධවල රාත්‍රීන් යනු මොනවා ද?

විද්‍යාව පිළිබඳ ව මූලික දැනීම පවතින බොහෝ අයවලුන්ට මධ්‍යම රාත්‍රී හිරු හා ධ්‍රැවීය රාත්‍රීන් පිළිබඳ ව පහසුවෙන් වටහා ගැනීමේ හැකියාව පවතිනවා. ‘ධවල රාත්‍රීන්’ යන සංසිද්ධිය ඇති වන්නේ ධ්‍රැවීය රාත්‍රීන් ම හෝ මධ්‍යාහ්න හිරුට ආසන්න කාලසීමාවන් ම යම් සුවිශේෂී සංසිද්ධියකට භාජනය වූ විට යි.

අපේ පැරැන්නන් ‘ගොම්මන’ යනුවෙන් හඳුන්වන දිනයේ කාලසීමාවට සමාන තත්ත්ව මේ ‘ධවල රාත්‍රීන්’ තුළත් පවතිනවා. ‘ගොම්මන්’ යාමය උදාවන විට හිරු ක්ෂිතිජයෙන් අංශක කිහිපයක් පහළට ගොස් ඇතිමුත් එයින් නැඟෙන ආලෝක තරංග වලාකුළුවලින් විවර්තනය වී, ඉන් කොටසක් ගොඩබිම මත පතිත වීම නිසා මෙම ‘ගොම්මන්’ ආලෝකය ඇති වෙනවා. රතු පැහැති ආලෝක තරංග මෙලෙස විවර්තනය වී වැඩිමනක් ගොඩබිම මත පතිත වන නිසා එම ආලෝකය රතු පැහැයෙන් අපට දිස් වෙනවා.

ෆින්ලන්තයේ ධවල රාත්‍රියක් visitfinland.com

ධවල රාත්‍රියක් ඇති වෙන්නේත් මෙලෙස ම හිරු ක්ෂිතිජයට පහළින් ස්ථානගත වී පැවතුණත් වලාකුළු වැනි දේ හේතුවෙන් එහි ආලෝකයෙන් කොටසක් ගොඩබිම මතට විවර්තනය වී පතිත වූ විට යි. උත්තර කවයේ වඩා දකුණින් පවතින හෝ දක්ෂිණ කවයේ වඩා උතුරින් පවතින පෙදෙස්වල මේ තත්ත්වය වැඩිපුර දැකිය හැකියි.

මධ්‍යාහ්න හිරු හා ධ්‍රැවීය රාත්‍රීන් පවතින කාල සීමා

දක්ෂිණ හෝ උත්තර කවයන් තුළ ස්ථානගත වී ඇති අන්දම අනුව මේ සංසිද්ධි දෙක ඇතිවන කාලසීමා එක දිනක සිට මාස ගණනක් පුරා පැතිරී පැවතිය හැකියි. උත්තර කවය ආරම්භ වන සීමාවේ පවතින ප්‍රදේශයකට මෙම අත්දැකීම එක දිනකට හෝ දෙකකට සීමා වන අතර, ධ්‍රැවය මත සිටින්නෙකුට ආසන්න වශයෙන් මාස 6ක් පුරාවට එක දිගට හිරු උදා වී පැවතීමත්, තවත් මාස 6 ක් හිරු උදා නොවී පැවතීමත් අධ්‍යයනය කළ හැකියි.

මධ්‍යාහ්න හිරු නැරඹීමට සුදුසු ස්ථාන

උත්තර කවයේ හෝ දක්ෂිණ කවයේ පිහිටි පමණින් ම මධ්‍යාහ්න හිරු දැක ගැනීමට යම් ස්ථානයක් සුදුසු වන්නේ නැහැ. වලාකුළු අඩු හාත්පස තැනිතලා වූ උස් පෙදෙස් මීට වඩාත් සුදුසු වෙනවා. විශේෂයෙන් දක්ෂිණ කවය තුළ මිනිස් ජනාවාස පවතින පෙදෙස් ඉතා ම අල්ප නිසා, උත්තර කවයේ දී මේ සංසිද්ධිය නැරඹීමට උත්සාහ කිරීම වඩා ප්‍රායෝගික වෙනවා.

Kakslauttanen Arctic Resort/ pinterest.com

නෝර්වේ රාජ්‍යය හේතු ගණනාවක් නිසා මධ්‍යාහ්න හිරු නැරඹීමට සුදුසු ම ස්ථානයක් වෙනවා. මෙහි උතුරු කොණ යුරෝපයේ වඩාත් උතුරින් පිහිටි පෙදෙස වන අතර, දින 76ක් පුරාවට මධ්‍යාහ්න හිරු නැරඹිය හැකියි. නෝර්වේ රාජ්‍යයේ තවත් ස්ථාන කිහිපයක දී ම අප්‍රේල් 20 සිට අගෝස්තු 20 අතර කාලසීමාවේ දී මධ්‍යාහ්න හිරු නැරඹිය හැකියි.

නෝර්වේට අමතර ව ෆින්ලන්තයේ උතුරු පෙදෙස්වල දීත්, ඇලෙස්කාව, ස්වීඩනය, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, හා කැනඩාවේ උතුරු පෙදෙස්වල දීත් මධ්‍යාහ්න හිරු සංසිද්ධිය නරඹන්නට පිළිවන්.

Related Articles