Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුද්ධයේ සුවිශේෂී ඡායාරූප පහක්

1939 වසරේ දී ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග ඇරඹි දෙවන ලෝක යුද්ධය අවසන් වන්නේ 1945 වසරේ අගෝස්තු මාසයේ ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට බෝම්බ හෙලීමෙන්. අවසානයේ දී දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමට මුල් වූ නට්සි ජර්මන් නායක ඇඩොල්ෆ් හිට්ලර් දිවි නසාගන්නා අතර, ජපානය ඇතුළු එම පාර්ශවයේ අනෙකුත් රටවල් කොන්දේසි විරහිතව මිත්‍ර ජාතීන්ට යටත් වෙනවා.

දෙවන ලෝක යුද්ධය අවසන් වන විට යුදෙව්වන් මිලියන 6ක් පමණ ඝාතනය වී තිබූ අතර වෙනත් ජාතීන්ට අයත් යුධ භටයන් මෙන්ම සිවිල් වැසියන් ද විශාල ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. ඊට අමතරව යුද්ධය හේතුවෙන් නිර්මාණය වූ ආර්ථික හා සාමාජයීය ප්‍රශ්න ද අති ප්‍රබල වුණා. දෙවන ලෝක යුද්ධය අවසන් වන විට යුරෝපය මෙන්ම ආසියාව ද ආර්ථිකය අතින් දරුණු ආගාධයකට වැටී තිබෙනවා.

යුද කාල සීමාව තුළ ඉතාමත් ප්‍රසිද්ධියට පත් වූ එම සමයේ වැදගත්යැ යි සැලකෙන ඡායාරූප කිහිපයක විස්තර මේ ලිපිය ඔස්සේ ඉදිරිපත් කරනවා. එම පින්තූර දෙවන ලෝක යුද්ධයේ විවිධ සිදුවීම් හා සම්බන්ධිත ඒවා යි.

01. සෝවියට් වෛද්‍යවරයාගේ කර මතින් 

අවුෂ්විට්ස් පිවිසුම ඉදිරිපිට වෛද්‍යවරයා හා මුදාගත් සිරකරුවන් (sputniknews.com)

1945 වසරේ ජනවාරි 27 වන දා සෝවියට් රතු හමුදාව, එවකට නට්සින්ගේ විශාලම වධ කඳවුර වන අවුෂ්විට්ස් අල්ලා ගන්නවා. නාසීන් විසින් යුදෙව්වන් විශාල ප්‍රමාණයක් මෙම වධ කඳවුරේ සිර කෙරී තිබෙනවා. ඊට අමතරව සමලිංගිකයන්, වාමාංශිකයන්, හා නාසින්ගේ දේශපාලන අරමුණට පටහැනිව කටයුතු කළ පිරිස් ද මෙහි රදවා තැබුණා.

රතු හමුදාව මේ ප්‍රදේශයට ළඟා වීමට ප්‍රථම, ඉහළ නට්සි අණදීම යටතේ මෙහි සිටි සිරකරුවන් විශාල ප්‍රමාණයක් ඝාතනය කෙරෙන අතර තවත් 60 000ක් පමණ නට්සින් විසින් මහා පාගමනකින් ජර්මනියට රැගෙන යනවා. අධික කුසගින්න, වසංගතවලට ගොදුරු වීම, ශීතල හා විඩාව හේතුවෙන් ඉන් විශාල ප්‍රමාණයක් අතරමඟ දී මරණයට පත්වෙනවා.

ජනවාරි 27 වන දා මෙම ප්‍රදේශයට ඇතුළු වූ සෝවියට් හමුදාව මෙහි ඉතිරිව සිටි සිරකරුවන් 7000ක ප්‍රමාණයෙන් කොටසක් බේරා ගන්නවා. අනික් පිරිස වැළඳී තිබූ රෝග සහ කුසගින්න නිසා මරණයට ගොදුරු වෙනවා.

ඉහත පින්තූරයේ සිටින්නේ රතු හමුදා 322 වන රයිෆල් ඩිවිෂණයේ වෛද්‍යවරයකුගේ කර මතින් පියමන් කරන, බේරාගත් යුදෙව් සිරකරුවෙක්. කඳවුරු සංකීර්ණයට පිවිසෙන තැන දී මෙම ඡායාරූපය ගෙන ඇති අතර එම පිවිසුමේ “වැඩ කිරීමෙන් නිදහස ලැබේ” ලෙස සඳහන් කර තිබෙනවා. අද වන විට මෙම කඳවුර කෞතුකාගාරයක් මෙන්ම ලෝක උරුමයක් ලෙස ද නම් කර තිබෙනවා. වර්තමානයේ අවුෂ්විට්ස් පෝලන්තයට අයත් ප්‍රදේශයක පිහිටා තිබෙනවා

02. ඉවෝ ජිමා සටනේ ඇමෙරිකානු සෙබළුන්

ඇමෙරිකානු ධජය ඔසවන මැරීන් සෙබළුන් (The Britannica)

මේ සිදුවීම ඡායාරූපයට නංවන ලද්දේ ඇමෙරිකානු ඡායාරූප ශිල්පී ජෝ රොසෙන්තාල් විසින්. මේ ඡායාරූපය හේතුවෙන් ඔහුට පුලිස්ටර් සම්මානය ද හිමිවෙනවා. මෙය දෙවන ලෝක යුද්ධ කාල සිමාවේ දී ලබාගත් ඉතා වැදගත් ඡායාරූපයක්. එය සංස්කරණයන් ගණනාවකට ලක්වෙන අතරම පිටපත් විශාල ප්‍රමාණයක් ද මුද්‍රණය වෙනවා.

දෙවන ලෝක යුද්ධයේ දී සංග්‍රාමික වශයෙන් වැදගත් වූ ස්ථානයක් ජපානයට ආසන්නව පිහිටා තිබූ ඉවෝ ජිමා දූපත. එහි බලය අල්ලා ගැනීම සඳහා ජපන් හමුදාව හා ඇමෙරිකා එක්සත් ජනපද මැරීන් බලකාය අතර පැවති සටනින් ජයග්‍රහණය කළේ එක්සත් ජනපදය යි. ඇමෙරිකානු මැරීන් භටයන් 6 දෙනෙකු එහි ඔවුන්ගේ ජාතික ධජය ඔසවන අවස්ථාව මෙම ඡායාරූපයේ නිරූපනය වෙනවා.

03. ඉවෝ ජිමා ඡායාරූපය කොපි කළ සෝවියට් දේශය 

රයික්ස්ටාග් ගොඩනැගිල්ලේ රතු කොඩිය (100photos.time.com)

ඉවෝ ජිමා දූපතේ ඇමෙරිකානු කොඩිය සිටුවීමේ ඡායාරූපය මුළු ලොවේම අවධානය දිනාගත් අතර සෝවියට් දේශයට ද සටන තුළ එවැනි ඡායාරූපයක් ගැනීමේ අවශ්‍යතාවය මතු වෙනවා. දෙවන ලෝක යුද්ධය අවසාන සමයේ ජර්මනිය සම්පූර්ණයෙන්ම පරාජයට පත්කරන බර්ලින් සටනේ දී ඊට අවස්ථාවක් උදා වෙනවා.

1945 වසරේ අප්‍රේල් මාසයේ දී මෙම ඡායාරූපය ගත් අතර රතු හමුදා සොල්දාදුවන් දෙදෙනක් ජර්මානු පාර්ලිමේන්තුව වන රයික්ස්ටාග් ගොඩනැගිල්ලේ සිය ධජය ඔසවන ආකාරයක් මෙහි දැක්වෙනවා. කෙසේ නමුත් මෙම ඡායාරූපය ඉතා සැලසුම් සහගතව ලබාගත් බවත්, ලබා ගත් පසු විවිධ ආකාරයේ සංස්කරණවලට ලක් කර ඇති බවත් සඳහන් වෙනවා.

04. කුලී රථයෙන් අපායට 

වෙරළට ගොඩ බැසිය හැකි යාත්‍රාවලින් මිත්‍ර හමුදා නොර්මැන්ඩි වෙරළට (gilavalleycentral.net)

මෙය දෙවන ලෝක යුද්ධයේ අතිශය තීරණාත්මක යුද්ධයක් ලෙස සැලකෙන බටහිර පෙරමුණේ ප්‍රධානම සටන වන නොර්මැන්ඩි ගොඩ බැසීමේ දී ලබාගත් ඡායාරූපයක්. මෙම ඡායාරූපය හඳුන්වන ලද්දේ “කුලී රථවල නැග අපායට යාමක්” ලෙස යි.

1944 වසරේ දී ජූනි 6 වන දා ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය හා කැනඩා භටයන් ප්‍රංශයේ නොර්මැන්ඩි වෙරළ ආක්‍රමණය කරනවා. එම ආක්‍රමණය ප්‍රධාන කරගනිමින් ඔවුන් යුරෝපය ඔස්සේ ජර්මනිය තෙක් ජයග්‍රාහිව ඉදිරියට ඇදෙනවා.

නොර්මැන්ඩි ආක්‍රමණය ජයග්‍රහණය කළත් ඇමෙරිකානු හමුදාවට අතිශය බරපතල හානි ගෙන ආ බැවින් මරණයට පිය නැගීමක් ලෙස මෙම ඡායාරූපය නම් කර තිබෙනවා.

05. පර්ල් වරායට ජපන් බෝම්බ 

ඇමෙරිකානුවන් යුද්ධයට අවතීරණය කළ පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරය (newsweek)

දෙවන ලෝක යුද්ධය ආරම්භයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය මිත්‍ර හෝ අක්ෂ පාර්ශවයට අයත් වුණේ නෑ. නමුත් ජපන් ගුවන් හමුදාව විසින් 1941 වසරේ දෙසැම්බර් 7 වන දා ඇමෙරිකානු නාවික හමුදාවට අයත් පර්ල් වරායට ගුවනින් බෝම්බ හෙළීම හේතුවෙන් ඇමෙරිකාව ද සටනට අවතීරණය වෙනවා.

මෙම ඡායාරූපයෙන් පර්ල් වරායට බෝම්බ හෙළීම හේතුවෙන් පළාතම කළු දුමෙන් වැසීගිය ආකාරය නිරුපණය වෙනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් ඇමෙරිකානු විශාල යුධ යාත්‍රා ඇතුළු නාවික යාත්‍රා 20ක් හා ගුවන් යානා 300කට වඩා විනාශ වෙනවා. ඇමෙරිකානු හමුදා භටයන් 2400කට වඩා වැඩි පිරිසක් මරණයට පත්වෙනවා.

කවරය - අක්ෂ පාර්ශවය නියෝජනය කළ ජර්මානු ආඥාදායක හිට්ලර් හා ඉතාලියේ ආඥාදායක මුසලිනි (The Britannica)

Related Articles