Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔරිගාමි කලාවෙන් විද්‍යාත්මක භාවිතයට නව මානයක්

කඩදාසි භාවිතයෙන් සිදු කරන ඉතා අපූරු කලාවක් වන ඔරිගාමි කලාව පිළිබඳව ඔබ අසා ඇතිවාට කිසිදු සැකයක් නැහැ. කුඩාකල සිටම මෙම ඔරිගාමි කලාව පුහුණු කළ දරුවෙක් පසුකාලීනව මෙම කලාවේ වෙනත් මානයක් සොයා යනවා. එමඟින් ඔහු නවීන කලාවක් හඳුන්වා දෙමින් මෙම අපූරු කලාව විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය සඳහා හඳුන්වා දෙනවා. ඔහු නමින් ආචාර්ය රොබට් ලෑන්ග්.

(wikimedia.org)
ආචාර්ය රොබට් ලෑන්ග්

රොබට් ලෑන්ග්

විවිධ අංශයන් හි නිපුනයෙකු වූ රොබට් ලෑන්ග් ව්‍යවහාරික භෞතික විද්‍යාව වෙනුවෙන් උපයාගත් ආචාර්ය උපාධිය, NASA ආයතනයේ කළ රැකියාව සහ පේටන්ට් බලපත්‍ර 46ක් උපයා ගත්තා වගේම ඔරිගාමී කලාව සංවර්ධනය වෙනුවෙනුත් ස්වකීය කාලය මිඩංගු කරනු ලබනවා. මේ නිසා සාම්ප්‍රදායික බෝට්ටු සහ දොඹකරවලින් ඔබ්බට ගිය ඔරිගාමි කලාවක් බිහි වෙනවා.

ආචාර්ය ලෑන්ග් විද්‍යාව සහ ඔරිගාමි කලාව අතර තිබූ පරතරය කුඩා එකක් බවට පත් කරනවා. ඔහු EASi Engineering හි ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන්නේ වායු බෑග් සඳහා සංකීර්ණ නැමුම් පද්ධතියක් හඳුන්වා දීම වෙනුවෙන්. එසේම ඔහු හදවත් අවහිරතාවයන් සහිත රෝගීන් සඳහා නිර්මාණය කළ හදවත් ආධාරකයක් සවි කිරීමට අවැසි නැමුම් හඳුන්වා දෙනවා.

ඔරිගාමි කාච

ආචාර්ය ලෑන්ග් ඔහු විසින් සැලසුම් කළ ඔරිගාමි කාචයේ මීටර 5ක් දිග ආකෘතියක් සමඟ
damninteresting.com

ඔහු  Lawrence Livermore ජාතික විද්‍යාගාරයත් සමඟ කරන ලද ව්‍යාපෘතිය වන්නේ අභ්‍යවකාශ කටයුතු සඳහා භාවිතා කරන දුරේක්ෂයක් නිර්මාණය කිරීම. මෙම දුරේක්ෂය හබල් දුරේක්ෂයට වඩා හතළිස් ගුණයක් ප්‍රමාණයෙන් විශාල වනවා සේම, හැකිළිය හැකි එකක් වනවා. ඒ එහි අඩංගු ඔරිගාමි නැමුම් විශාල ප්‍රමාණය නිසා.

අභ්‍යවකාශ ගවේෂණ කාර්යයේදී විද්‍යාඥයන් මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වූයේ ප්‍රමාණයෙන් විශාල කාච ගොඩනැඟීමයි. එමඟින් වඩා විශාල ආලෝක ප්‍රමාණයක් ඒකරාශී කර පැහැදිලි ප්‍රතිබිම්බ ගොඩනංවනවා. හබල් දුරේක්ෂයේදී මේ සඳහා වක්‍ර කාච යොදා ගැනුණත් ආචාර්ය ලෑන්ග් ඇතුළු පිරිස මේ සඳහා යොදා ගත්තේ වෙනස් ක්‍රමවේදයක්. මෙහි දී විවර්තනීය කාච දෙකක් යොදාගෙන ඇති අතර එමඟින් වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බ සංකේන්ද්‍රණය කරනු ලබනවා.

මෙම කාචයේ විශ්කම්භය මීටර් 100 ක් පමණ වුවත් අභ්‍යවකාශ යානයේ ඇසිරිය හැකි ඉඩ ප්‍රමාණය මීටර් 10 පමණ දිග මීටර් 4 ක පමණ විශ්කම්භයකින් යුතු ඉඩ ප්‍රමාණයක්. මෙය නිර්මාණයටත් වඩා බරපතල අභියෝගය වූයේ මෙම කාචය අභ්‍යවකාශ යානයකට ඇසිරීමේදී. මක් නිසාද යත් ඒවා ප්‍රමාණයෙන් කුඩා වන බැවින්. ආචාර්ය ලෑන්ග් ගේ සහාය මොවුන්ට අවශ්‍ය වූයේ මෙම අවස්ථාවේදීයි. ඔහු ගැටලුව නිරීක්‍ෂණයෙන් පසු මේ සඳහා ඔරිගාමී කලාව ආශ්‍රයෙන් විසඳුමක් ඉදිරිපත් කළ හැකි බව පැවසූවා. “කාචයේ විභවතාවයන් එලෙසින්ම පවත්වා ගනිමින් ඔරිගාමි නැමුම් ඔස්සේ ප්‍රමාණය කුඩා කළ හැකියි.” ඔහු පවසනවා.

fatherly.com

ලෑන්ග් ඇතුළු කණ්ඩායම අවසානයේදී කුඩයක ආකාරයේ නැමීම් සහිත ව්‍යුහයකට එකඟ වුණා. මෙම කාචය දිගහැරිය විට සම්පූර්ණයෙන්ම සමමිතිකාර විය යුතුයි. ඒ පෘථිවියෙන් සැතපුම් 25 000 කට ඈතින් කක්ෂගත කළ පසු භ්‍රමණ ස්ථායිතාවය ලබා ගැනීම සඳහා. එසේම මෙහි ඇති බහු මුහුණතාකාරභාවය නිසා වීදුරුවේ යම් කොටසක් උල්කාශ්මයක් නිසා බිඳීමට ලක් වුවත් දුරේක්ශයේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ඇණ හිටින්නේ නැහැ.

ආචාර්ය ලෑන්ග් ඔහුගේ නවතම ඔරිගාමි නිර්මාණ සඳහා පරිගණක සහාය ලබා ගන්නවා. ඔහුගේ Treemaker නම් මෘදුකාංගය කටුසටහන් ඔරිගාමි නිර්මාණ බවට පරිවර්තනය කිරීමට සමත්. ඒ වගේම ඔහුගේ Referencefinder නම් මෘදුකාංගය මගින් ඒ ඔරිගාමි සටහන් පියවර වශයෙන් එම නිර්මාණය ගොඩනගන අයුරු ලබාදෙන අයුරින් නිර්මාණය කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එවන් අපූරු ඔරිගාමි නිර්මාණ කිහිපයක්.

Chrysina Beetle නම් ඔරිගාමි නිර්මාණය
(langorigami.com)

langorigami.com

දැන් ආචාර්ය ලෑන්ග් පූර්ණ කාලීන ඔරිගාමි නිර්මාණකරුවෙක්. මේ නිසා ඔහුට නිදහසේ ඔහුගේ අපූර්ව නිර්මාණ නවතම මානයකට ගෙනයාමට හැකි වී තිබෙනවා. ඔහු සාම්ප්‍රදායික ඔරිගාමි කලාව සමග නවීන තාක්ෂණය මුසු කරමින් මෘදුකාංග වගේම ලේසර් කැපුම් තාක්ෂණය යොදාගෙන ඔහුගේ විනෝදාංශය ව්‍යාපාරයක් ලෙසට දියුණු කරමින් සිටින බව සඳහන්. ඔහුගේ වඩාත්ම ජනප්‍රිය නිර්මාණය වන්නේ Bull moose යන නිර්මාණයයි.

ඒ වගේම ලෝකයත් සමග ඔහුගේ දැනුම බෙදා ගැනීම සඳහා ඔහු The Complete Book of Origami නමින් පොතක්ද ලියා තිබෙනවා. එහි විවිධ ඔරිගාමි සත්ව නිර්මාණ බොහෝ ගණනක් නිර්මාණය කරන ආකාරය පියවර වශයෙන් සඳහන් වී තිබෙනවා.

(Bull moose නම් ඔරිගාමී නිර්මාණය)  wordpress.com

ඔහුගේ මේ විශිෂ්ට නිර්මාණයන් විවිධ ආයතන වල අවධානය ඔහු වෙතට ලබා දී තිබෙනවා. ඒ අතරින් ටොයෝටා සමාගමේ Toyota Avalon නම් රථයේ ප්‍රචාරක දැන්වීම් ඔරිගාමි නිර්මාණ ඇසුරින් ඉදිරිපත් කිරීමත් Mitsubishi Endeavor TV spot සඳහා ලෝකයේ අනුරුවක් සහ විවිධ අනුරූ ඔරිගාමි නිර්මාණ ඇසුරින් නිර්මාණයක් කිරීමත් විශේෂයෙන් හැදින්විය හැකියි. එමෙන්ම මැක්ඩොනල්ඩ්ස් ආයතනයේ නවතම ප්‍රචාරක දැන්වීමක චීස් බර්ගර් දවටන වලින් ආචාර්ය ලෑන්ග් විවිධ ඔරිගාමි නිර්මාණ කරන ආකාරය දකින්න පුළුවන්.

කවරයේ පිංතූරය – thisiscolossal.com

මූලාශ්‍ර –  www.damninteresting.com

Related Articles