මීටරයකට ජීවිතයක් ගණනේ කැපකොට සෑදූ රුසියාවේ ‘ඇටකටු මාවත’

ලොව විශාලතම රාජ්‍යය ලෙස සැලකෙන රුසියාව තවත් කරුණු කාරණා ගණනාවක් නිසා ප්‍රසිද්ධියක් උසුලනවා. කර්කටක නිවර්තනයට සෑහෙන තරමක් උතුරින් මෙහි භූමියෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පිහිටීම නිසා, රුසියාවේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ දැඩි ශීත දේශගුණයක්. එයිනුත් මධ්‍යම හා ඊසානදිග සයිබීරියාවේ පවතින්නේ දැරිය නොහැකි තරම් ශීතල කාලගුණයක්. මීට එහි අක්ෂාංශගත පිහිටීම මෙන්ම තවත් භූගෝලීය සාධක කිහිපයක් ම බලපවත්වනවා. ලොව දරුණු ම ශීතල පවතින ගම්මානය වන ‘ඔයිමියාකොන්‘ පිහිටා ඇත්තේ ද මේ පෙදෙසේ යි.

ඔයිමියාකොන්- vocesabia.net

රුසියාවේ බොහෝ ඉදිකිරීම්- විශේෂයෙන් ම මහාමාර්ග හා දුම්රිය මාර්ග ඉදිකිරීමේ දී කාර්යයයේ නියුතු අයට දැඩි ශීතල හා අධික හිමපතනය නිසා අත්විඳින්නට සිදුවන බාධා අපමණ යි. ලොව දීර්ඝතම දුම්රිය මඟ වන ට්‍රාන්ස් සයිබීරියන් මඟ ඉදිකිරීමේ දී ද ජීවිත අහිවිම් තරම් මහත් වූ අපහසුතාවන්ට, එය සිදුකළ කම්කරුවන් ලක් වුණා. කෙසේ නමුත්, ඉදිකිරීම වඩාත් ම අපහසු වූයේ රුසියාවේ වඩාත් ඊසානදිගින් වූ මාර්ග යි. මෙයිනුත් ‘ආර් 504’ මහාමාර්ගය සුවිශේෂී තැනක් ගන්නවා. ලොව වඩාත් ශීතලෙන් යුතු ප්‍රදේශ කිහිපයක් ම හරහා වැටී ඇති මෙම දීර්ඝ මාර්ගය ඉදිකිරීමේ දී අයහපත් දේශගුණික තත්ත්වයන් නිසා සිදු වූ ජීවිත හානි අතිමහත්. මේ නිසා ම එයට ‘ඇටකටු මාර්ගය’ ලෙස නමක් පටබැඳී තිබෙනවා.

‘ඇටකටු’ මාවතේ හැඳින්වීම

ඇටකටු මාවතේ පිහිටීම- siberiantimes.com

‘ආර් 504’ යන නිල නාමයෙන් හැඳින්වෙන මෙම මාර්ගය දිගින් කි. මී. 2031ක් වෙනවා. මෙය ආරම්භ වන්නේ රුසියාවේ ඊසානදිග මුහුදුබඩ නගරයක් වන මඟදන් අසලින් වන අතර, අවසන් වන්නේ ලොව ශීතල ම නගරයක් වන යකූට්ස්ක් තදාසන්න ව පිහිටි නිෂ්නි බෙස්ට්යාක් නම් කුඩා නගරය අසලිනුයි. මෙය වැඩිමනක් ම කොලිමා නිම්නය ඔස්සේ වැටී තිබෙන නිසා ‘කොලිමා මහාමාර්ගය’ ලෙස ද හැඳින්වෙනවා.

යකුට්ස්ක් අවට අධික ශීතලට හේතු

සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට පිහිටි උස වැඩි වන්නට වන්නට සාමාන්‍ය පාරිසරික උෂ්ණත්වය පහත වැටෙනවා. සමකාසන්නයේ ඇති කිලිමන්ජාරෝ කඳු මුදුනෙහි හිම මිදෙන්නේ එබැවින්. එමෙන්ම සමකයේ සිට ධ්‍රැවාසන්න ප්‍රදේශවලට ළඟා වන විටත් ක්‍රමයෙන් සාමාන්‍ය පාරිසරික උෂ්ණත්වය අඩු වෙනවා. ඇලෙස්කාවේ උත්තර පෙදෙස් හි සමුද්‍රාසන්නයේ ද හිම මිදෙන්නේ එබැවින්. කෙසේ නමුත් යකුට්ස්ක් ඇතුළු මධ්‍යම සයිබීරියාවේ පෙදෙස් මුහුදු මට්ටමේ සිට මීටර 1000කට වඩා අඩු උසකින් පවතින අතර, සැලකිය යුතු තරම් උත්තර කවයෙන් දකුණට වන්නට පිහිටා තිබෙනවා. එසේනම්, ඒ පෙදෙසේ මේ තරම් දැඩි ශීතලක් පවතින්නේ කෙසේ ද? යන්න බොහෝ දෙනාට ඇති ගැටලුවක්.

යම් ප්‍රදේශයක සාමාන්‍ය උෂ්ණත්වය නිර්ණය වන්නට පෙර කී සාධක දෙක පමණක් බලපවත්වන්නේ නැහැ. විශේෂයෙන් වැඩි තාප ධාරිතාවක් සහිත සමුද්‍රයක් වැනි ජල ප්‍රභවයක් තාපය උරාගැනීම හා පිටකිරීම සිදුකරමින් තදාසන්න ප්‍රදේශවල තාප යාමනයක් සිදුකරනවා. එනයින්, සාමුද්‍රික බලපෑම ඇති පෙදෙස්වල දැඩි උෂ්ණත්ව වෙනස්වීම් බලපවත්වන්නේ නැහැ. ශ්‍රී ලංකාව ඊට හොඳ උදාහරණයක්.

touratech.de

යකුට්ස්ක් ඇතුළු මධ්‍යම සයිබීරියාවේ පෙදෙස් ආසන්නයේ කිසිදු විශාල ජලතලයක් දකින්නට නැහැ. ඒ නිසා හොඳින් උෂ්ණත්ව යාමනයක් වන්නේ නැහැ. එමෙන්ම මෙහි ඔයිමයාකොන් වැනි පෙදෙස් පවතින්නේ උස් බිමකින් වට වූ නිම්නයක යි. මේ හේතුවෙන් ආක්ටික් වෘත්තයේ සිට හමන ශීත සුළං මේ නිම්නයේ ‘සිරවීමක්’ සිදුවනවා. මේ කරුණු කාරණා නිසා හිරු එළිය හොඳින් නොලැබෙන ශීත සමයේ ඉතා දැඩි ශීතලක් මධ්‍යම සයිබීරියාවට බලපවත්වනවා. මෙය කෙතරම් ප්‍රබල ද යත් සෙල්සියස් අංශක ඍණ 50ටත් වඩා උෂ්ණත්වය පහළ බසින දින කිසිසේත් ම විරල නැහැ.

ඇටකටු මාවතේ ඉදිකිරීම

මඟදන් සිට යකුට්ස්ක් වෙතට වූ මහාමාර්ගය ඉදිකිරීමට අදහස් කෙරුණේ 1920 දශකයේ දී හිටපු රුසියානු නායක ජෝසෆ් ස්ටාලින්ගේ පාලන කාලය තුළ යි. විශේෂයෙන් ඒ කාලය වන විට රුසියාව සිය ස්වභාවික සම්පත් පවතින ප්‍රදේශ පිළිබඳ ව පර්යේෂණ කරමින් සිටි අතර, යකුට්ස්ක් ඇතුළු මධ්‍යම හා ඊසානදිග සයිබීරියානු කලාපය ඛනිජ සම්පත්වලින් ආඪ්‍ය බව සොයා ගැනෙනවා.

1930 දශකය මුල් භාගය වන විට ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය සේවය සථාපිත ව තිබූ නමුත් මධ්‍යම සයිබීරියාවේ සිට කිලෝමීටර සිය ගණනක් ඊට දුර තිබූ අතර, අනෙක් අතින් එම පෙදෙස වරායකට ද බොහෝ දුරින් පිහිටා තිබුණා. මේ හේතුවෙන් පොළොවෙන් උකහා ගන්නා ස්වභාවික සම්පත් මොස්කව් ඇතුළු අනෙකුත් නගරවලට ප්‍රවාහනය කිරීමට හොඳින් සැකසූ මහාමාර්ගයක අවශ්‍යතාවය පැන නැඟුණා.

ජෝසෆ් ස්ටාලින් – pocketmags.com

මේ කාලය වන විට රුසියාව එවැනි මහමාර්ගයක් තැනීම සඳහා පුහුණු ශ්‍රමිකයන් යෙදවීමට හැකි තරම් ශක්තිමත් ආර්ථික තත්ත්වයක සිටියේ නැහැ. අනෙක් අතට මධ්‍යම සයිබීරියාවේ පවතින මාරාන්තික ශීතලට නිරාවරණය වී වැඩ කරන්නට කිසිවෙකු ඉදිරිපත් වූයේ ද නැහැ. එසේ ම යමෙක් එලෙස ඉදිරිපත් වූව ද, ශීතලෙන් ආරක්ෂා වීමට බොහෝ වියදම් සහගත ඇඳුම් වැනි දේ සැපයීමට සිදුවන බව ස්ටාලින්ට ඉක්මණින් ම වැටහී ගියා.

මේ අභියෝගය ජයගන්නට ස්ටාලින් අපූර්ව උපක්‍රමයක් කල්පනා කළා. ඔහු ඒ සඳහා විවිධ හේතු නිසා බන්ධනාගාර ගත වී සිටින සිරකරුවන් යොදන්නට තීරණය කළා. ඔවුනට වැටුප් ගෙවීම අනවශ්‍ය වූ අතර, ශීතලෙන් ආරක්ෂා වීම සඳහා සරිලන කබා සැපයුණේ ද නැහැ.

මේ ආකාරයට මාර්ගය තැනීමට සිරකරුවන් යොදාගැනීමේ දී ඔවුන් බොහෝ දෙනා මියයන බව රුසියානු රජය දැන සිටියා. කෙසේ නමුත් ඔවුනට වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඔවුනට අවශ්‍යතාවය තිබුණේ මියයාමට පෙර එක සිරකරුවෙකුට මාර්ගයෙන් අඩියක් හෝ සාදාගත හැකිනම් ඒ වාසිය ලබාගන්නට යි.

1930 දශකයේ මුල් භාගයේ දී සැලසුම් කළ පරිදි ම යකුට්ස්ක් යා කරමින් ඉදිකරවන මෙම මහාමාර්ගයේ වැඩකටයුතු ඇරඹුණා. අනුමාන කළ පරිදි ම සෙල්සියස් අංශක ඍණ 60 තරම් වූ දැඩි ශීතලට නිරාවරණය වී සිරකරුවන් එකා එකා මියයන්නට පටන්ගත්තා. ඔවුන්ගේ සිරුරු වෙන කොහේවත් ගොඩ නොගසා මාර්ගයට ම යට කර ඔවුන් මතින් එය තනන්නට ස්ටාලින් ඇතුළු රජය තීරණය කළා. කෙසේ නමුත් ඔහු එසේ මියයන්නන් පිළිබඳ ව ගෞරවාන්විත ව කථා කළා.

මාර්ගය තනන සිරකරුවන්- bbc.com

වසර 20ක් තුළ කි. මී. 2000ක් වූ මහාමාර්ගය තැනුණු අතර, එහි දී මියගිය මිනිසුන් ගණන ලක්ෂ ගණනක්. නිවැරදිව ම තක්සේරු කළ නොහැකි වුවත්, එම මඟෙහි සෑම මීටරයකට ම එක් අයෙකු මිය යන්නට ඇති බව අනුමාන කෙරෙනවා. ඔවුන් සියල්ල ම පාහේ මතින් මාර්ගය ඉදි වී ඇති නිසා පසුකාලීන ව මෙය ‘Road of bones’ හෙවත් ‘ඇටකටු මාවත’ ලෙස ව්‍යවහාර වන්නට පටන්ගත්තා.

 

කවරයේ පින්තූරය: sherrijosbecauseicanworldtour.blogspot.com

Related Articles