ජීවිතයේ හැඩය කියාදෙන – The Shape Of Water

2018 වසරේ පැවැත්වූ 90වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කලා අධ්‍යක්ෂණය, සහ හොඳම සංගීතයට හිමි සම්මාන හිමිකර ගනිමින් ගියෙල්මෝ ඩෙල් ටෝරෝගේ The Shape of Water සිනමා නිර්මාණය ඉතා ඉහළින් ගරු බුහුමනට පාත්‍ර විය. එසේ ම 75වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල, 71වන බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උළෙල, 74වන වෙනිස් සම්මාන උළෙල ඇතුළු ජාත්‍යන්තර සම්මාන උළෙල රැසක දී සම්මාන 110ක් ද, නාමයෝජනා 304ක් ද ලබාගැනීමට මෙම සිනමා නිර්මාණය සමත් විය.

ප්‍රචාරක පෝස්ටරය (Imdb)

ගියෙල්මෝ ඩෙල් ටෝරෝගේ කතාවක් වන මෙයට තිර රචනය සඳහා වැනෙසා ටේලර් ද ටෝරෝ හා එක් විය. ඇලෙක්සැන්ඩර් ඩෙස්ප්ලැට්ගේ අපූරු සංගීතයෙන් ද මෙය තවත් රසවත් වී ඇත. ප්‍රධාන චරිතය වන එලයිසාගේ චරිතය නිරූපණය කරන්නේ සැලී හෝකින්ස් විසිනි. මයිකල් ෂැනන්, රිචඩ් ජෙන්කින්ස්, ඔක්ටේවියා ස්පෙන්සර් සෙසු චරිත නිරූපණය කරයි.

Guillermo Del Toro සිය ඔස්කාර් සම්මාන ද්විත්වය සමග (awardsdaily)

සාරාංශය

මේ 1963 වසර යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ, මැරිලන්ඩ ප්‍රාන්තයේ, බැල්ටිමෝර් නගරය කේන්ද්‍ර කරගනිමින් මෙම කතාව දිගහැරේ. සෝවියට් දේශය සහ එක්සත් ජනපදය අතර සීතල යුද්ධය උග්‍ර ව පැවති කාල වකවානුවකි මෙය. දෙපාර්ශවය ම එකිනෙකා වැනසීමටත් අනෙකාගේ කටයුතු කඩා කප්පල් කිරීමටත් කුමන්ත්‍රණවල නියැලෙමින් සිටියි. බැල්ටිමෝර් නගරයේ හමුදා පර්යේෂණ ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක නිරත වන තරුණියකි එලයිසා. ඇගේ මිතුරිය සෙල්ඩා වන අතර අසල්වැසියා ගයිල්ස් නම් වැඩිහිටි පුරුෂයෙකි.

youtube

දිනක් හමුදා පර්යේෂණාගාරයට දකුණු ඇමෙරිකාවෙන් අල්ලාගත් විශේෂිත සත්ත්වයෙක් රැගෙන එයි. මෙහෙයුම දියත් කළ නිලධාරියා රිචඩ් ස්ට්‍රික්ලන්ඩ් ය. මෙය සෝවියට් ඔත්තු සේවයට කිසිසේත් මඟ නොහැරෙන පුවතකි. ආචාර්ය හොෆ්ස්ටෙට්ලර් ලෙස පැමිණෙන්නේ සෝවියට් මෙහෙයුම අනුව ය. එම සත්ත්වයා රැගෙන ඒමෙන් පසු ව එලයිසා එතෙක් ගෙවූ සුපුරුදු දින චර්යාව වෙනස් වෙයි. මෙම සත්ත්වයා සමග සමීප සබඳතාවක් පවත්වා ගැනීමට ඇයට හැකිවේ. මෙම බැඳීම හොෆ්ස්ටෙට්ලර්ගේ ද අවධානයට ලක්වේ.

Imdb

සිනමාත්මක කියවීම

Shape of Water ඇරඹෙන්නේ ජලය තුළ ගිලුණු එලයිසාගේ නිවසේ දර්ශනයකිනි. මෙහි  ඇරඹුමේ සිට නිදා සිටින එලයිසා දක්වා පැමිණෙන කැමරාව දීර්ඝ දර්ශනාවලියක් (Long Take) පසු කරයි. ජලය යනු මෙම කතාවේ අතිශය වැදගත් ද්‍රව්‍යය යි. එලයිසා කුඩාකල තුවාල ලබා සිට මුදාගනු ලබන්නේ ද ගංගාවක් අසලිනි. එලයිසා උදෑසන ස්වයං වින්දනයේ යෙදෙන්නේ ද ජලය පිරුණු නාන ඔරුව තුළ ය. ජලයේ වාසය කරන අරුම පුදුම සත්ත්වයෙක් හා ඈ පෙමින් වෙළෙයි. නිවසට රැගෙන ආ පසු නාන කාමරය ජලයෙන් පුරවා ජලයේ ගිලි ප්‍රේමාලිංගනයේ යෙදෙයි.

Imdb

පසුබිම් තල අලංකාර මෙන්ම ප්‍රේක්ෂකයාට උක්ත කාල පරිච්ඡේදය තේරුම් ගැනීමට දැනුම සපයයි. පළමු දින එලයිසා නිවසේ සිට බස් රථයක් පැමිණෙන තෙක් නැවතී සිටින ස්ථානයේ පිටුපස රුපවාහිනී තීරයන් තුළ ජනපති ජෝන් කෙනඩිගේ රුව පෙන්වයි. එනම් මෙය 1961-1963 අතර කාලය තුළ බව ප්‍රේක්ෂකයා දැනුවත් කරයි. එසේම ගයිස්ල්ගේ කාමරය තුළ රුපවාහිනියේ පුවත්වල පෙන්වන කළු ජාතික අරගල ද එය තවත් තහවුරු කරයි. පරීක්ෂණාගාරය තුළ දී ජනරාල් හොයිට් විසින් සෝවියට් දේශයේ ක්‍රියාකාරම් සිහිපත් කරන විට කියුබාවේ මිසයිල සවි කිරීම ගැන ද කෝපයෙන් පැවසීය. එනම් මේ මොහොත වනවිට 1962 වසර ද පසු කර ඇත.

(උක්ත වසර කුමක්දැ යි ගැටලුවට නිවැරදි ම පිළිතුර හමුවන්නේ ජනරාල් හොයිට් සහ රිචර්ඩ් අතර සංවාදයේ දී ය. තමන්ව කෙතරම් කලෙක සිට හඳුනන්නේදැ යි රිචර්ඩ් විමසන විට හොයිට් පිළිතුරු දෙන්නේ වසර 13ක් බව යි. එනම් පුසාන්හි යුද්ධයේ දී ය. පුසාන්හි යුද්ධය සිදු වූයේ 1950 දී කොරියාවේ දී ය).

මෙහි එන සංගීතයේ මිහිරියාව විඳිය යුතුම ය. පසුබිම් සංගීතය තුළ මෙන්ම මෙහි එන ගීත තුළ ද ඇලෙක්සැන්ඩර් ඩෙස්ප්ලැට් ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත්කරයි. කතාව ඇරඹෙන දීර්ඝ දර්ශනයේ සිට ම සංගීතය නිර්මාණය පුරා විහිදී පැතිරී පවතී. සතුට, දුක, වේදනාව, කුතුහලය, ආදරය, තරහ, වෛරය පිළිබඳ රංගනය තුළින් කරන නිරුපණය සංගීතයෙන් මනා ලෙස ඔපනංවා, හැඩගන්වා ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි.

Imdb

එපමණක් නොව මෙහි වැදගත් ම කරුණ නම් සංගීතය මෙහි සෑම තැනක ම වැදගත් අංගයක්ව තිබීම යි. එලයිසා සතුව ග්‍රැමෆෝනයක්  තිබෙන අතර ඇය මිතුරා බැලීමට යාමේ දී තැම්බූ බිත්තර සමග ග්‍රැමෆෝනය ද රැගෙන යයි. මෙම සත්ත්වයා ද සංගීතයට මහත් ප්‍රියතාවක් දක්වයි. පසු ව එලයිසා විවිධ ගීත ඇල්බම් මිලට ගෙන පැමිණ දෙදෙනා එක්ව රස විඳියි.

දෘෂ්ටිවාදී කියැවීම

මෙය හුදෙක් සත්ත්වයෙක් නිදහස් කරගැනීම පිළිබඳ කතාවක් ම නොවේ. එය ජීවිතය පිළිබඳ පාසලකි. එහි ආදරය, ලිංගිකත්වය, මානවවාදය, සංවේදී බව, පුරුෂාධිපත්‍ය, විවිධත්වය පිළිබඳ මහා කියවීමක් කළ හැකි ක්ෂේම භූමියකි. එලයිසා යනු තනි ව ජිවත්වන කාන්තාවකි. ඇය දිනපතා නිශ්චිත කාලයක් උදෑසන ස්වයං වින්දනයේ යෙදෙයි. ඇය තුළ පසුතැවීමක් හෝ වේදනාවක් නැත. ඇය ජීවිතය වින්දනය කරයි.

Imdb

ඇගේ අසල්වැසි මිත්‍රයා ගයිල්ස්ගේ තත්ත්වය මිට හාත්පසින් වෙනස් ය. ඔහු තුළ පශ්චාත්තාපය පුපුරු ගැසෙමින් නැගේ. තමන්ට නැවත වයස 18ට යාමට අවස්ථාවක් ලැබුණහොත් සිදුකරන දේ පිළිබඳ පවසන්නේ අතීතය පිළිබඳ වරකාරි හැඟීමෙනි. එලයිසා ජිවිතයේ බොහෝ අවස්ථා රසවිඳීමට උත්සහ කරයි. රුපවාහිනියේ දකින නර්තනයෙන් පසු ව කාමරයෙන් පිටවන එලයිසාට තමන් ගමන් කරන හඬ ඇසි ඒ තුළින් සංගීතයක් සහ නර්තනයක් ගොඩනැගීමට උත්සාහ කරයි. කාලය යනු අපගේ අතීතය පසුකර ගමන් කරන ගංගාවක් ලෙස ඇගේ දින දර්ශනයේ පසුගිය දවසට අදාළ රුවන් වැකියේ සටහන් ව තිබුණි. මේ සියල්ල තුළින් Guillermo ජිවිතයේ සෑම මොහොතක් ම රසවිඳින ලෙස සිය ප්‍රේක්ෂකයන්ගෙන් ආයාචනා කරයි.

Imdb

එලයිසාගේ මිතුරා ගයිල්ස් වියපත් ව සිටින සමලිංගික වූ වෘත්තිමය චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ සමලිංගික බව ඔහු ව ජීවිතය පුරාවට කාමරයකට කොටු වූ ලැජ්ජාශීලි අයෙකු බවට පත්කර ඇත. 60 දශකය වන විටත් එක්සත් ජනපදය තුළ වූ සමලිංගික විරෝධය පිළිබඳ හරස්කඩක් ගයිල්ස් හරහා චිත්‍රණය කරයි. ඔහු සමග කුළුපඟ වන ප්‍රංශ අවන්හලේ තරුණයා පිළිබඳ ව වැරදි වැටහීමක් ඇති කරගන්නා ඔහු රැකියාව පිළිබඳ බලාපොරොත්තුව ද අධි තක්සේරුවකට පැමිණ අවසානයේ අවස්ථා දෙකෙන් ම පරාජිත වේ. අවසානයේ ඔහුට ඉතිරි වන්නේ පැය කිහිපයකට පෙර බැණ වැදී අමනාපකමක් ඇතිකරගත් අසල්වැසි මිතුරිය එලයිසා පමණි.

Imdb

රිචර්ඩ් ස්ට්‍රික්ලන්ඩ් යනු දැඩි, පුරුෂවාදී, අමානුෂික නිලධාරියෙකි. සත්ත්වයා පිළිබඳ පර්යේෂණ කිරීමට පැමිණි ආචාර්යවරයාගේ අදහස් ද නොසලකා මරා, ශරීර කොටස් පරික්ෂා කළ යුතු බවට දැඩි මතයක පැමිණෙන්නේ ද මේ නිසා ය. අධි වෝල්ටීය මුගුරෙන් හිංසා කරනු රහසින් බලා සිටින එලයිසා වේදනාවෙන් මිරිකෙයි.

Imdb

එසේම රිචර්ඩ් යනු පුරුෂෝත්තමවාදියෙකි. ස්ත්‍රිය යනු තමන්ගේ අවශ්‍යතා සන්තර්පණය කිරීමට සිටින භාණ්ඩයක් බව ඔහු සිතයි. රිචර්ඩ් සහ බිරිඳගේ ලිංගික හැසිරීම මෙය හොඳින්ම පෙන්වන අවස්ථාව යි. ලිංගිකත්වයේ දී දැඩි ආධිපත්‍යක් දරන ඔහු බිරිඳගේ මුඛය ද ආවරණය කරන්නේ නිහඬ ව ඔහුගේ කාර්යය සිදුකිරීමට අවශ්‍ය බව දැඩි ව පවසමිනි. ඔහු විසින් පසුදිනෙක දී එලයිසාට තමන් හා යහන් ගතවීමට යෝජනා කරන්නේ ඇගේ කතා කිරීමට නොහැකි වීම තමන්ට කිසිදු ගැටලුවක් නොවන බව පවසමිනි. යහනේ දී රිචර්ඩ්ගේ බිරිඳ එම මොහොත වින්දනය කරනු වෙනුවට විඳවීමක් කරන අයුරු ද, එලයිසා සහ ජලජ සත්ත්වයා අතර ලිංගික සබඳතාව ඇය වින්දනය කරන අයුරුත් අතර වෙනස දැකීමට ප්‍රේක්ෂකයා පොළඹවයි. එලයිසා සෙල්ඩා සමග ලැජ්ජාශීලී ව, එහෙත් සතුටින් ජලජ ජීවියා සතු ව පුරුෂ අවයවය පවතින බව කියන අවස්ථාව එලයිසා ඇගේ ලිංගික ජීවිතය වින්දනය කළ බව පෙන්වන එක් අවස්ථාවකි. එසේම නාන කාමරය ජලයෙන් පුරවා දියේ ගිලි ආදරයේ බැඳෙන අයුරු ද පෙන්වයි.

Imdb

මෙහි එන සෝවියට් ඔත්තුකරු වන ආචාර්ය හොෆ්ස්ටෙට්ලර් මානවවාදී, සංවේදී මිනිසෙකු ව ප්‍රේක්ෂකාගාරයට ගෙන එයි. මේ වනවිට එක්සත් ජනපදය සහ සොවියට් දේශය එකිනෙකාට අවි අමෝරා සීතල යුද්ධයක සිටියි. හොස්ෆ්ටෙට්ලර්ගේ (ද්මිත්‍රි) ඉහළ නායකයාගේ කාර්යය එක්සත් ජනපදයෙන් තම රටට අභියෝග කරන දේ නැවතීම ය. ඒ සඳහා සත්ත්වයා ඝාතනය කිරීමට විෂ එන්නතක් ලබාදෙයි. නමුත් ද්මිත්‍රි සත්ත්වයා ඝාතනය නොකර එලයිසාට උපකාර කරයි.

Imdb

Shape of Water තුළ විවිධත්වය අගය කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. දකුණු ඇමෙරිකාවේ සිට රැගෙන එන මෙම දුර්ලභ සත්ත්වයා සතු ව සුව කිරීමේ හැකියාව ඇත. නිවසේ දී තමන් අතින් ගයිල්ස් හට සිදු වූ තුවාලය සුවපත් කරන ඔහු කෙස් ගැලවී යන ගයිල්ස්ගේ හිසේ කෙස් නැවත වර්ධනය කරදෙයි. මේ මොහොතින් පසු ප්‍රේක්ෂකයා නිතැතින් අවධානය යොමු කරන්නේ එලයිසාට නැවත කතා කිරීමේ හැකියාව ලබාදෙනු ඇතැ යි යන්න යි. රාත්‍රී ආහාර මේසයේ දී එලයිසා ගොත ගසමින් Vera Lynn විසින් ගායනා කරන You’ll Never Know ගීතය මුමුණමින් සිහින ලොවකට ගොස් නැවත ගොළු බසින් ම සැබෑ ලොවට පැමිණේ. ඇගේ ගොළු බව සුවපත් නොවූයේ මන්ද? ඒ මෙම සත්ත්වයා ද ගොළු බැවිනි. ගොළු බවෙහි අමුත්තක්, වෙනසක් ඔහු නොදනී, නොදකී. ‘‘ඔහු දන්නෙ නෑ මගේ අඩුව කුමක් ද කියා හෝ මම අසම්පුර්ණ වෙන්නෙ කොහොම ද කියා. ඔහු මාව දකින්නෙ ‘ඇත්තම මා’ ලෙස යි’’. එලයිසාගේ අදහස ගයිලිස් විසින් වැකියකට නගන්නේ එලෙස යි. සමාජයේ විවිධ මිනිසුන් සිටීම යනු අසම්පුර්ණ බවක්, නොහැකියාවක් හෝ දුර්වලකමක් නොව එය විවිධත්වයේ ස්වභාවය බව Shape of Water අපට අලංකාර ලෙස පහදා දෙන්නේ එලෙස යි.

Imdb

විනාඩි 123ක ධාවන කාලයක් තුළ ප්‍රේක්ෂකයා කුල්මත් කරමින් ආදරය, සංවේදීත්වය උද්දීපණය කරමින් ජිවිත තක්සලාවට සුන්දර මතකයක් එක්කරන Guillermo del Toroගේ Shape of Water ජිවිතයේ හැඩය රාමුවක් තුළ කොටු කළ නොහැකි බව කියයි.

කවරයේ පින්තුරය: Imdb

මූලාශ්‍රය : imdb.com

Related Articles

Exit mobile version