Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුරාණ ලෝකයේ අරගලයන්ට මඟ පෑදූ රිදී

පුරාණ කාලයේ පටන් ම බොහෝමයක් සංස්කෘතීන් තුළ රිදී ලෝහය සඳහා පැවතුණේ ඉහළ ඉල්ලුමක්. රිදී ලෝහය සතු සුන්දරත්වය හේතුවෙන් ඈත අතීතයේ සිට ම ආභරණ, පිඟන් භාණ්ඩ, ප්‍රතිමා, චාරිත්‍රමය බඩුබාහිරාදිය, සහ වෙළඳාමේ දී බහුල වශයෙන් පරිහරණය කරන ලද ‘හැක්සිල්වර්’ නම් සුමට නොවූ රිදී කැබලි නිපදවීම සඳහා එය යොදාගත් බවට සාක්ෂ්‍ය පවතිනවා. ධනය රැස් කිරීමේ මාර්ගයක් ලෙස මෙන් ම කාසි නිෂ්පාදනයේ මූලික අමුද්‍රව්‍යයක් ලෙස ද භාවිතා වූ රිදී ලෝහය ලබාගැනීම සඳහා ග්‍රීසිය, ස්පාඤ්ඤය, ඉතාලිය, සහ ඇනටෝලියාව සතු ව රිදී ආකර බහුල ව පැවතී ඇති අතර ඇතැම් විටෙක රිදී ආකරයන් හි අයිතිය සම්බන්ධයෙන් රාජ්‍යයන් අතර යුද ගැටුම් පවා ඇති වූ බව යි වාර්තා වන්නේ. චීනය, කොරියාව, ජපානය, සහ දකුණු ඇමෙරිකාවේ ද රිදී ආකර පැවතී ඇති අතර ඔවුන් වැඩි වශයෙන් රිදී ලෝහය යොදාගෙන ඇත්තේ සොඳුරු භාණ්ඩ නිර්මාණ කිරීම සඳහා යි. පහසුවෙන් සපයා ගත හැකි සුන්දර බැබළීමක් සහිත ලෝහයක් වූ රිදී, සියවස් ගණනාවක් මුළුල්ලේ පුරාණ ලෝකයේ රාජ්‍යයන් එක් කිරීම මෙන් ම වෙන් කිරීම ද සිදු කළ බව පැවසීම වැරදි නැහැ.

© Csaba Nagy

‘දිදුලන’ යන අරුතින් නම් ලද රිදී

ලතින් බසින් ‘සුදු පැහැයෙන් දිදුලන’ යන අරුතින් ‘ආජන්ටම්’ ලෙස හඳුන්වන රිදී ලෝහය, පුරාණ වැසියන් අතර ඉහළ ජනප්‍රියත්වයක් අත් කරගෙන ඇත්තේ මනා ව ඔප දැමීම තුළින් එය ළඟා කරගන්නා සොඳුරු දිස්නය හේතුවෙන්. මෙම ලක්ෂණ අනුව එය ඉහළ වටිනාකමක් සහිත භාණ්ඩ නිපදවීම සඳහා පුරාණ ලෝහ නිර්මාණකරුවන්ට කදිම අමුද්‍රව්‍යයක් වූ බවට සැකයක් නැහැ. රිදී ලෝහය බහුල වශයෙන් හමුවන්නේ ලෙඩ් කාබනේට් සහ ගැලීනා යන මිශ්‍ර ලෝහ ලෙස වන අතර ඒවායේ රිදී අන්තර්ගතය 1%කට පමණ සීමා වෙනවා. එසේ වුව ද එවැනි මිශ්‍ර ලෝහවල සුලබතාවය සහ නිස්සාරණය කිරීමේ පහසුව හේතුවෙන් ලෝකඩ යුගයේ මුල් කාලයේ සිට ම රිදී ආකර හෑරීම කෙරෙහි පුරාණ වැසියන් අවධානය යොමු කර ඇති අතර, නිස්සාරණය කරගන්නා රිදී ලෝහයට වැඩි ශක්තියක් ලබාදීම සඳහා එය තඹ ලෝහය සමග මුසු කිරීම සිදු වී තිබෙනවා.  

© Excellentium

රිදී ලෝහය සපයා ගැනීමේ දී ඇමෙරිකානුවන් අතර වඩාත් ජනප්‍රිය ක්‍රමවේදය වී ඇත්තේ පොළොවේ සිරස් අතට පතල් කැපීම යි. එතරම් ගැඹුරු නොවූ එම පතල් රිදී ලෝහය සහිත මිශ්‍ර ලෝහ බහුල වශයෙන් පැවති ප්‍රදේශ ආශ්‍රිත ව ව්‍යප්ත වී තිබෙනවා. ඉන්කා වැසියන්ගේ විශ්වාසය අනුව රිදී ලෝහය නිර්මාණය වී ඇත්තේ චන්ද්‍රයාගේ කඳුළු හේතුවෙන්. ඒ අනුව පුරාණ ඇමෙරිකානුවෙන් පාරිශුද්ධ භාණ්ඩ නිපදවීම සඳහා බහුල වශයෙන් රිදී යොදාගෙන ඇති අතර, ඇන්ඩීස් කඳුකරය ආශ්‍රිත වාසය කළ ලෝහ නිර්මාණකරුවන් රන්, තඹ, සහ ප්ලැටිනම් මුසු කරන ලද රිදී තම නිර්මාණ සඳහා යොදාගත් බවට සාක්ෂ්‍ය හමු වී තිබෙනවා.

රිදී ආනයනය කළ මෙසපොටේමියානුවෝ

© The Metropolitan Museum of Art

ක්‍රි. පූ. 4 වැනි සහස්‍රයේ දී පමණ මෙසපොටේමියාවේ රිදී ලෝහය භාවිතා කර ඇති බවට සාක්ෂ්‍ය පවතින අතර මෙසපොටේමියාව ආශ්‍රිත ප්‍රදේශයේ රිදී ආකර නොමැති බැවින් ඔවුන් ඇනටෝලියාව, ආර්මේනියාව, සහ ඉරානයෙන් රිදී ආනයනය කරන්නට ඇති බව සැලකෙනවා. ඔවුන් ඒ සඳහා ගෙවීම් සිදු කර ඇත්තේ ධාන්‍ය මඟින්. එසේ ම පුරාණ ඊජිප්තු වැසියන් ද රනින් ගෙවීම් කර ආනයනය කරන ලද රිදී භාවිතා කර ඇති බව යි වාර්තා වන්නේ. මධ්‍යධරණී කලාපය තුළ රිදී වෙළඳාම සිදු කර ඇත්තේ ෆිනීෂියානුවන් විසින්.  

ඇතන්ස් නුවර වැසියන්ට රිදී ආනයනය කිරීමට අවශ්‍ය නොවුණේ ත්‍රේස් හි පැන්ජියස් කන්ද ආශ්‍රිත පැවති රිදී ඉල්ලම් ඔවුන් සතු වීම හේතුවෙන් බව පැවසීම වැරදි නැහැ. රෝම අධිරාජ්‍යයට අයිබීරියානු රිදී ඉල්ලම් මඟින් සැලකිය යුතු රිදී සැපයුමක් හිමි වූ අතර එම රිදී ඉල්ලම් හෑරීම සඳහා වහලුන් 40,000ක් යොදවන ලද බව සඳහන් වෙනවා. පසුකාලීන ව රෝම අධිරාජ්‍යයේ වර්ධනය සමග රෝම ජාතිකයන් එංගලන්තය, ජර්මනිය, සහ බෝල්කන් අර්ධද්වීපය ආශ්‍රිත ව රිදී ඉල්ලම් හැරීමේ නියැලී තිබෙනවා. එසේ ලබාගන්නා ලද රිදී ලෝහය බහුල වශයෙන් ඉන්දියානු කුළුබඩු සමග හුවමාරු කරගෙන ඇති අතර පුරාණ ඉන්දියානුවන් රෝමයෙන් ලබාගන්නා ලද රිදී භාවිතා කර ඇත්තේ කාසි නිෂ්පාදනය සඳහා යි.

© The Museum of Fine Arts, Houston

කාසි නිෂ්පාදනයට නැතුව ම බැරි වූ රිදී

රන් ලෝහය තරම් වටිනා ලෝහයක් ලෙස නොසැලකුව ද පුරාණ වැසියන් රන් ලෝහය භාවිතා කරන ලද කර්මාන්තයන් සඳහා රිදී ලෝහය ද භාවිතා කර තිබෙනවා. බොහෝමයක් පුරාණ සංස්කෘතීන් හි වංශවතුන් අතර රිදී ලෝහය යොදාගෙන නිම වන ලද ආභරණ, පිඟන් භාණ්ඩ, ප්‍රතිමා, සහ වෙනත් අලංකරණ භාණ්ඩ ජනප්‍රිය වූ අතර රිදී නූල් යොදාගනිමින් ගෙත්තම් කරන ලද ඇඳුම් ද ඔවුන් බහුල ව භාවිතා කර ඇති බවට සාක්ෂ්‍ය පවතිනවා. එයට අමතර ව ගෘහ භාණ්ඩ, ආයුධ, සහ යුද සන්නාහ නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේ ද රිදී ලෝහය යි.

© ArtAncient

නමුත් මේ සියල්ල අභිබවා රිදී ලෝහය භාවිතා කර ඇත්තේ කාසි නිෂ්පාදනය සඳහා යි. මුල්වරට රිදී කාසි නිෂ්පාදනය ඇරඹී ඇත්තේ 6 වැනි සියවසේ දී ලිඩියාවෙන්. ඔවුන් කාසි නිපදවීම සඳහා යොදාගෙන ඇත්තේ ඉලෙක්ට්‍රම් (ස්වභාවික ව රන් සහ රිදී මුසු වීමෙන් නිර්මාණය වූ මිශ්‍ර ලෝහයක්) හෙවත් කනකරජත යි. පසුකාලීන ව ක්‍රි. පූ. 600 දී පමණ ග්‍රීසියේ ඊජීනා නුවර වැසියන් රිදී කාසි නිපදවීම අරඹා ඇති අතර නාවික වෙළඳාමේ ප්‍රමුඛයන් වූ ඔවුන්, ඊජීනා නුවර සමෘද්ධිමත් බව පෙන්නුම් කරන සලකුණක් ලෙස භාවිතා වූ කැස්බෑවාගේ හැඩරුවෙන් යුතු රිදී කාසි නිපදවා තිබෙනවා. ඒ අනුව යමින් ඇතන්ස් නුවර වැසියන් ද රිදී කාසි නිපදවීමට යොමු වී ඇති අතර, ග්‍රීක හමුදාව වෙනුවෙන් සටන් කළ කුලියට ගත් සොල්දාදුවන් සඳහා ගෙවීම් කර ඇත්තේ රිදී කාසි යොදාගෙන යි. කෙටි කලෙකින් ලොව වටා රිදී කාසි ප්‍රචලිත වන්නට ඇත්තේ ඔවුන් හරහා බව යි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ.

කවරයේ පින්තූරය : © Leopard Antiques

Related Articles