Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සරලව (පළමු කොටස)

ලංකාවේ බලශක්ති අර්බුදයක් ඇති බවත් ඒ සඳහා පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක්  බවත් සෑම විටකම මාධ්‍ය මගින් මෙන්ම, දේශපාලකයන් දසංවාදයට ලක් කරනු ලබන මාතෘකාවකි.

නිවැරදි ලෙස මෙම අර්බුදය කුමක්ද යන්න පැහැදිලි කර ඇති සිංහල ලිපි වල අඩුවක් ඇති අතර මේ පිලිබඳ නිවැරදි දැක්මක් සාමාන්‍ය ජනසමාජය තුල නොමැති බවක්ද දක්නට ලැබේ. මෙම ලිපිය එය ඌනපූර්න කිරීමත් මේ විෂය පිළිබඳව නිවැරදි දැක්මක් ලබාදීමටත් ගන්නා උත්සාහයක පළමු කොටසයි. (බලශක්තිය සහ විදුලිය සම්බන්ධයෙන් ඇති සිංහල පාරිභාෂික ශබ්ද මාලාවේ අඩු පාඩු හැකිතාක් දුරට මග හරවා පාඨකයාට නිවැරදි අදහස ලබාදීමට සෑම උත්සාහයක්ම ගත් අතර වරහන් තුල සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන ඉංග්‍රීසි වචන තේරුම් ගැනීමේ පහසුව සඳහා යොදා ඇත.)

බලශක්තිය (power) සහ ශක්තිය (energy) අතර වෙනස

සරලව පැවසුවහොත් ශක්තිය යනු අපට කාර්යයක් කරගැනීමට හෝ කරවාගැනීමට ඇති හැකියාවයි. බලශක්තිය යනු එම කාර්යය කරවා ගැනීමේ සිඝ්‍රතාවයයි. ශක්තිය ජුල් (Joule) හෝ කැලරි (calorie) වලින් මනින විට බලශක්තිය මනිනු ලබන්නේ ඒකක කාලයකදී කරන කාර්ය ප්‍රමාණය – තත්පරයකට ජුල් හෙවත් වොට් (Watt) මගිනි. සරලම උදාහරණය වන්නේ ආහාරයක ඇති ශක්ති ප්‍රමාණය කැලරි වලින් දැක්වීමය.

විදුලි බිලක් (Sunday Times)

නිවසක විදුලි බිලේ යුනිට් එකක් ලෙසින් අදහස් කරනුයේ කිලෝවොට්පැය (killowatt Hour ) එකක් හෙවත් ජුල් මිලියන 3.6 ක ශක්ති ප්‍රමාණයකි.

CFL විදුලි බුබුලක් (alibaba .com )

මීට සමාන්තරව විදුලි බුබුලක් වොට් 10 (10 Watt) ලෙස සඳහන් කිරීමෙන් අදහස් වනුයේ එම විදුලි බුබුල තත්පරයකදී ජුල් 10 ක ශක්තිය පරිභෝජනය (නොඑසේ නම් ආලෝකය ශක්තියට පරිවර්තනය) කරන බවකි.

බලශක්තිය??

ඛනිජ තෙල් ප්‍රවාහනය. (laugfspetroleum.lk/)

බලශක්තිය යන්න ඇසු විගසින් ලාංකිකයන්ගේ  මතකයට එන්නේ – විදුලිය, ගෑස්, පෙට්‍රෝල්, ඩිසල්, භූමි-තෙල්, ගෑස්, ගල් අඟුරු වැනි දේවල්ය. මේවන් විදුලිය හැරුණු විට අනෙක්වා ලංකාවේ ඇති දේශීය ශක්ති ප්‍රභව (Energy sources) නොවුනත් මේවා පමණක් අප සිහියට ඒමට හේතුව  වන්නේ එදිනෙදා වෙළඳ පොලේ ආර්ථික වටිනාකමක් ඇතුව හුවමාරු වන බලශක්ති ප්‍රභව මේවා වීමයි. හොඳම උදාහරණය වන්නේ විදුලි බිල, පෙට්‍රල් බිල හා ගෑස් මිල ආදී වශයෙන් අපගේ පසුම්බියෙන් මුදල් වැය කරනුයේ මෙම ශක්ති ප්‍රභේද සඳහා වීමය.

අනෙකුත් දේශීය ශක්ති ප්‍රභව තිබුනත් ඒවාට අප ආර්ථික වටිනාකමක් එදිනෙදා වැඩකටයුතු වලදී ආදේශ නොකරන බැවින් ඒවා අප වටා තිබෙන බව බොහෝ විට අපට නොහැඟී යයි(උ.දා  – සුර්ය ශක්තියෙන් ඇඳුම් වේලා ගැනීම)

දේශීය ශක්ති ප්‍රභව

ලංකාවේ ඇති දේශීය බලශක්ති ප්‍රභව වලින් අප භාවිතයට සුලබ ලෙස ලබාගනුයේ,

  • දැව (දර)
  • සූර්ය බලය
  • සුළඟ
  • ජල විභවය (ජල විදුලිය )

මන්නාරමේ සුලන් විදුලි බලාගාරයක් Wind power plantලංකාවේ දේශීය ශක්ති ප්‍රභව ඇති නමුත් මේවා සඳහා අප සෘජුව මුදලක් නොගෙවන බැවින් (විදුලිය හැරෙන්නට) මේවා අප රටේ තිබෙන බව අපට එදිනෙදා ජීවිතයේදී මේවා පවතින බව අපට හැගී නොයයි. උදාහරණයක් ලෙස දර බොහෝ විට නොමිලේ එකතු කරගන්නා අතර අනෙක් ඉහත සඳහන් ප්‍රභව සඳහා අප මිලක් ගෙවනුයේ වක්‍රාකාර ලෙස  ‘විදුලි බිල’ නමැති පොදු නාමිකයෙනි (ජල විදුලිය, සුර්ය, සුළඟ, ඛනිජ තෙල් හෝ ගල් අඟුරු  ශක්තියෙන් සැදු විදුලිය ආදී වශයෙන්)

විදුලිය

බලශක්තිය සමග නිරතුරුවම කියවෙන නොකියා බැරි වචනයකි විදුලිය. අප පැහැදිලිව තේරුම් ගතයුතු කරුණක් වන්නේ විදුලිය යනු දැව, සුර්ය බලය, සුළඟ , ගල් අඟුරු, බොර තෙල්  වැනි ස්වාභාවිකවම පවතින ප්‍රාථමික ශක්ති ප්‍රභවයක් නොවන අතර එම ප්‍රාථමික ශක්ති ප්‍රභව උපයෝගී කරගෙන නිපදවන ද්වීත්යික ශක්ති ප්‍රභවයක් (secondary energy form ) පමණක් බවයි..

House electricity (wisegeek.com )

Power plant (newsfirst.lk)

මෙය සරල උදාහරණයකින් පැහැදිලි කළහොත් විදුලි බලාගාරයකදී ප්‍රාථමික ශක්ති ප්‍රභවයක් (ජලයේ විභව ශක්තියෙන්, ගල් අඟුරු/ඛනිජ තෙල් වල ශක්තියෙන්) උපයෝගී කොටගෙන විදුලිය නිපදවන අතර එම විදුලිය අප නිවසට පැමිණි විට අප එම විදුලිය භාවිතයට ගන්නේ නැවතත් ස්වභාවිකව පවතින ශක්ති ප්‍රභේදයක් බවට පරිවර්තනය කිරීමෙනි (බල්බයෙන් ආලෝක ශක්තිය, හීටරයෙන් තාප ශක්තිය ආදී වශයෙන්)

ලංකාවේ ශක්ති ප්‍රභව වල භාවිතයේ විකාශනය

ඔබෙන් කවුරු හෝ ඇසුවහොත් ලංකාවේ මිනිසුන් භාවිතා කරන විශාලම ශක්ති ප්‍රභවය කුමක්ද කියා බොහෝ දෙනෙකු පවසනු ඇත්තේ ඛනිජ තෙල්, ගල් අඟුරු වැනි පිළිතුරුය. නමුත් නිවැරදි පිළිතුර වන්නේ දැව (දර) ය.

පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන පසුගිය දශක හතරෙහි ලංකාවේ ශක්ති ප්‍රභව භාවිතයේ පරිණාමනය මේ සඳහා සාක්ෂි දරනු ඇත.

ඉහත ප්‍රස්ථාරයෙන් දක්වා ඇති පරිදි,

  • දර වලින් ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපයනු ලැබේ. සියලුම ඛනිජ තෙල් වර්ගවල (පෙට්‍රල්, ඩිසල් හා භූමිතෙල්) හා ගල් අඟුරු ද එකතු කල විට ලැබෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රමාණයක බලශක්ති අවශ්‍යතාවයක් දර මගින් ලබාදෙන අතර 2014 වර්ෂයේ ශ්‍රී ලාංකිකයන්ගේ ශක්ති අවශ්‍යතාවයෙන් 42.5% ප්‍රතිශතයක් සපයා ඇත්තේ දැව (biomass) මගිනි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ 78% අප රටේ නිවෙස් වල ආහාර පිසීම සඳහා යොදාගන්නා ශක්ති ප්‍රභවය වන්නේ දර වීමය.
  • මෙම ප්‍රස්ථාරය නිරීක්ෂණ කරන විට දැකිය හැකි අනෙක් වැදගත් කරුණ වන්නේ පසුගිය දශක හතර පුරා වැඩි වන බලශක්ති ඉල්ලුම පිරිමසින ලද්දේ ආනයනය කරන ඛනිජ තෙල් මගින් වීමයි. මෙහි ඇති භයානක කම වන්නේ අප ද්‍රවමය ඛනිජ තෙල් උගුලක (Liquid Petroleum Trap) රටක් ලෙසින් සිරවීමට යන ගමනයි. ඉහත ප්‍රස්ථාරය එය මැනවින් පෙන්නුම් කරයි.

ලංකාවේ විදුලි බලශක්ති අර්බුදය හා සබැඳි ගල් අඟුරු බලාගාර ප්‍රශ්නය පිලිබඳ සරල පැහැදිලි කිරීමක් මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න.

කවරයේ පින්තුරය: powermin.gov.lk

Related Articles