ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් (දෙවන කොටස)

මෙහි පළමු ලිපියෙන් බලශක්තිය සහ ශක්තිය වැනි මූලික සංකල්පද ලංකාවේ අප භාවිතා කරන ශක්ති ප්‍රභේදයන් සහ ඒවගේ ඉතිහාස ගත විකාශනය පිළිබඳව සාකච්ඡා කෙරුවෙමු. මෙම දෙවන කොටසින් මිනිසාගේ බලශක්ති භාවිතය මානව පරිණාමයේ සිට වෙනස් වූ ආකාරය සහිත ඉතිහාසය මඳක් විමසා බලමු. මෙය මිනිසා සහ බලශක්තිය අතර ඇති සමීප සම්බන්ධතාවය මනාව තේරුම් ගැනීමට ඔබට උදව් වේවි.

බලශක්ති භාවිතයේ ඉතිහාසය

අප කුමන ආකාරයක බලශක්තියක් භාවිතා කළත් එය පෘථිවියට ලැබී ඇත්තේ සූර්යාගෙනි (න්‍යෂ්ටික ශක්තිය හැර – එය පෘථිවිය ආරම්භයේදීම තිබුණා  යැයි සැලකේ). ඉතින් මිනිසා පරිණාමයත් සමග සූර්යයාගේ ශක්තිය රැස්වී ඇති බලශක්ති මූලාශ්‍ර භාවිතා කරන ආකාර අලුතෙන් සොයා ගැනීමටත් පවතින ක්‍රමවේද වෙනස් කිරීමටත් යොමු වුණා.

මිනිසා ඉතා ඈත අතීතයේ සිටම ශක්ති ප්‍රභව වල වැදගත්කම හොඳින් තේරුම් ගෙන බලශක්ති භාවිතය සඳහා පුරුදු වී සිටියා. සූර්යාගෙන් ලැබෙන ශක්තිය නොයෙක් ආකාර වලින් උකහා ගැනීමටත් (සූර්ය ශක්තිය, සුළං ශක්තිය, දැව වල තාප ශක්තිය), කාලයක් තිස්සේ නොයෙකුත් ආකාරයෙන් පෘථිවියේ ගබඩා වී ඇති මෙම සූර්ය ශක්තිය (උදා – පොසිල ඉන්ධන) පිළිබඳ ගවේෂණය කිරීමටත් එම ශක්ති ප්‍රභවයන් තම අභිමතය පරිදි හසුරුවා ගැනීමට තිබු උනන්දුව සහ කුතුහලයත් ඒ සඳහා එකිනෙකා අතර තිබු තරගයත් මානව ශිෂ්ටාචාරයේ ගමන් මාර්ගය වෙනස් කළ ආකාරයත් වෙනස් කරමින් පවතින ආකාරයත් පුදුම උපදවන සුළුයි.

මානව පරිණාමයේ  මුල් අවධියේ සිටම තම ශරීරයට අවශ්‍ය දෛනික ශක්ති අවශ්‍යතාවය ආහාර මගින් ලබාගැනීමට පුරුදු වී සිටි මිනිසා ශාකමය ආහාර සොයා යෑමටත් සතුන් සොයාගොස් දඩයම් කිරීමටත් පුරුදු වී සිටියා.

Picture courtesy – http://www.mrstpierre.com

මුලින් ආහාර (ශක්තිය) සොයා තැනින් තැනට යෑමට පුරුදු වී සිටියත් කල් යත්ම වගා කිරීමටත් සතුන් පාලනය පටන් ගැනීමත් ශක්තිය අතින් සුරක්ෂිතභාවයට පත් වීමට යොමු වීමේ වැදගත් පියවරක්. එසේම දැව ඉන්ධනයක් ලෙස භාවිත කොට ආහාර පිසීමටත්  ශරීරය උණුසුම්ව තබා ගැනීමටත් මිනිසා ක්‍රමයෙන් ඉගෙන ගත්තා .

Picture courtesy – http://www.mrstpierre.com

තවත් කාලයක් යන විට මිනිසා සතුන් ද වහලුන් ලෙස අනික් මිනිසුන්ද ශක්ති ප්‍රභව ලෙස එදිනෙදා කටයුතු සඳහා භාවිතා කිරීමට පුරුදු වුණා. බලයෙන් බුද්ධියෙන් වැඩි මිනිසුන් අනෙක් මිනිසුන්ව ශක්ති ප්‍රභව ලෙස (වහලුන්) ලෙස භාවිතා කරන්නටත් වැඩි වැඩියෙන් ශක්ති ප්‍රභවයන් තමන් සතු කරගෙන තමාගේත් තම ගෝත්‍රයෙත් පැවැත්ම ආරක්ෂා කරගැනීමට මිනිසා එදා සිටම ප්‍රයත්න දරුවා.

වහල් ගොවියන් සහ ශ්‍රමිකයන් දැක්වෙන සිතුවමක් (http://atlantablackstar.com)

අද ලෝකයේ ඉන්ධන වෙළඳාම මෙන් පුරාණ  ලෝකයේ එම අවශ්‍යතාවය සැපිරීමට වහලුන් සහ සත්ත්ව වෙළදාම දියුණු යැයි සැලකුණු සෑම ශිෂ්ටාචාරයකම පාහේ තිබුණා. මිනිසුන් දියුණු ශිෂ්ටාචාර ලෙස පරිවර්තනය වීමට බලශක්තිය ලෙස ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ වහල් ශ්‍රමයෙන් ලබාගත් ශක්තියයි. වහල් ශ්‍රමය නීතිවිරෝධී කොට තවම සියවස් දෙකක්වත් ගත නොවුණත් මිනිසා වහල් ශ්‍රමයෙන් අවුරුදු දහස් ගණනක් තම කටයුතු කර ගත්තා.

අද දින ඔබ නිවසට ජලය කරාමයක් විවෘත කළ විට ජලය ලැබෙන්නේ බලශක්තියේ (විදුලිය) ආධාරයෙනි. අතීතයේ මේ සඳහා වහල් ශ්‍රමය ලබාගත් ආකාරය සංසන්දනය කිරීමෙන් ඔබට මෙම පරිණාමය ගැන හොඳ වැටහීමක් ලබාගැනීමට හැකි වෙනවා ඇත.

මානව ඉතිහාසයේ අනෙක් මිනිසුන්ව වහලුන් ලෙස භාවිතා කිරීම නතර කිරීමත් සතුන්ව බලශක්ති අවශ්‍යතා සඳහා යොදාගැනීම සීමා වීමත් සමග ස්වභාවයේ ඇති ශක්ති ප්‍රභවයන් වැඩි වැඩියෙන් භාවිතා කිරීම ඇරඹුණා. ප්‍රාථමික බලශක්ති ප්‍රභවයන් ලෙස මිනිසුන් සහ සතුන් භාවිතා කිරීම නතර කිරීම හෝ සීමා කිරීම මිනිසා මනසින් දියුණුවීමත් කාර්මික වශයෙන් දියුණු වීමත්  සමග ඉක්මන් වුණා.

කාර්මික විප්ලවය සහ බලශක්තිය

1820 – 1840 දක්වා කාල පරිච්ඡේදයේ සිදුවූ කාර්මික විප්ලවය වෙන තෙක් මිනිසා ප්‍රධාන වශයෙන් භාවිතා කිරීමට පුරුදු වී සිටියේ ප්‍රභාසංශ්ලේෂණය ආශ්‍රයෙන් සූර්ය ශක්තිය තම කාර්යයන් සඳහා උකහා ගැනීමටයි. කාර්මික විප්ලවයත් සමග මිනිසා පොසිල ඉන්ධන (මේවාත් කාලයක් තිස්සේ හිරුගේ ශක්තිය පෘථිවියේ ගබඩා වී ඇති ක්‍රමයකි) භාවිතයට යන්ත්‍ර සූත්‍ර මගින් යොමු වීම නිසා තමාට අවශ්‍ය බලශක්තිය තමාට අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වෙලාවේදී ලබාගැනීමට හැකි වුණා .

උදා: දර සොයාගෙන වේලා ගෙන භාවිතා කිරීම වෙනුවට ඛනිජ තෙල් හෝ ගල් අඟුරු මගින් වැඩි ජවයක් කුඩා ඉන්ධන ප්‍රමාණයකින් නිසි පාලනයකින් ලබා ගැනීම.

(Graph courtesy – http://voxeu.org/article/industrial-revolution-energy-revolution)

ඉහත ප්‍රස්ථාරයේ දැක්වෙන බ්‍රිතාන්‍යයේ ඒක පුද්ගල ශක්ති පරිභෝජනය වෙනස්වීම මෙයට කදිම උදාහරණයක්. 1700 වර්ෂ වලදී පටන් ගත් කාර්මික විප්ලවයට අදාල ක්‍රියාදාමත් සමග කාර්මික විප්ලවයේ උච්ඡතම අවස්ථාවත් සමග එක් වරම ශක්ති පරිභෝජනයේ නැගීම ඉහත දැක්වූ කරුණ සනාථ කරන්නක්.

කාර්මික විප්ලවයත් සමගම පැමිණි ජේම්ස් වොට් විසින් සොයාගත් කාර්යක්ෂමතාවෙන් වැඩි හුමාල යන්ත්‍රය (steam engine ) මෙම කාර්මික විප්ලවයත් සමග පැමිණි බලශක්ති විප්ලවය ත්වරණයකට ලක් කළා. වැඩි ජවයකින් යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කිරීමටත් ගොඩබිමේත් මුහුදේත් ප්‍රවාහනය ඉක්මනින් හා කාර්යක්ෂමව කරගැනීමට මෙය පිටුවහලක් වුණා.

අතීතයේ යුද්ධ කරමින් වහලුන් වැඩි කරගත් බලවත් ජාතීන් මෙයට පසු යුද්ධ කරමින් ඛනිජ තෙල් නිධි වල අධිකාරිත්වය සහ පාලනය ලබාගැනීමට උත්සාහ කිරීම ලෝක ඉතිහාසය නවතම මාවතකට ගෙන ගියා. සෑම රාජ්‍යයක්ම බලශක්තිය අතින් සුරක්ෂිත වීමටත් නව බලශක්ති භාවිතා කරන ආකාර සොයා යෑමේත් වැදගත්කම අවබෝධ කරගෙන ඒ සඳහා නොනිමි ප්‍රයත්නයක් යොදනවා.

කවරයේ පින්තුරය: Ghana Star

Related Articles