Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවිවරුන් ඊජිප්තුව මැවීමේ කතාව – 2 කොටස

මහ දෙවි රා බිහිවීමේ සිට ඔහු විසින් ලෝකය මැවීමත්, ආකාශයේ දෙවඟන මත ශාපයක් පිහි‍ටුවීම ගැනත් තෙක් කතාව අප මීට පෙර ලිපියකින් ඔබ වෙත ඉදිරිපත් කළා. ඥානයේ දෙවියන් විසින් ඈ මතින් ශාපය ඉවත් කිරීමේ සිට ඊජිප්තුවේ පළමු ෆේරෝ පහළවීම දක්වා කතාව මේ ලිපියෙන් කියැවෙනවා.

‘රා’ගේ ශාපය නිසා නුට්ගේ දරුවන් කිසිම වසරකට අයත්, කිසිම මසක, කිසිම දිනයක දී බිහිවිය නොහැකියි. එමෙන්ම මහ දෙවි රාගේ වචනය නීතිය වුණා. ඔහුව ‍රැවටීම කිසිසේත් කළ නොහැක්කක්. එනිසා මෙය විසඳීම පිළිබඳව සිත යෙදූ ‘තොත්’ එකල හිරු දෙවි හා තරගයට ආලෝකය විහිදවූ සඳ දෙවි ‘ඛොන්සු’ට සූදු ක්‍රීඩාවකට අභියෝග කළා. වසරේ එක් දිනකට තම ආලෝකයෙන් දාහතෙන් පංගුවක් බැගින් ඔට්‍ටු ඇල්ලීමට ඔහුව පොළඹවාගත් තොත්, පහසුවෙන්ම ඔහු ක්‍රීඩාවෙන් පරදවා ඔට්‍ටු ඇල්ලූ ආලෝකය දිනාගැනීමට සමත්වුණා. මෙම දිනාගත් ආලෝකය අලුතෙන් දින 5ක් නිර්මාණය කිරීමට තරම් ප්‍රමාණවත් වුණා. එම දින පහ එකල දින 360ක් වූ වසරේ අගට එක්කොට, දින 365ක් බවට පත්කරනු ලැබුවා. අදටත් වසරේ යම් යම් දිනයන් වලදී සඳේ ආලෝකය නැතිව ගොස් අඳුරුව තිබෙන්නේ ඛොන්සු විසින් එම ආලෝකය තොත් සමඟ ඔට්‍ටු ඇල්ලූ නිසාලු.

ඔසයිරිස් (Experience Ancient Egypt)

නුට් මත පිහිටවූ රාගේ ශාපය වූයේ කිසිම වසරක, කිසිම දිනෙක ඈ විසින් උත්පත්තිය ලබා නොදිය යුතු බවයි. නමුත් තොත් විසින් නිර්මාණය කළ නව දිනයන් 5 කිසිම වසරකට හෝ මසකට අයත් නොවූ නිසා, නුට්ගේ දරුවන් බිහිකිරීමට උචිත වුණා. පළමු දිනයේ ඈ මරණයේ, මරණින් මතු ජීවිතයේ, සහ මරණයෙන් නැගිටීමේ දෙවි “ඔසයිරිස්” බිහිකළා. දෙවනි දිනයේ බිහිවුණේ දකුණු ඇස ඉරත්, වම් ඇස සඳත් වූ ඒ මහා දෙවි “හෝරස්”.  තෙවනි දිනයේ යුද්ධයේ සහ අන්ධකාරයේ දෙවි “සෙට්” ද, සිව්වන දිනයේ දී ආලයේ, මායාවේ, සහ ප්‍රඥාවේ දෙවඟන වූ “අයිසිස්” ද බිහිවුණා. ඔසයිරිස් විසින් අයිසිස් තම බිරිය බවට පත්කරගත්තා. පස්වන දිනයේදී බිහිවුණේ අයිසිස්ගේ සොයුරිය “නෙෆ්තිස්”. සෙට් විසින් ඈ තම බිරිඳ බවට පත්කර ගත්තා. අන්ධකාරයේ දෙවියා සමඟ විවාහ වුවත් නෙෆ්තිස්ගේ විශ්වාසවන්තබව ‍රැඳී තිබුණේ අයිසිස් සමඟයි.

අයිසිස් (Pinterest)

ඔය ආකාරයෙන් ඒ ප්‍රභාවත් දෙවිඳුන් පස්දෙනා බිහිවීම නිසා “අනු” නම් දෙව්ලොවේ වාසය කළ මහ දෙවිවරුන්ගේ ගණන නවයක් දක්වා ඉහළ නැගුණා. මහ දෙවි රා, ෂු, ටෙෆ්නුට්, ගෙබ්, නුට්, ඔසයිරිස්, අයිසිස්, සෙට්, නෙෆ්තිස් වන මේ නවදෙනා “එනියඩ්” නමින් හැඳින්වුණා. මහා නවය සම්පූර්ණ වීමෙන් පසු ‘රා’ විසින් තවත් බොහොමයක් දෙවිවරු නිර්මාණය කර ඔවුන්ගෙන් ආකාශය පුරවා දැමුවා. අන්ධකාර පාතාලය පිරවීමට යක්ෂයින් සහ පහත් දෙවිවරුන් නිර්මාණය කළා.

එනියඩ්, එනම් මහ දෙවිවරුන් නවදෙනා (maat.sofiatopia.org)

අවසානයේ දී නිර්මාණය කරනු ලැබුවේ මිනිසා සහ පෘථිවිය මත වූ අනෙකුත් ජීවීනුයි. මහ බලධාරී “ඛ්නෙමු” ඔහුගේ කුඹල්සක මත මැටියෙන් සහ ජලයෙන් මිනිසා සහ අනෙකුත් සතුන් නිර්මාණය කළායින් අනතුරුව රා විසින් ඒවාට ජීවය පිම්බා. මිනිසුන්ට ජීවත් වීමට බිමක් අවැසියි. ඉතින් ඔවුන් වෙනුවෙන් “ඛෙමෙට්” රාජධානිය, එනම් ඊජිතුව නිර්මාණය කෙරුණා. රා විසින් ඊජිප්තුව වටා කාන්තාර නිර්මාණය කර එහි ආරක්ෂාව තහවුරු කළා. ඉන්පසු ඔහු විසින් නයිල් නදිය නිර්මාණය කළේ එය පිටාර යෑමෙන් ඊජිප්තුවේ කෙත් සරුසාර වීමටයි. මේ සියල්ල නිර්මාණය කළ රා විසින් අවසානයේ ඊජිප්තුවේ පාලනය ඔසයිරිස්ට පවරා පෙරලා “අනු” වෙත පිටත්වුණා. ඊජිප්තුවේ පළමු ෆේරෝ බවට පත්වුණේ ඒ මහා දෙවි ඔසයිරිසුයි.

සෙට් (The Cloaked Hedgehog – WordPress.com)

ඔසයිරිස් ඊජිප්තුවේ සිට තම බිරිය වන අයිසිස් ගේ ද සහාය ඇතිව මුළු මහත් ලෝකයම ඉතාමත් සාර්ථකව සහ කාර්යක්ෂමව පාලනය කළා. නමුත් සියළු දේ සන්සුන්ව සිදුවෙමින් පැවති මේ අවධියේ මහත් නපුරක් ක්‍රියාත්මක වෙමින් පැවතුනා. ඔසයිරිස්ගේ සොහොයුරු වන අන්ධකාරයේ දෙවි සෙට්ගේ සිතෙහි ඔසයිරිස් ගැන ඊර්ෂ්‍යාවක් ඇතිව තිබුණා. ඔසයිරිස් මිහිමතින් නෙරපා හැරිය යුතුයි. එනිසා ඔහු විසින් ඔසයිරිස්ගේ සිරුරේ ප්‍රමාණයටම ගැලපෙන ලෙස රනින් රිදියෙන් පෙට්ටියක් නිර්මාණය කළා. ඉන්පසු ඔහු විසින් සිදුකළේ උත්කර්ශවත් භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඔසයිරිස්ටත් තවත් හැත්තෑ දෙදෙනෙකුටත් ආරාධනා කිරීමයි. උත්සවය අවසානයේ දී ඔහු විසින් නිවේදනය කළේ ඔහු විසින් නිර්මාණය කරන ලද ඉතාම අලංකාරවත් මෙම පෙට්ටිය, එහි ප්‍රමාණයට වඩාත්ම ගැලපෙන සිරුර ඇති තැනැත්තාට තෑගි කරනු ලබන බවයි. ඒ අනුව පැමිණ සිටි පිරිස් අතර සිටි ඔසයිරිස් ද පෙට්ටියට බැස තමාගේ සිරුර එහි බහාලිය හැකිදැයි පරීක්ෂා කරන අතරේ සෙට් විසින් එහි පියන වසා ඇණ ගසා, ඔසයිරිස් ද සමඟම එය නයිල් ගඟට විසිකරනු ලැබුවා.

ඔසයිරිස්, අයිසිස්, සහ නෙෆ්තිස් (AncientShare)

තමාගේ සැමියාව මරාදමනු ලැබූ බවට අයිසිස්ට දැනුම් දෙනු ලැබූවත් ඈ විසින් එය විශ්වාස කළේ නෑ. නයිල් නදිය දිගේ පහතට ගිය ඇයට බැබිලෝස් හි ගසක කඳක් තුළ සිරව තිබූ මිනී පෙට්ටිය සොයාගැනීමට හැකිවුණා. ඔසයිරිස්ගේ සිරුර නැවත ඊජිප්තුවට ‍රැගෙන ආ ඇය ඔසයිරිස්ට නැවත ප්‍රාණය ලබාදීමට අවශ්‍ය ඖෂධ සොයා ඒමට ගියේ ඔහුගේ සිරුර සඟවා එහි ආරක්ෂාවට සෙට් ගේ බිරිඳ ද තම සොයුරිය ද වන නෙෆ්තිස් රඳවා තබමිනුයි. මේ අතරේ අයිසිස් විසින් ඔසයිරිස්ගේ සිරුර සොයාගෙන එයට පණ දෙනු ඇතැයි බියෙන් පසු වූ සෙට් විසින් ඒ පිළිබඳව නෙෆ්තිස්ගෙන් ප්‍රශ්න කරනු ලබනවා. ඈ පිළිතුරු දෙන ආකාරයෙන්ම ඈ ඒ පිළිබඳව යමක් දන්නා බවට අවබෝධ කරගන්නා ඔහු, ඇය මාර්ගයෙන් ඔසයිරිස්ගේ සිරුර සොයාගෙන එය කොටස් 14කට කඩා මුළු ඊජිප්තු භූමිය පුරාම විසුරුවා හරිනවා. අයිසිස්ට දැන් ඔසයිරිස්ට පණ දෙනු බැහැ.

ඔසයිරිස්ගේ සිරුරු කොටස් එක් කරනා අයිසිස් සහ නෙෆ්තිස් (Scott Nevins Memorial – WordPress.com)

ඖෂධ සොයාගෙන නැවත පැමිණෙන අයිසිස්ට සිදුව ඇත්තේ කුමක්දැයි පැහැදිලියි. ඔසයිරිස්ගේ සිරුර තමන්ට ආරක්ෂා කරගැනීමට නොහැකි වූ පසුතැවිල්ලෙන් කම්පාවට පත්ව සිටි නෙෆ්තිස්ගේ උදව්වෙන් ඈ කරන්නේ තම සැමියාගේ සිරුරේ කොටස් සොයා මුළු ඊජිප්තුව පුරාම සැරිසැරීමයි. කෙසේ නමුත් ඔවුන්ට සොයාගැනීමට ලැබෙන්නේ ඔසයිරිස්ගේ සිරුරෙන් කොටස් 13ක් පමණයි. ඔහුගේ පුරුෂ ලිංගය ඇතුලත් සිරුරු කොටස සොයාගැනීමට ලැබෙන්නේ නැහැ. ඉතින් ඔසයිරිස්ගේ සිරුර සම්පූර්ණ කිරීම සඳහා අයිසිස් විසින් රනින් පුරුෂ ලිංගයක් නිර්මාණය කරනවා. කොටස් 14ම එලෙස සම්පූර්ණ වූ පසු ඇගේ පියාගෙන් ඈ උගත් මන්ත්‍රයක් භාවිතයෙන් ඔසයිරිස්ගේ සිරුරට තාවකාලිකව පණ දෙන ඇය ඔහු හා සංසර්ගයේ යෙදී ගැබ් ගන්නවා. එයින් බිහිවන පුත්‍රයාට “හෝරස්” යැයි නම් තබනු ලබනවා. ඔසයිරිස්ගේ සිරුර වළලා දැමුවත්, ඔහු හා අයිසිස් පිළිබඳව ගෞරවයෙන් සිටි අන් දෙවිවරුන් විසින් ඔසයිරිස්ව මරණයෙන් උපදවා ඔහුව මරණයෙන් මතු දිවියට අධිපති දෙවිඳු ලෙස අභිෂේක කරනු ලබනවා.

ඔසයිරිස්ගේ පුත් හෝරස් (Youtube)

සෙට්ගේ ආපදාවන්ට බියෙන් හෝරස් ව කුඩා කල සිටම සඟවා තබා පෝෂණය කළත්, වයසින් වැඩුණු පසු තම මාමන්ඩියට අභියෝග කරන ඔහු තම පියා වන ඔසයිරිස් විසින් පාලනය කළ රාජධානිය තමා විසින් දිනාගැනීමට අදහස් කරනවා. වසර 80ක් තිස්සේ සෙට් සමඟ යුද්ධ කිරීමෙන් අනතුරුව ඔහුව පරාජය කරන හෝරස්, ශුෂ්ක කාන්තාර බිම් වලට ඔහුව පි‍ටුවහල් කර දමනු ලබනවා. අවසන තම මව අයිසිස්ගේ සහ නෙෆ්තිස්ගේ සහාය ඇතිව උඩ පහත ඊජිප්තුවටත්, ලෝකයටත් නැවතත් සන්සුන්භාවය ගෙන ඒමට ඔහු සමත්වෙනවා.

ඊජිප්තු දෙවිවරුන්ගේ බොහොමයක් කතා අතුරින් එක් කතාවක් පමණයි මේ. මෙම කතාවේත් එකිනෙකට වෙනස් අනුවාදයන් ඔබ අසා ඇති. ඔබේ කැමැත්ත අනුව ඉදිරියට දේව කතා නොව ඊජිප්තු රජවරුන්ගේ කතා ගෙන ඒමට අදහසක් අපට තිබෙනවා. ඔබේ කැමැත්ත අකමැත්ත පහතින් සඳහන් කළහොත් එය අපට උපකාරයක් වනු ඇති.

මූලාශ්‍ර:

  1. theologywebsite.com
  2. Ancient.eu

කවරයේ පින්තූරය: Astromic’s Backyard

Related Articles