Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කඳුළින් සමුගත් ජෝර්ජ් ස්ටිනී

ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්තමානය වන විටත් වඩාත් ම බහුලව භාවිතා වන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ක්‍රමයක් වන්නේ විදුලි පුටුවෙහි හිඳුවීමයි. මේ මඟින් දිවි තොර කරන ලද සියලු දෙනාම වැරදි කරුවන් යැයි යමෙකුට එක එල්ලේ ම පැවසිය නොහැකියි. යුක්තිය පසිඳලීමේ යම් යම් දුර්වලතා මත මෙලෙස ජීවිතයෙන් වන්දි ගෙවූ සමහරු ඇත්තෙන්ම නිවැරදිකරුවන් දැයි කුකුසක් අද වන විටත් පවතිනවා.

අනෙක් අතට ඇමෙරිකා එක්සත් ජනපදයෙහි කළු සම ඇති පුද්ගලයින්ට සර්ව සාධාරණව අතීතය පුරා නීතිය ක්‍රියාත්මක වූවා යැයි කිසිවෙකුට පැවසීමට නොහැකියි. එතෙක් මෙතෙක් විදුලි පුටුවක හිඳුවා මරණයට පත් කරන ලද ළාබාලතමයා වන ජෝර්ජ් ස්ටිනී නම් 14 වියැති තරුණ දරුවා සුදු ජාතිකයෙකු වූවා නම් ඔහුගේ ඉරණම මීට වඩා වෙනස් ආකාරයකට විසඳෙන්නටත් ඉඩ තිබුණා. මේ ඔහුගේ කඳුළු කතාවයි.

ජෝර්ජ් ස්ටිනී- South Carolina Department of Archives and History

සිද්ධිය සැකෙවින්

ක්‍රි.ව 1944 මාර්තු මාසයේ දිනයක ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනාවේ පිහිටි සිය නිවසේ 14 වියැති ජෝර්ජ් ස්ටිනී සිය වැඩිමල් සොහොයුරා හා බාල සොහොයුරිය සමඟින් ක්‍රීඩා කරමින් සිටියා. මෙදින ඔවුන්ගේ දෙමව්පියන් යම් කටයුත්තක් සඳහා බැහැර ගොස් සිටියා. එක්වරම මතු වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් කුඩා ජෝර්ජ් හා ඔහුගේ සොහොයුරා දෑතට විලංගු දමා රැගෙන ගියා. මුලදී දකුණු කැරෝලිනාවේ කළු ජාතිකයින්ට කුකුසක් ගෙන දුන් හා පසුව මුළු මහත් ඇමෙරිකාවේම ජීවත් වූ කළු ජාතිකයින් දොම්නස් සයුරේ ගිල්වීමට සමත් වූ සිද්ධියක ආරම්භය සනිටුහන් වුණේ මේ අයුරිනුයි.

ජෝර්ජ් හා ඔහුගේ සොහොයුරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ ඒ තදාසන්නව සිදුව තිබූ මිනීමැරුමකට සැක පිටයි. සුදු ජාතික කුඩා දැරිවියන් දෙදෙනෙක් ඉතා අමානුෂික ලෙස පහර දී ඝාතනය කොට දිය අගලකට දමා තිබූ අතර කරුණු කාරණා සොයා බැලීමේදී පොලිස් නිලධාරීන්ට ඔවුන් දෙදෙනා අවසන් වර ගම්මුන් විසින් දැක තිබුණේ ජෝර්ජ් ස්ටිනී හා ඔහුගේ බාල සොහොයුරිය සමඟ සිටියදී බැව් දැන ගන්නට ලැබුණා. මේ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ජෝර්ජ් අත්ඩංගුවට ගැනුණා. කෙසේ නමුත් ඔහුගේ වැඩිමල් සොයුරු ඉක්මනින්ම නිදහස් කෙරෙන්නේ ඔහුට විරුද්ධව සාක්ෂි නොමැති වූ නිසාවෙනුයි. කුඩා ජෝර්ජ්ට එම වාසනාව හිමි වී තිබුණේ නැහැ.

ජෝර්ජ් ස්ටිනී (මැද) හා ඝාතනය වූ දැරියන් දෙදෙනා -edition.cnn.com

ඇත්තෙන්ම පොලීසියට මේ සුදු ජාතික දැරියන් දෙදෙනා ඝාතනය වීම සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබුණේ නැහැ. කෙසේ නමුත් මියගිය දැරියන් සුදු ජාතිකයින් වීමත්, එම ප්‍රදේශයේ කළු ජාතිකයින් ගහණ වීමත් හේතු කොට ගෙන එවකට කළු ජාතිකයින් තලා පෙළා දැමීම ජයටම තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයේ සුදු ජනයාගෙන් එල්ල වූ බලපෑම හමුවේ පොලිසිය සිටියේ මහත් පීඩනයකයි. මෙයට සුළු හෝ සැකයක් තිබූ ජෝර්ජ් ස්ටිනී කළු ජාතිකයෙකු වූ නිසා ‘පහත් තැනින් යයි ගලා ජලේ’ කියන්නා සේ ඔවුන් විසින් ජෝර්ජ්ව අත්අඩංගුවට ගන්නේ ඔහුට එරෙහිව අධි චෝදනා ගොනු කරමින්.

පොලිස් භාරයට පත් වන විට දා හතර වියැති දරුවකු වූ ජෝර්ජ් ස්ටිනී මාස 4 ක් වැනි කෙටි කාලයක් තුළ හෙවත් 1944 වසරේ ජුනි මස 16 වැනිදා වන විට විදුලි පුටුවක හිඳුවා මරණයට පත් කිරීමට බලධාරීන් කටයුතු කරනවා. එය සිදු වී වසර 70 කටත් අධික කාලයක් ගත වී තිබුණත් ඔහුට චෝදනා ගොනු කළ ආකාරය, පාපොච්චාරණය ලබාගත් ආකාරය හා දඬුවම් කළ ආකාරය පිළිබඳව මැදිහත් අදහස් දරන බොහෝ දෙනා තුළ  ඇත්තේ පිළිකුල මුසු කලකිරීමක්.

ප්‍රශ්න කළ හා දඬුවම් තීන්දු කළ ආකාරය

පොලිස් අත්අඩංගුවට පත් ජෝර්ජ් ස්ටිනීගෙන් ප්‍රශ්න කිරීම් කොට තිබුණේ ඉතා කුඩා කාමරයක දමා, ඔහුගේ දෙමව්පියන්වත් නොමැතිවයි. ඝාතනයට ලක් වූ දැරිවියන්ගෙන් ස්ටිනී ලිංගික පහස ඉල්ලා ඇති බව ප්‍රකාශ වුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ ඝාතන සිදු වූ බව පොලිසිය විසින් ප්‍රකාශ කරන්නට යෙදුණා. කෙසේ නමුත් වෙහෙසට හා භීතියට පත්ව සිටි ස්ටිනීගෙන් පැය දෙකක ප්‍රශ්න කිරීමකින් අනතුරුව ‘ප්‍රකාශිත හා සොයාගත්’ කරුණු සලකා බැලූ ජූරි සභාව ඒකමතිකව ඔහු චෝදනා වලට වැරදිකරු බව ප්‍රකාශ කළා.  මේ අනුව ඔහුව විදුලි පුටුවෙහි හිඳුවීමට තීන්දු වුණු අතර ස්ටිනී වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණු රජයේ නීතීඥවරයා එය නැවත සලකා බලන්න යැයි යන ඉල්ලීමවත් කරන්නේ නැහැ.

ජෝර්ජ් ස්ටිනී අත් අඩංගුවටපත් වී-S.C. Department of Archives and History, via Associated Press

ස්ටිනීට මරණ දඬුවම පැනවීමට හේතුව ලෙස ස්ටිනී විසින් එම දැරියන් ඝාතනය කළ බවට කළ පාපොච්චාරණය බව පැවසුණත් පසු කාලීනව අනාවරණය වූ පරිදි භීතියට පත්ව සිටි ඔහු විසින් තමන් එය නොකළ බව ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම එම පාපොච්චාරණයේ කිසිදු ලිඛිත සාක්ෂියක් නැහැ. අනෙක් අතට සංත්‍රාසයට පත්ව සිටි ඔහුගෙන් බලහත්කාරයෙන් මෙන් පාපොච්චාරණය ලබාගෙන තිබෙන බැව් පසු කාලීනව හෙළි වුණා.

මරණ දඬුවම ක්‍රියාත්මක කල දුක්ඛිත ආකාරය

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරමින්-oldpicsarchive.com

දැරියන් මියගොස් දින් 84 ක් ගත වෙද්දීම ජෝර්ජ් ස්ටිනීට එරෙහි මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා. මේ වන විට අඩි 5ක් තරම් උස, රාත්තල් 100ක් පමණක් බරින් යුතු කෙසඟ සිරුරකකට හිමිකම් කියූ ස්ටිනීට විදුලි පුටුවේ තිබූ බොහෝ දේ ප්‍රමාණයෙන් විශාල වුණා. එහි වූ බඳ පටි ඔහුට විශාලත්වයෙන් වැඩි වූ අතර හිස් පළඳනාව කරා ළඟා වීමට පොත් කිහිපයක් මත වාඩි වීමට සිදු වුණා. හිස් පළඳනාව හිසේ රුවන විට ඔහුගේ දෙනෙත් වලින් කඳුළු කැට රූරා වැටුණා.

ජෝර්ජ් ස්ටිනී ගේ බාල සොහොයුරිය අද-Randall Hill/Reuters

ජෝර්ජ් ස්ටීනී පිළිබඳව මෑතක් වෙන තුරුම ඇමෙරිකානු ඉතිහාසයේ ලියැවී තිබුණේ මිනීමරුවකු ලෙසයි. කෙසේ නමුත් වර්තමානය වන විට මධ්‍යස්ථ මතධාරීන් ඔහු මිනීමරුවෙකු ලෙස තහවුරු කරන ලද ආකාරය සැකයට බඳුන් කරනවා. විශේෂයෙන්ම ඔහු වැරදිකරුවකු කරන ලද පාපොච්චාරණය ලබාගත් අවස්ථාවේදී 14 වියැති දරුවෙකු ලක් කර තිබූ මානසික හා ශාරීරික පීඩනය මත එහි සත්‍යතාව පිළිබඳ සැක සංකා මතු වී තිබෙනවා. අනෙක් අතින් බාල වයස්කරුවකු මේ ආකාරයෙන් මරණයට පත් කිරීම කිසිසේත්ම අනුමත කිරීමට නොහැකි බව ඔවුන් පවසනවා. කෙසේ නමුත් මේ කිසිවකින් ජෝර්ජ් ස්ටිනීට සිදුවූ අසාධාරණය වියැකී යන්නේ නැහැ. වර්තමානය වන විට ඔහුගේ සොහොයුරු සොහොයුරියන් ඔහුට සිදු වූ කැළල මකා ගැනීමට උත්සාහ දරමින් සිටිනවා.

කවරයේ පින්තූරය -ජෝර්ජ් ස්ටිනී ගැන තැනුණු වාර්තා වැඩසටහනකින්- YouTube

Related Articles