Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප අද සමරන අසිරිමත් නත්තලේ යට ගිය කතාව

දෙසැම්බර් 25 වැනි දිනට යෙදෙන නත්තල් උත්සවය ලොව පුරා සැමරෙන ආගමික කරුණු මුල් කරගත් උත්සවයක් මෙන් ම සංස්කෘතික සහ වාණිජමය උත්සවයක්  ද වේ. ඊට හේතුව නත්තල සමඟ බැඳුණු සංස්කෘතික සහ වාණිජමය කරුණු ද ගණනාවක් තිබීම ය. වසර දෙදහසකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සමරන නත්තල් උත්සවය පිළිබඳ ව අප දන්නා කරුණු මෙන් ම නොදන්නා කරුණු ද බොහෝ තිබේ.

මෙම ලිපිය නත්තල් උත්සවයේ මූලාරම්භය සිදු වූ අයුරු සහ තවත් වැඩි දෙනකු නොදන්නා නත්තල් උත්සවය පිළිබඳ වන කරුණු කිහිපයක් පිළිබඳව යි.

නත්තල් ගසක් – www.dr.surya.com

නත්තල ආරම්භය

ශීත සෘතුවේ මැද භාගය උත්සවාකාරයෙන් සැමරීම වසර දහස් ගණනක් තිස්සේ ලොව පුරා සිදු විය. වර්තමාන නත්තල් උත්සවයට හේතු පාදක වන ජේසුස් වහන්සේගේ උපතට පෙර ජීවත් වූ යුරෝපීයයන්, ශීත සෘතුවේ අඳුරුත ම දිනවල ආලෝකය සමරා තිබේ. අධික ශීත කාලගුණයක් සහිත දිනවල ඔවුන් ආලෝකය සැමරුවේ සූර්යයාලෝකය සහිත දින ගණන වැඩි වේවා යි ප්‍රර්ථනා කරමිනි.

ශීත සෘතුව – www.pinterest.com

ස්කැන්ඩිනේවියානු රටවල ජනතාව සූර්යයා නැවත පැමිණීම සැමරීම සඳහා දෙසැම්බර් මස අගභාගයේ දී විශාල දර කොට නිවෙස්වලට රැගෙනවිත් තිබේ. පිරිමි පුද්ගලයන් ඒ ආකාරයෙන් දර කොට රැගෙන විත් ඒවාට ගිනි තැබූ අතර ඒවා නිවී යන තෙක් ම (බොහෝ විට දින 12ක් පමණ) ඔවුන් සූර්යයා නැවත පැමිණීම සමරා තිබේ. එම ගිනිමැලවලින් පිටවන සෑම ගිනි පුපුරකින් ම සංකේතවත් කරන්නේ එළඹෙන වසරේ දී උපත ලබන ඌරකු හෝ ගවයකු බව ඔවුන්ගේ විශ්වාසය විය.

දෙසැම්බර් මස අගභාගය එවකට යුරෝපයේ බොහෝ ප්‍රදේශවල උත්සව අවස්ථාවක් සඳහා සුදුසු ම කාලය විය. ඊට හේතුව එම කාලය තුළ ගවයන් විශාල ප්‍රමාණයක් මරා දැමුණු නිසා සතුන්ට ආහාර ලබා දීම සඳහා කාලය වැය කිරීමට ජනතාවට සිදු නොවීම යි. දෙසැම්බර් මස අවසානය ජනතාවට නැවුම් මස් ලබා ගත හැකි වූ එකම කාල සීමාව විය. ඊට අමතර ව වසර ආරම්භයේ දී හෝ මැද භාගයේ දී සකස් කළ බියර් සහ වයින් දෙසැම්බර් අවසානය වන විට පරිභෝජනයට සුදුසු ම තත්ත්වයේ තිබිණි.

ශීත සෘතුව මැද භාගයේ දී ජර්මානුවන්, ඕඩන් නම් දෙවියන්ට ගෞරව කළ අතර ඔවුන් විශ්වාස කළේ ඕඩන් දෙවියන් අහසේ පියාසර කරමින් විනාශ වී යා යුතු සහ සාර්ථකත්වයට පත් විය යුතු පුද්ගලයන් කවුද යන්න තීරණය කරන බව යි. ඔහු සිය නිවෙස්වලට ඉහළින් පියාසර කරන බවට වූ විශ්වාසය නිසා ශීත සෘතුව මැද භාගයේ දී සිය නිවෙස් තුළට වී සිටින්නට ජර්මානු ජනයා වග බලා ගත්හ.

සැටර්නේලියා

අතීත රෝම වැසියන් දෙසැම්බර් මස අවසාන කාලයේ දී කෘෂිකර්මාන්තයට අධිපති ‘සැටර්න්’ දෙවියන් සමරා තිබේ. ශීත සෘතුවේ උච්චත ම කාලයේ ආරම්භ වන මෙම සැමරුම එතැන් පටන් පුරා මාසයක කාලයක් පැවැත්විණි. සැටර්නේලියා උත්සව සමය ආහාරපානවලින් බහුල වූ කාලයක් විය. මෙම උත්සව කාලය තුළ රෝමයේ එකල පැවැති සමාජ ක්‍රමය උඩු යටිකුරු විය. එනම්, එකල රෝමයේ වහල් සේවයේ යෙදුණු ජනතාවට මෙම කාලසීමාව තුළ තාවකාලික නිදහසක් ලැබුණු අතර ඔවුන්ට ද සාමාන්‍ය පුරවැසියන්ට මෙන් සැලකුම් ලැබිණි. සියලු දෙනාට මෙම උත්සවය සැමරීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් සියලු ම පාසල් සහ ව්‍යාපාරික ස්ථාන ද වසා තැබිණ.

සැටර්නේලියා උත්සව අවස්ථාව දැක්වෙන සිතුවමක් –  www.pinterest.com

නත්තල් දිනය ජේසුගේ උපත සිදු වූ දිනය ද?

කතෝලික ආගම ව්‍යාප්ත වූ මුල් කාලයේ කතෝලික බැතිමතුන්ගේ ප්‍රධානත ම නිවාඩු දිනය වූයේ පාස්කු දිනය වන අතර එකල ජේසුස් වහන්සේ ගේ උපත සමරා නැත. මේ පසුබිම තුළ හතරවැනි සියවසේ දී ජේසුස් වහන්සේ ගේ උපත සිදු වූ දිනය නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට පල්ලිය තීරණය කර තිබේ. ඒ අනුව පළවැනි ජූලියස් පාප් වහන්සේ ජේසුස් වහන්සේ ගේ උපත සැමරීම සඳහා දෙසැම්බර් 25 වැනි දා තෝරාගෙන තිබේ.

බොහෝ දෙනකු විශ්වාසය කරන්නේ ඒ සඳහා දෙසැම්බර් 25 දිනය තෝරාගත්තේ ‘සැටර්නේලියා’ උත්සවයේ පැවති ලක්ෂණ, මෙම උත්සවයට ද ආරෝපණය කරගැනීමේ අරමුණින් බව ය. ඒ අනුව මෙම සැමරුම ක්‍රිස්තු වර්ෂ 432 වන විට ඊජිප්තුවටත්, හයවැනි සියවස වන විට එංගලන්තයටත් ව්‍යාප්ත විය.

නත්තලට සරසා ඇති පල්ලියක් – www.lovethispic.com

ශීත සෘතු සැමරුම් යෙදුණු කාලයේ දී නත්තල් උත්සවය සැමරීමට තීරණය කිරීම මඟින් එය වඩාත් ජනප්‍රිය උත්සවයක් බවට පත් කිරීමට පල්ලියට හැකියාව ලැබුණු නමුත් එය සැමරිය යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න තීරණය කිරීමක් සිදු නොවී ය. එහි ප්‍රතිපලයක් ලෙස මුලින් ම පල්ලියට ගොස් නත්තල සමරන ජනතාව ඉන් අනතුරු ව විවිධ විනෝදාස්වාදය පදනම් කරගත් දේවලට මුල්තැන දී එය සැමරීම සිදු විය.

දිළිඳු ජනතාව ධනවතුන්ගේ නිවෙස්වලට ගොස් රසවත් ආහාරපාන ඉල්ලා සිටි අතර ඔවුන්ට ආහාරපාන පරිත්‍යාග නොකිරීමෙන් අවාසනාව උදාවන බව ධනවත්තු විශ්වාස කළහ. ඔවුන්ගේ විශ්වාසය වූයේ දිළිඳු ජනතාවට පරිත්‍යාගය සිදු කිරීමෙන් තමන් සමාජයට ගෙවිය යුතු ණය ගෙවා අවසන් කළ හැකි බව ය.

ඔලිවර් ක්‍රොම්වෙල් – www.wikipedia.org

නත්තල අවලංගු කිරීම

17 වැනි සියවසේ මුල් භාගයේ දී ඇති වූ ආගමික ප්‍රතිසංස්කරණ රැල්ල නිසා යුරෝපයේ නත්තල සමරන ආකාරය ද වෙනස් විය. 1645 වසරේ ඔලිවර් ක්‍රොම්වෙල් ඇතුළු පිරිස පළමුවැනි චාල්ර්ස් රජු බලයෙන් පහ කර එංගලන්තයේ බලය අල්ලා ගත්හ. එවකට පරිහානියට පත්වෙමින් තිබු එංගලන්තය එම තත්ත්වයෙන් මුදා ගන්නා බවට ප්‍රකාශ කළ ඔවුහු එහි එක් පියවරක් ලෙස නත්තල අවලංගු කළහ. කෙසේ වෙතත් දෙවැනි චාර්ල්ස් රජු බලයට පත් වූ වහාම නැවතත් නත්තල් උත්සවය සැමරීම සඳහා අවසර ලබා දුන්නේ ය.

අමෙරිකා එක්සත් ජනපදයේ නත්තල

මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය තුළ නත්තල සැමරුවේ මඳ වශයෙනි. එවකට බොස්ටන් නගරයේ නත්තල සැමරීම තහනම් වූ අතර නත්තලට කැමැත්තක් දක්වන බව පෙන්වූ ඕනෑම අයකුට සිලිං පහක දඩයක් ගෙවීමට සිදු විය. අමෙරිකා එක්සත් ජනපදය තුළ නත්තල නිවාඩු දිනයක් ලෙස නම් කළේ 1870 ජූනි 26 වැනිදා ය.

ධවල මන්දිරය අසල නත්තල් සැමරුමක් – www.wjon.com 

අමෙරිකාවේ නත්තලට නව ජීවයක් දුන් වොෂින්ටන් අර්වින්

අමෙරිකාවේ නත්තල් සැමරුමට නව ජීවයක් ලබා දුන්නේ අමෙරිකානු ගත්කතුවරයෙකු, ඉතිහාසඥයකු සහ රාජතාන්ත්‍රික නිලධාරියකු වන වොෂින්ටන් අර්වින් (1723-1859) බව බොහෝ දෙනකුගේ මතය යි.

අමෙරිකානුවන් නත්තල වැලඳ ගැනීම ආරම්භ වූයේ 19 වැනි සියවස තරම් මෑත කාලයේ දී ය. එතෙක් අමෙරිකාවේ නත්තල් දිනය කලකෝලාහලවලින් පිරුණු දිනයක් විය. ඊට හේතුව වූයේ එවකට උග්‍රව පැවති පන්ති බේදය නිසා නත්තල් දිනයේ දී දිළිඳු ජනතාව සහ ධනවතුන් අතර ගැටුම් ඇති වීම ය.

විශේෂයෙන්ම ධනවතුන් සියලු සැප සම්පත් විඳීම පිළිබඳ කෝපයට පත් වූ දිළිඳු ජනතාව ඔවුන්ගේ නිවාසවලට පහර දීම වැනි සිදුවීම් එදා බහුල විය. එම ගැටුම් කොතරම් දරුණු ද කියතොත් 1828 වසරේ නිව්යෝර්ක් නගරයේ ඇති වූ එවැනි ගැටුමකට ප්‍රතිචාරයක් වශයෙන් නිව්යෝර්ක් නගර සභාව පොලිස් බළකායක් ද පිහිටුවී ය.

නත්තල් දා ගැටුමක් දැක්වෙන සිතුවමක් – www.boweryboyshistory.com

එවකට සුප්‍රසිද්ධ කතුවරයෙකු වූ වොෂින්ටන් අර්වින්  1819 වසරේ දී රචනා කළ පොතක් එරට ජනතාව තුළ නත්තල පිළිබඳ ව නව ආකල්පයක් ඇති කරන්නට සමත් විය. එහි එංගලන්තයේ විශාල මන්දිරයක නත්තල සමරන අයුරු රූපසටහන්වලින් නිරූපණය කර තිබිණි.

විශාල මන්දිරයක ජිවත් වූ ධනවතකු නත්තල සැමරීම සඳහා දිළිඳු ගොවීන්ට ඔහු ජීවත් වූ මන්දිරයට ආරාධනා කිරීමේ සිදුවීමක් පාදක කර ගත් එය එකල අමෙරිකාවේ කොටස් දෙකකට බෙදී තිබු ධනවත් සහ නිර්ධන පන්තිය එකමුතු කිරීමට සමත් විය. ඒ සමඟ ම අමෙරිකානු ජනතාව සාමකාමී ව සහ අන්‍යයන් සමඟ සුහදත්වයෙන් යුතුව නත්තල සැමරීමට පෙලැඹිණි.

වොෂින්ටන් අර්වින් – www.wikipedia.org

“අ ක්‍රිස්මස් කැරොල්’

මේ කාලයේ දී ඉංග්‍රීසි ජාතික ගත්කතුවරයකු වූ චාල්ස් ඩිකන්ස්ගේ ‘අ ක්‍රිස්මස් කැරොල්’ (A Christmas Carol) නවකතාව අමෙරිකාවේ සහ එංගලන්තයේ ජනතාවට අන්‍යයන්ට කරුණාව දැක්වීමේ වටිනාකම හඟවන්නට සමත් විය. ඒ වන විට ළමයින් කෙරෙහි අවධානය දැක්වීම ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පැවතිණි. ඒ නිසා ළමයින්ට තෑගිබෝග ලබා දෙමින්, ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ දිනයක් බවට නත්තල් දිනය නිරායාසයෙන් ම පත් විය.

ඒ වන විට අමෙරිකානුවන් ද නත්තල යළි වැලඳ ගනිමින් සිටි බැවින් යටපත් වී ගිය සිරිත් විරිත් නැවතත් ජනතාව අතරට පැමිණි අතර වසර සියයක් වැනි කාලයක් තුළ තමන්ට ම ආවේණික වූ නත්තල් සංස්කෘතියක් ඇති කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි. එම සංස්කෘතික අංග අතර නත්තල් ගස් සකස් කිරීම සහ සුබපැතුම්පත් යැවීම වැනි ඒවා ප්‍රධාන තැනක් ගනී. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය තුළ වසරකට නත්තල් ගස් මිලියන 30-35 අතර ප්‍රමාණයක් අලෙවි වන බව ගණන් බලා තිබේ. එහි සිටින නත්තල් ගස් වවන්නන් සංඛ්‍යාව 1,000ක් පමණ වේ.

විකිණීමට තබා ඇති නත්තල් ගස් –  www.upr.org

නත්තල් සීයා

නත්තල හා බැඳුණු සුවිශේෂී චරිතයක් වන නත්තල් සීයා පිළිබඳ සංකල්පය මුලින් ම බිහි වූයේ ක්‍රිස්තු වර්ෂ 280 දී තුර්කියේ උපත ලැබූ ශාන්ත නිකලස් (St. Nicholas) පූජකවරයා නිසා බව කියැවේ. ඔහු ගම්බද ප්‍රදේශවල සංචාරය කරමින් එම ප්‍රදේශවල ජිවත් වන කුඩා දරුවන්ට, දුප්පතුන්ට සහ රෝගීන්ට තමන්ට උරුම වූ සියලු ධනය බෙදා දී තිබේ.

ශාන්ත නිකලස් ප්‍රථම වරට අමෙරිකානු සංස්කෘතියට ඇතුළු වූයේ 18 වැනි සියවසේ අගභාගයේ දී ය. එකල ලන්දේසි පවුල් ශාන්ත නිකලස් ගේ මරණය සිහි කර තිබේ. ලන්දේසින් ඔහු හැඳින්වීමට භාවිතා කළ “Sint Nikolaas” යන නම පසුකාලීන ව “Sinter Klaas” වූ බවත්, පසුව එය “Santa Claus” නම් ජනප්‍රිය යෙදුම බවට පත් වූ බවත් කියැ වේ.

නත්තල් සීයා – www.pinterest.com

 අමෙරිකානු ජාතික මහාචාර්යවරයකු සහ ලේඛකයකු වූ ක්ලෙමන්ට් ක්ලාක් මුවර් 1822 දී ලියූ නත්තල පිළිබඳ කාව්‍යයක නත්තල් සීයා පිනිමුවකු පිට නැගී කුඩා දරුවන් සොයා ගෙන ගෙයින් ගෙට යන විනෝදකාමී පුද්ගලයකු ලෙස සඳහන් කර තිබේ. 1881 වසරේ දී අමෙරිකානු සහ ජර්මානු සම්භවයක් සහිත තෝමස් නාස්ට්  ඇඳි කාටූනයක නත්තල් සීයා රතු පැහැති ඇඳුමකින් සැරසුණු, සුදු දිගු රැවුළක් සහිත, සෙල්ලම් බඩු පිරුණු මල්ලක් ද අතැති ව එන අයකු ලෙස නිරූපණය කර තිබිණි. එය වර්තමානයේ ඔබ අප කවුරුත් දන්නා නත්තල් සීයා ගේ ආරම්භය ලෙස සැලකේ.

කවරයේ පින්තූරය- නත්තල් සිරියෙන් පිරි ගම්මානයක් -www.wallpaper.access.com 

මූලාශ්‍ර: 

www.history.com 

www.britannica.com 

www.countryliving.com

Related Articles