Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එදා යශෝදරා සහ අද යශෝදරාවන්

ඇයට ඉකි ගසා හඬන්නට තිබිණ. නමුත්, ඈ හැඬුවේ කෙතරම් සියුම් හඬින් ද? තමා දරුවෙකු සමග තනිකර දමා හැරගිය සැමියා ඈ ඉදිරියේ සිටී. එහෙත් ඇය හට ඔහු කෙරෙහි කිසිදු වෛරී සිතක් තිබුණේ නැත. අවුරුදු ගණනාවක් දරුවෙකු සමග තනි වී විරහ වේදනාවෙන් ළය පුරවා ගෙන සිටි ඇගේ හදවතේ ඇති වූ හැඟීම් තවත් ගැහැනියකට මිස පිරිමියෙකුට වටහා ගන්නට අපහසු වනු ඇත. ඇය නමින් යශෝදරා ය.

‘යශෝදරා’ බෞද්ධයාගේ ශාස්තෘවරයාණෝ වන ගෞතම බුදුන්ගේ ගිහි කල ස්වාමි දියණිය යි. භද්දකඡ්ඡායනා, බිම්බා, රාහුල මාතා, ගෝපා යන නම්වලින් හඳුන්වන්නේ ද මැය යි. දෙව්දහනුවර සුප්‍රබුද්ධ රජු හා අමිතා බිසවට දියණිය ලෙස උපත ලද ඇය, සිදුහත් කුමරුගේ බිරිඳ වන්නට කල්ප ගණනක සිට පාරමිතා පිරුවා ය. සංසාරය පුරා සිදුහත් කුමරුට සෙවනැල්ලක් වූ යශෝදරා, බෞද්ධයන්ගේ පරමාදර්ශී කාන්තා චරිතයකි. 

යශෝදරා පරමාදර්ශී චරිතයක් වන්නේ ඇයි?  

දොළොස් හැවිරිදි වියේ දී විවාහ දිවියට ඇතුළත් වූ යශෝදරා රූමත් ආකර්ශනීය තරුණියක් විය. සිදුහත් කුමරුන් ඇය මෙහෙසිය ලෙසට තෝරාගන්නේ ද කුමාරිකාවන් බොහෝ පිරිසක් අතරිනි. එතැන් පටන් ඈ සිදුහත් කුමරුගේ පතිනිය බවට පත්වන්නී ය.

සිදුහත්-යශෝදරා ආදර අන්දරය ලොව බිහි වූ අනෙකුත් ආදර අන්දරයන් මෙන්ම ආදරයෙන්, සෙනෙහසින්, අන්‍යෝන්‍ය අවබෝධයෙන් ගලා ගිය සුන්දර ආදර අන්දරයක් විය. සිදුහත් කුමරු ගිහිගෙය හැර යන්නේ විසි නව වැනි වියේ දී ය. එතෙක් දහතුන් අවුරුද්දක් සිදුහත්-යශෝදරා යුවල ආදරෙන් ජීවිතය ගත කරන්නට විය. 

වසන්තය සැමදා මල් පල දරාවි ද; නැත. දිවියේ ඉඩෝර ද පැමිණිය යුතුම ය. යශෝදරාගේ දිවියේ ද ඉඩෝරය උදා විය. එදා ඇසළ පුර පසළොස්වක දිනයක් විය. ගැහැනියක දිවියේ ලබන උත්තරීතර පදවිය ඈ ලබන්නේ එදින යි. අනේක දුක් විඳ ඇයගේ සහ ඔහුගේ ආදරයේ බීජය ලෙස ඇය කිරිකැටි රාහුල පුතු මෙලොව ජනිත කළා ය. සිය සැමියා සමග කිරිකැටි පුතුගේ සුරතල් බලන්නට ඈ කෙලෙස නම් හීන දකින්නට ඇති ද?

නමුදු ඇසළ සඳ එළියේ ලෝසත දුකින් මිදවීමේ උත්තරීතර පරමාර්ථය සිත දරා කුමරු ගිහිගෙය හැර අබිනික්මන් කරන්නේ යශෝදරා හා සිඟිති රාහුල මාළිගයේ තනි කරමිනි. එතැන් පටන් යශෝදරාගේ ජීවිතය ශෝකයෙන් වෙළුණු දිවියක් විය. දැසි දැස්සන්ගෙන් පිරී ගිය මහ මාළිගයක ඇයට මොන ශෝකයක්දැ යි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් සිය සෙනෙහෙබර සැමියා නොමැති කල ඇයට කෙතරම් යස ඉසුරු ලැබුණ ද පලක් නැත.

සිදුහත් කුමරු ඇය අතහැර ගිය පසු ඇයට වෙනත් විවාහ යොජනා ද ලැබිණි. ඇගේ පියාගේ සහ සොහොයුරු දෙව්දත්ගේ ඉල්ලීම වූයේ නැවත උපන් නුවරට පැමිණෙන ලෙස යි. නමුත් ඇය ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප  කරන්නේ සිදුහත් කුමරු වෙනුවෙන් ඇය කෙරෙහි වූ සැබෑම පතිභක්තිය සහ ආදරය හේතුවෙනි. බෝ සතුන් දුෂ්කර ක්‍රියා සමයෙහි ආහාර භාවිතය නැවතූ බව අසා ඇය ද නිරාහාරව සිටී. කුමරු රජ සළු ඉවත්ලා පට සළු ඇඟ ලූ  බව අසා ඇය ද මිල අධික සළුපිලි ඉවතලා පට සළු අඳින්නී ය.

රාහුල කුමරු උපන් දිනයේ සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු ඇය නැවත සිදුහතුන් දකින්නේ මහාභිනිෂ්ක්‍රමණයට හත් වසකට පසුව යි. ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂු-සංඝයා පිරිවරා ගෙයින් ගෙට කපිලවස්තුපුර පිඬුසිඟා වැඩි ගමනේ දී ය. ඒ ගමනේ දී බුදුරජුන් මාළිගයට වැඩම කරන්නේ ගිහි කල නෑයන් දැකගැනීමේ අරමුණෙනි. මාළිගයේ සෙසු පිරිස් බුදුරජුන් හමුවට ගොස් බණ අසද්දී යශෝදරා බුදුන් හමුවට  පැමිණියේ නැත.

‘ගෙවුණු සත් වස මා ගෙවූ දිවිය යහපත් නම් බුදුරජුන් මා සමීපයට වැඩම කරතවා! 

ඒ ඇගේ අවිහිංසක ප්‍රාර්ථනය යි. ඇගේ ප්‍රාර්ථනය සඵල කරමින් බුදුරජුන් සුද්දෝධන රජතුමා ද කැටුව ඇගේ කුටියට වැඩම කරන්නේ යශෝදරාවගේ ආදර්ශවත් දිවිය ගෞරවයට ලක් කරමිනි. ඈ වැළපෙන්නේ සිහින් ස්වරයෙනි. බුදුන් පාමුල වැටුණු ඈ මෙලෙස වැළපෙන්නේ සත් වසක් තමා විඳි විරහ දුක් සිහිකරමිනි.

සැමියාගේ අරමුණු නිසි ලෙස අවබෝධ කරගත් බිරිඳක වූ යශෝදරා, සැම විටම පැතුවේ සිය සැමියාගේ යහපත යි. ඇය ලෝවාසී සෑම කාන්තාවකටම ආදර්ශයක් වන්නේ ඈ තුළ තිබූ සැබෑ සෙනෙහස, අවංක බව, පතිභක්තිය, තේරුම් ගැනීමේ හැකියාව හා ඉවසීම හේතුවෙනි.

අතීත ගැමි සමාජය හා බැඳුණු යශෝදරා

අතීතයේ බෞද්ධ ගැමි සමාජවල විසූ කාන්තාව අතර යශෝදරා පරමාදර්ශී චරිතයක් වූ අතර, ඔවුන් හැම විටම ඇයගේ චරිත ලක්ෂණ සැබෑ ජීවිතයට සම්බන්ධ කරගන්නට පෙළඹුණහ. සිංහල ජන කවියේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකෙන යශෝදරාගේ චරිතය පාදක කර ගනිමින් ලියැවුණු ‘යශෝදරාවත’ ඉහත ප්‍රකාශය සනාථ කිරිමට කදිම නිදසුනකි.

සෑම දියණියක්ම විවාහ දිවියට ඇතුළත් වීමට පෙර සිටම යශෝදරාවතේ සෙවනැල්ල ඔවුන්ගේ ජීවිත ඇතුලාන්තයට ගැඹුරින් පතිත වන්නට විය. ඒ හේතුව නිසාම ඔවුන් විවාහ ජීවිතයේ දී ඇති වන විවිධ ප්‍රශ්න හමුවේ නොසැලී මුහුණ දෙන්නට මෙන්ම පතිවත රැකීමේ අගනා කම් හඳුනා ගනිමින් සමාජයේ නිසි ලෙස ක්‍රියා කිරීමට ද පෙළඹෙන්නට ඇත. අතීත සමාජයේ බොහෝ විට දුක් ගැහැට ඉවසමින් නිසි අරමුණකින් යුතුව සැමියන් වෙනුවෙන් කැපවුනු ආදර්ශමත්  බිරින්දෑවරුන් පිලිබඳ අපට හමු වන්නේ මේ නිසා විය යුතුය. 

නූතනයේ යශෝදරාව

නූතනයේ ද යශෝදරාවන් නැතුවාම නොවේ. නමුත්, සමාජමය වටපිටාව සංස්කෘතික වපසරිය මත යශෝදරාවගේ ස්වරූපය සහ චරිත ලක්ෂණ වෙනස් වි ඇත.

සිදුහත් කුමරු ගිහිගෙය හැර යන්නේ සත්ත්වයා දුකින් මිදවිමේ උත්තරීතර පරමාර්ථයෙනි. නමුත් අද වන විට සිදුහත්ලා සොයාගැනීම අතිදුෂ්කර ය. බොහෝ විට අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වූවකි.

තම සැමියා වෙනත් ස්ත්‍රියක සමග කම් සැප සොයා අබිනික්මන් කරයි. බිරිඳ දරුවන් ද සමග ජීවිත අරගලයේ සටන් වදී. මෙලෙස සමාජයේ අසරණ වන ස්ත්‍රිය රඟ දක්වනුයේ ද යශෝදරාවගේ වත්මන් චරිතයකි. නමුත් මෙවැනි තනි වූ කාන්තාවකට වත්මන් සමාජය තුළ කිසිදු පීඩනයකින්, හිංසාවකින් තොරව පතිවත රකිමින් ජීවත් විය හැකි ද යන්න ඇති වන ප්‍රශ්නයකි.

බොහෝ අවස්ථාවල වර්තමාන කාන්තාව ඉතා ඉක්මනින් දුර්වල තත්ත්වයට පත්වන අයුරු දැකගත හැකිය. අතීත කාන්තාව මෙන් නොසැලී සිටින්නට ප්‍රශ්න ඉවසා දරා ගන්නට බොහෝ නූතන කාන්තාවන්ට ශක්තියක් නොමැත. තම පවුල් සංස්ථාවේ සිදුවන කුඩා ප්‍රශ්න හමුවේ පවා සිය දරුවන් ද සමගින් ජීවිතය විනාශ කරගන්නා කාන්තාවන් ගැන වර්තමානයේ අපට අසන්නට ලැබේ. එමෙන්ම පවුල් සංස්ථාව දෙදරවා ගනිමින් පර පුරුෂ සේවනයේ යෙදෙන ස්ත්‍රීන් ද බොහෝ ය. කාන්තාවන් මෙවැනි තත්ත්වයකට පත්වීම කිසිසේත් අනුමත කළ නොහැක.

ලොවක් ගොඩනගන්නේ ගැහැනිය යි. ඇය හැමවිටම නිවැරදි විය යුතු ය. සමාජයෙන් පැමිණෙන අභියෝග  හමුවේ නොසැලී ඉදිරියට යාමට ශක්තිය ඇයට තිබිය යුතු ය. ඒ සඳහා කාන්තාවක් සැමවිටම බුද්ධිමත්ව මනා තීක්ෂණ බුද්ධියකින් යුක්තව ක්‍රියා කළ යුතු වේ.

යශෝදරා අතිතයේ කාන්තා විමුක්තිය වෙනුවෙන් සටන් කළ කාන්තාවකි. පැරැණි භාරතීය සමාජයේ  කාන්තාවට තිබුණේ ඉතා පහත් තත්ත්වයකි. බුදු සසුනේ මෙහෙණි සස්නේ ආරම්භය සමගින් කාන්තාවන්ට විමුක්තිය උදා විය. මෙහෙණි සසුනේ ස්ථාපනය සඳහා සිදුකළ අරගලයේ මහාප්‍රජාපතී ගෝතමිය සමගින් ප්‍රබල දායකත්වයක් ලබාදීමට ඇය සමත් විය. අවසානයේ මෙහෙණි සසුනේ පැවදි දිවියට පත් යශෝදරා මහ රහත් ඵල ලබා ඍදිමත් භික්ෂුණීන් අතර අග තනතුරට ද පත් වූවා ය. ඇය ගත කළ ජීවිතය හා ඇගේ චරිත ලක්ෂණ ලෝක වාසි සෑම කාන්තාවකටම මහත් වූ ආදර්ශයකි. මෙවැනි චරිත සමාජයෙන් යටපත් වීමට ඉඩ නොතැබිය යුතු ය.

නමුදු අද වන විට කාන්තාවගේ වීරවරියන් බවට පත් වී ඇත්තේ මෙගා ටෙලිනාට්‍යවල හමුවන බොළඳ චරිත ය. බොහෝ විට කාන්තාවන් මෙවැනි චරිත අනුකරණය කරන්නට ද පෙළඹීම මහත් ඛේදවාචකයකි. ලෝකයේ කාලයක් සමග සිදුවන සංස්කෘතික විපර්යාසවලට අප ද වෙනස් විය යුතු ය. නැතහොත්, නවීන ලෝකය තුළ අපට පැවැත්මක් නැති වී යයි. නමුත් අතීත සමාජවල තිබූ සංස්කෘතික වටිනාකම් පහසුවෙන් බැහැර කළ යුතු නොවේ. ඒවා නව ස්වරූපවලින් ඉදිරියට පවත්වාගෙන යාම අප කාගෙත් වගකීමකි.

Related Articles