Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැනඩාවේ තුන්වන විශාලම විල – විනිපෙග්

ලෝකය පුරා විවිධ රටවල් වල සුන්දරත්වයෙන් ඉහළ ජල සම්පත් රාශියක් පිහිටා ඇත. විනිපෙග් විල ලෙස අප හඳුන්වන්නේද ස්වභාව ධර්මයේ එවැනි අපූර්ව නිර්මාණයකි. විනිපෙග් ආසන්නයේ ජීවත් වන ජනතාව “වෙරළට යනවා” යන්නෙන් අදහස් කරන්නේ විනිපෙග් විලේ ඉවුරට යාමයි. මෙය ලෝකයේ ඇති විශාලතම මිරිදිය විලක් ලෙස හැඳින්විය හැක. විනිපෙග් විල ආසන්නයේ දැකිය හැකි මිනිසුන් වන්නේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, හිරු දෙවියන් වන්දනා කරන බැතිමතුන්, විනෝදය සඳහා එහි සුන්දර ඉවුරු වලට එක් රොක් වන ජනතාවයි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ එවන් සුන්දරත්වයකින් යුතු විනිපෙග් විල පිළිබඳව කරුණු ඔබ වෙත ගෙන ඒමටයි.

පිහිටීම

ctvnews.ca

කැනඩාවේ පිහිටා ඇති විනිපෙග් විලේ සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 24, 514ක් පමණ වේ. මෙහි දිග කිලෝමීටර් 425ක් පමණ වන අතර පළල කිලෝමීටර් 40 – 109 ත් අතර ප්‍රමාණයක් වේ. විනිපෙග් විල වට වී ඇත්තේ වටිනා දැව වනාන්තරයකිනි. මෙම විල වටා ගිම්හාන නැවතුම් පොළවල් රාශියක් පිහිටා ඇති අතර මෙය මත්ස්‍ය සම්පත් වලින් පරිපූර්ණ විලක් ලෙස දැක්විය හැක.

ඉතිහාසය

විනිපෙග් විල ග්ලැසියර් විලක් වන Agassiz වල ඉතිරි වූ කොටසක් ලෙස සැලකේ. මෙය පිහිටා ඇත්තේ සේදී පාළු වූ හුණුගල් සහ ග්ලැසියර් සහිත ප්‍රදේශයක යි. වසර 12, 000 කට පමණ පෙර එම ප්‍රදේශයේ පැවති ග්ලැසියර් දිය වීමත් සමඟ Agassiz නම් විශාල ග්ලැසියර් විල නිර්මාණය වී ඇති බව විද්‍යාඥයින්ගේ මතය වේ. මෙහි ඇති ජලය ක්‍රමයෙන් සිඳී ගොස් සමතලා තැනිතලාවක් නිර්මාණය විය. මෙය බටහිර ප්‍රදේශයේ ඇති Manitoba බෑවුමේ සිට නැගෙනහිර Precambrian ඵලකයේ ගල් සහිත කෙළවර දක්වා විහිදේ. වර්තමානයේ මෙම ග්ලැසියර් විලේ පතුල Manitoba බෑවුම් ප්‍රදේශයේ දැකිය හැකි අතර එය විනිපෙග් විලෙන් සමන්විත වේ.

lwbi.cc.umanitoba.ca

මෙය මුල්වරට දුටු පුද්ගලයා ලෙස සැලකෙන්නේ ගවේෂකයකු වන Henry Kelsey ය. ඒ 1690 වසරේදී ය. මෙය සොයා ගැනීමත් සමඟ එකල පැවති ප්‍රධාන ගමනාගමන මාර්ගයක් බවට විනිපෙග් විල පත් විය. මෙහි ප්‍රධාන ගමනාන්ත වූයේ Husdon වරාය හා red –Assiniboine දිය බස්නාවේ පිහිටි ලොම් වෙළඳාම් කරන නගර යි.

විනිපෙග් වැනි පටු දිග විල් වල සිසිල් සුළන් හා කුඩා දිය රළ දැකිය හැක. උතුරු සුළන් හොඳින් විනිපෙග් හරහා තිරස් අතට හමා යාම නිසා එහි ජලය චලනය වේ. මේ හේතුවෙන් විනිපෙග් විලේ රැළි මතු වේ. ඒවා ගොඩබිම් දෙසට එන විට තරමක් උස් ස්වභාවයක් ගනී. විනිපෙග් විලේ ඇතැම් දකුණු වෙරළ තීරයන් වල වැඩි උසකින් යුතු රැළි දැකිය හැකි වේ. මෙය බිම් ඛාදනයට පවා හේතු වන තත්වයක් ලෙස සැලකේ.

භෞතික ලක්ෂණ

watercanada.net

විනිපෙග් විලේ සාමාන්‍ය ගැඹුර මීටර් 12ක් පමණ වේ. නමුත් මෙහි ඇතැම් ස්ථාන වල ගැඹුර මීටර් 36ක් පමණ වේ. මෙහි වෙරළ තිරය කිලෝමීටර් 1750 ක පමණ දිගින් යුතු වේ. මෙම වෙරළ තීරය විවධ බොකු, වරායවල්, තුඩු ආදියෙන් සමන්විත වේ. විනිපෙග් විලේ පරිමාව ඝන කිලෝමීටර් 284ක් පමණ වේ. මෙහි උතුරු බේසම කුඩා වුවත් දකුණු බේසමට වඩා ගැඹුරින් වැඩි වේ.

ශාක හා සත්ව ප්‍රජාව

පසුගිය දශක කිහිපය තුළ විනිපෙග් විලට විශාල වශයෙන් පෝෂණ කොටස් එකතු වීම සිදු වේ. මෙලෙස 1900 ගණන් වලදී විලේ ඇති පෝෂණ කොටස් ඉහළ යාම හේතුවෙන් ශාක ප්ලවාංග වල වර්ධනය ඉහළ යාමක් දැකිය හැකි විය. උතුරු බේසමට වඩා දකුණු බේසම තුළ පොස්පරස් තැන්පත් වීම වැඩි අගයක් ගනී. මේ හේතුවෙන් උතුරු බේසමට වඩා දකුණු බේසමේ ශාක ප්ලවාංග වැඩි ප්‍රමාණයක් දැකිය හැක. මේ නිසා ආක්‍රමණශීලි ජලජ ශාක වර්ගයන් 6ක් මෙහි දැකිය හැක. මේවා common carp, rainbow smelt, white bass, the cladoceran, Eusbomina coregoni, Asian tapeworm ලෙස දැක්විය හැක.

wjansenphotography.com

මෙලෙස වැවෙන ඇල්ගී හේතුවෙන් විනිපෙග් විලේ පරිසර දූෂණය අධික වුවත් කුඩා මසුන්ගේ ආහාර ප්‍රමාණයන් වර්ධනය වී ඇත. මේ හේතුවෙන් විලේ අධික මත්ස්‍ය ජනගහනයක් දැකිය හැකි වේ. මෙහි වැඩියෙන්ම දැකිය හැකි වන්නේ walleye නැමති මිරිදිය මසුන්ය. කාලයත් සමඟ ජලයේ ඇති පෝෂණ කොටස් වැඩි වීම නිසා මොවුන්ගේ ආහාර වැඩි වීමෙන් මසුන්ගේ ශරීර ප්‍රමාණයද වර්ධනය වී ඇත.  මීට අමතරව වාර්ෂිකව විනිපෙග් විල සඳහා පොස්පරස් ටොන් 7900ක් එකතු වන බව වාර්තා වේ.

ආර්ථික වටිනාකම

cbc.ca

විනිපෙග් විල ආසන්නයේ ස්ථිර පදිංචිකරුවන් 23,000ක් පමණ ජීවත් වේ. මීට අමතරව දකුණු විනිපෙග් විල ආසන්නයේ පළාත්බද උද්‍යාන හතක් පිහිටා තිබේ. ඉන් කීපයක් ලෙස Hecla, Beaver creek, Camp Morton, winnipeg beach, Elk island දැක්විය හැක. මේවා සඳහා විශාල දේශීය හා විදේශීය නරඹන්නන් ප්‍රමාණයක් ඇදී ඒම සිදු වේ. 2010 – 2011 වසර වලදී බලපත්‍රලාභී මාළු අල්ලන්නන් 1069ක් මෙහි වාණිජ වශයෙන් මාළු ඇල්ලීමේ නිරත විය. මොවුන් දළ වශයෙන් මාළු කිලෝග්රෑම් 4 498 370 ක ප්‍රමාණයක් අල්ලා ඇති බව එරට වාර්තා ප්‍රකාශ කර සිටී. 2010 – 2011  වසරේ විනිපෙග් විලෙන් අල්ලන ලද මාළු වල සම්පූර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් 16 259 317ක් පමණ බව ප්‍රකාශ කර ඇත.

තවද වර්ෂය පුරා පැවැත්වෙන උත්සව රාශියක් සඳහා විනිපෙග් විල අවට භාවිතා කිරීම දැකිය හැක. මීට අමතරව Harrison Ford ගේ “K19” චිත්‍රපටය සඳහා ද විනිපෙග් විල භාවිතා කරන ලදි. කැනඩාවේ විවිධ ටෙලිනාට්‍ය මාලාවන් හා ස්වභාව සෞන්දර්යාත්මක වැඩසටහන් සඳහා විනිපෙග් විල යොදා ගනී.

කවරයේ පින්තුරය – winnipegfreepress.com

Related Articles