Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිල වැඩි වුනත් ආලේ අඩු නොවන අරක්කු

මත් වීම පිණිස පානය කරන ඇල්කොහොල් බීම වර්ග රැසකි. සංයෝගය අතින් ගතහොත් ඒ සෑම එකකම ඇත්තේ එතනෝල් මධ්‍යසාරීය ද්‍රාවණයකි. මිදි යුෂ, සතුන්ගේ කිරි, සහල්, සෝගම්, කොකෝවා, අර්තාපල් වැනි විවිධ ද්‍රව්‍ය භාවිත කොට පුරාතනයේ ලොවවටා මිනිසුන් ඇල්කොහොල් නිපදවා ගත්හ. ඒ අතරින් අප වැනි නිවර්ථන කලාපයේදී තාල වර්ගයේ කිතුල්, පොල්, පුවක්, තල් ගස් වල ලපටි මල් තලා කපා ලබාගත් යුෂ පැසීමට ලක් කර පානය කිරීම වඩාත් ජනප්‍රිය ක්‍රමයක් විය.

ලංකාවේ රජය මිනිසුන්ගේ හදවතට මොලයට වඩා පෙනහළු වලට සහ අක්මාවට වඩාත් ආලය කරති. එබැවින් පාලකයෝ අක්මාවට වින කරන බොන ඇල්කොහොල් මිලත් පෙනහළු වලට වින කරන සිගරට් මිලත් නිරන්තරයෙන් වැඩි කරති. නමත් සුරාබදු දෙපාර්ථමේන්තුවේ සංඛ්‍යාලේඛන බැලූ විට අරක්කු වලට බදු කෙතෙක් එකතු වුවද අරක්කු අලවිය නම් වසරින් වසර වැඩිවේ.

තාලමය ගස් වල මල කපා එන දිය පැසීමට සහ ආසවනයට භාජනය කොට එතනෝල් නිපදවා ගැනීම වසර 16,000 ක් තරම් පැරණි අතීතයේ සිට පැවත එන සිරිතක් බැව් නැෂනල් ජියෝග්‍රැෆි සගරාවේ සදහන් වෙයි. ඉතිහාසමය සාධක බැලූ කල රා බී ගත් ඇතුන් යෝධයින් සම්බන්ධ කතාන්දර අපේ අතීත කතාවලද වේ. එයින් රා බී මත් වූ මහසෝනා ගෝඨයිම්බර ගේ බිරියට අරියාදුවක් කරන්නට ගොස් අවසන ඇති වූ සටනේදී ගෝඨයිම්බගේ පා පහරින් මහසෝනාගේ හිස පාපන්දුවක් මෙන් අහසින් ගොස් වනයට වැටීම රසවත් කතාන්දරයකි.

අතුරේ යන රා මදින්නෙක්. (drinkingcup.net)

මත් වීම පිණිස පානය කරන ඇල්කොහොල් බීම වර්ග රැසකි. සංයෝගය අතින් ගතහොත් ඒ සෑම එකකම ඇත්තේ එතනෝල් මධ්‍යසාරීය ද්‍රාවණයකි. මිදි යුෂ, සතුන්ගේ කිරි, සහල්, සෝගම්, කොකෝවා, අර්තාපල් වැනි විවිධ ද්‍රව්‍ය භාවිත කොට පුරාතනයේ ලොවවටා මිනිසුන් ඇල්කොහොල් නිපදවා ගත්හ. ඒ අතරින් අප වැනි නිවර්ථන කලාපයේදී තාල වර්ගයේ කිතුල්, පොල්, පුවක්, තල් ගස් වල ලපටි මල් තලා කපා ලබාගත් යුෂ පැසීමට ලක් කර පානය කිරීම වඩාත් ජනප්‍රිය ක්‍රමයක් විය.

අරක්කු පෙරන ක්‍රමය 

පැරැන්නෝ අරක්කු පෙරූ සැටි. (drinkingcup.net)

පුරාණ කාලයේදී ලංකාවේ අරක්කු නිශ්පාදනය සිදු වූයේ තනිකරම පොල් මල කපා ලබාගන්නා තෙලිදිය වලිනි. රා මට්ටමට පැසුනු තෙලිදිය ඉන් පසු රත්කර සාන්ද්‍රනයෙන් වැඩි අරක්කු බවට පත්කරගනු ලැබේ. මේ ක්‍රියාවලියේදී මීට වසර 50කට 60කට පෙර භාවිත කරන ලද්දේ ලී වලින් සෑදු පීප්ප වේ. ලී වලින් සැදූ පීප්ප වල ගබඩා කර පැසෙන රා වලින් තැනෙන අරක්කු වල හල්මිල්ල, තේක්ක පීප්ප මගින් ඇති වූ විශේෂ රසයක් තිබෙන්නට ඇත.

පසුකාලීනව විවිධ ක්‍රම ඔස්සේ කසිප්පුද අපේ සමාජයේ පැතිරෙන්නට විය. එවිට අරක්කු බාර් කරුවෝ අරක්කු අදුනාගැනීම පිණිස සීනි කරකර අරක්කු වලට එකතු කලෝය. එබැවින් අරක්කු වලට ලංකාවේදී දුඹුරු පැහැයක් එකතු විය. පිලිපීනයේද අරක්කු වලට ආසන්න වූ බීමක් තැනෙන මුත් එය නිල් පැහැතිය. සංශුද්ධ එතනෝල් අවර්ණය. පැහැයක් නොමැත.

අපි බොන අරක්කු

ගල් ඔය ව්‍යාපාරය සමග කලෙක ගල් ඔය පලාතේ උක් වගාවෙන් සීනි නිපදවෙන්නට විය. සීනි නිශ්පාදනයේදී ඉවතලන උක් පල්ප භාවිත කොට ඒ පල්ප ද්‍රාවනය ආශ්‍රයෙන් ආසවනය කරගන්නා ලද අරක්කු වර්ගයක් එකලදී ගල් අරක්කු ලෙස ලංකාවේ පතල විය. පොල් අරක්කු නම් ලංකාවේ යුරෝපීය යටත්විජිත ඇති වූ කාලයේ පටන් පවතින මධ්‍යසාර වර්ගයකි.

අද වනවිට ලංකාවේ සියලුම මධ්‍යසාරයන් පාහේ නිපදවන්නේ දකුණු අප්‍රිකාව වැනි රටවල සිට මෙරට පැමිණෙන සංශුද්ධ වූ එතනෝල් වලට විවිධ ආකාරයේ වර්ණකාරක සහ රසකාරක මුසු කිරීමෙනි. අතීතයේ පීප්ප වල ගබඩා කොට තැබීම, පැසීමට ලක් කිරීම ආදී කාර්යයන් නිසා යම් රසයක් අරක්කු වලට එකතු වීද අද ඒ සියලු රසයන් කෘතිමව නිපදවිය හැකි තරම් තාක්ෂණය දියුනුය.

අරක්කු වීදුරුවක්.

දිනකදී  රා තැබෑරුම් වල විකිනෙනු ලබන සියලුම රා පරිමාව ගත්තත් ලංකාවේ සියලුම පොල් ගස් වලින් රා මැද්ද කල පවා ඒ රා ඉල්ලුම සැපයිය හැකිවේද යන්න සැක සහිතය. එවන් වටපිටාවක තවදුරටත් පොල් රා වලින් අරක්කු නිපදවීම නම් සිදුවිය හැකි දෙයකැයි නොපෙනේ. විදෙස් වෙළදපොල උදෙසා නිපදවනු ලබන ඉහල මිලක් තත්වයක් සහිත අරක්කු නිෂ්පාදන සදහා තවමත් පොල් රා භාවිතා කරනවා වන්නට ඇත.

මත්පැන් පෙරීමේ අහිතකර තත්වය

කුඩා රා මුට්ටියක්.

ස්වාභාවික ආසවන ක්‍රියාවලියෙන් එතනෝල් ලබාගැනීමකදී එතනෝල් වලට වඩා අඩු තාපාංකයකදී නිස්සාරණය වන මෙතනෝල් පලමුව නිස්සාරණය වෙයි. නමින් සහ හැඩයෙන් මද වෙනස්කමක් තිබුනද මෙතනෝල් නම් සිරුරට දැඩි ලෙස අහිතකර රසායන ද්‍රව්‍යයකි. හොර මත්පැන් නිස්සාරණ කටයුතු වලදී මෙතනෝල් මිශ්‍රවීම නිසා ශ්‍රී ලංකාවේද අවස්ථා කීපයකදී මත් පැන් විසවීම් වාර්ථා වන ලදී.

මත්පැන් ලෙස මෙතනෝල් පානය කොට  විස වී රෝහල්ගත වූ රෝගීන්ට ඒවා දියවන්නට ලබාදෙන්නේද සැර එතනෝල් මත්පැන් වර්ගයකි. එසේ මෙතනෝල් මිශ්‍ර නිස්සාරණ කටයුතු නිසා ඉන්දියාව සහ ඉන්දුනීසියාව අරක්කු පෙරීම තහනම් කරන්නට ඇත. නමුත් පිලිපීනයේ සහ ශ්‍රී ලංකාවේ නිල වශයෙන් කර්මාන්තයක් ලෙස අරක්කු නිපදවීමට අවසර දී ඇත.

මෙතනෝල් සහ අහිතකර රසායන එකතුවිය හැකි නිසා හොරට අරක්කු හෝ මධ්‍යසාර පෙරා බොන්නට ගැනීම බිව් සැනින් මරණයට පත් විය හැකි තරම් අන්තරාදායක වූ තත්වයකි.

අරක්කු ඉතිහාසය

එකල රා තැබෑරුමක්. (farm5.staticflickr.com)

පොල් රා වලින් අරක්කු පෙරීම මුලින්ම ව්‍යාප්ත කරන ලද්දේ ලන්දේසි ජාතිකයින් විසිනි. ඔවුන්ගේ යටත් විජිත වශයෙන් පැවති ඉන්දුනීසියාව, ඉන්දීය කේරළය, පිලිපීනය සහ ලංකාවේ පොල් අරක්කු පෙරීම ලන්දේසීන් විසින්  (වර්ථමාන නෙදර්ලන්ත) වර්ධනය කරන ලදී. ලන්දේසීන් විසින් ආරම්භ කරන ලද පොල් අරක්කු නිපදවීම ඉංග්‍රීසින් විසින් කර්මාන්තයක් මට්ටමට වැඩිදියුනු කරන ලදී.

ඓතිහාසික වාර්ථා අනුව බැලූ කල 1813 දී එවකට සිලෝන් වූ ශ්‍රී ලංකාවෙන් අරක්කු ගැලුම් 939,112ක් අපනයනය කොට තිබේ. මාරවිල සිට දෙවුන්දර දක්වා පොල් වගාව ව්‍යාප්ත වූ ඉංග්‍රීසි සමයේ නිරිත දිග වෙරළබඩ පොල් වගාවේ මූලිකම අරමුණක් වූයේ රා අරක්කු නිශ්පාදනයයි. 1924 දී එවකට වාර්ථා අනුව ගැලුම් මිලියන 1.2ක් නිපදවා තිබුනි. එකල රා අරක්කු නිපදවීම මෙතරම් තද බල නීති රීති වලින් ආවරණය වූයේ නැත. එබැවින් සංඛ්‍යාෙල්ඛන වලට වඩා බොහෝ වැඩි ප්‍රමාණයක් සැබැවින්ම අරක්කු භාවිතා වන්නට ඇත.

යටත් විජිත කල අරක්කු තතු

මධයසාර ලබාගන්නා පිරිසක්. (a248.e.akamai.net)

ලංකාවේ නිදහස් සටනේ පතාක යෝධයින් වූ සේනානයක වරුන් පමණක් නොව අමද්‍යප ව්‍යාපාරයේ මූලිකත්වය දැරූ ආතර් වී දියෙස්, අනගාරික ධර්මපාල වැනි අයගේ පිය පරම්පරාවේ මූලික ආදායම් මාර්ගයක් වූයේ මේ අරක්කු නිපදවීමයි. එක් එක් පලාතේ අරක්කු නිෂ්පාදනය කිරීම ඉංග්‍රීසින් විසින් වෙන්දේසි කල අතර ඒවා ලබාගත් අය ඒ රැකියාවෙන් ඉතා ඉහල ලාභයක් ලබාගත්හ. වෙරළබඩ කලාපයේ සුවිසල් මාලිගා වැනි වලව් ඉදිකරගෙන සනීප දිවියක් ගතකල බොහෝ පහතරට ධනපතීන් ගේ එක් ආදායමක් වූයේ මේ අරක්කු රේන්ද වේ. නමුදු එදාසිට  මුට්ටිය බැදගෙන ගස් බඩගාන රා මදින්නා අදද සිටින්නේ එතැනමය.

යටත් විජිත සමයේ යටත් විජිතවල සේවය කරන ලද කම්කරුවන්ට මත්පැන් ලබාදී ඔවුන් මත්පැන් පිණිස වැඩකරන්නට සැලැස්සවීම ලෝකයේ යටත් විජිත බොහොමයක සරුවටම කෙරුනි. ලංකාවේද, ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ වතුකම්කරු ජනතාවට පානය පිණිස වෙරළබඩ කලාපයෙන් නිරන්තරයෙන් රා අරක්කු පීප්ප ගනන් වතුකරයට යවන ලදී. අදද ලංකාවේ වැඩිම මත්පැන් භාවිතයක් ඇති පලාතක් ලෙස නුවරඑළිය සැලකෙන අතර වෙනත් පලාත්වල දකින්නට අඩු ස්ත්‍රීන් ලාබ මට්ටමේ මත්පැන් භාවිතයද වතුකරයේ වඩාත් පැතිර ගොස් තිබේ.

අරක්කු සහ සමාජය

වෙරළබඩ කලාපය සැලකුවහොත් ලොරන්සු ද අල්මේදා වයින් පානය කරමින් ලංකාව සැපත් වී දැන් අවුරුදු පන්සියයකට අධිකය. ඊටත් පෙර කල අපේ ජනතාව රා වැනි මත් පැන් පානය කොට තිබේ. මත් පැන් යනු අපේ රටේ මූලික සංස්කෘතික අංගයකි. උත්සව අවස්ථාවන් වලට, වැදගත් අවස්ථාවන්වලට පමණක් නොව පිරිස එක්වන ඕනෑම තැනකට මත් පැන් එකතුවීම අද ඊයේ සිදු වූ අරුමයක් නොවේ. එංගලන්තයේ පබ් වල බියර් පානය කිරීම, මෙක්සිකානුවන් ටෙකිලා පානය කිරීම, චීන්නු සහල් වලින් තැනූ වයින් පානය කිරීම, රුසියානුවෝ වොඩ්කා පානය කිරීම ඒ රටවලට අනන්‍ය වූ සංස්කෘතියේ එක් අංගයක් ලෙස සැලකේ..එහෙත් අරක්කු වලට ජනප්‍රිය ම රටවන අපේ රටේ මත් පැන් පානය තවමත් සංස්කෘතියේම එක් අංගක් ලෙස පිලිගැනීමට සමාජය තවමත් මැලි කමක් දක්වනු ලැබේ.

මත් පැන් යනු සිරුරට අහිතකර දෙයකි. මිල දැඩි ලෙස වැඩිවන ලෙස බදු එකතුකිරීමෙන්, වෙළදපොලේ ඇති අරක්කු කලවම් වීමත් නීතිවිරෝධී මත් පැන් කරලියට ඒමත්, රටවැසි මත් පැන් බොන අයගේ සිරුරට වඩාත් අහිතකර තත්වයක් උදා කරයි. අරක්කු සහ මත්පැන් ගැන යම් කරුණු කාරණා කිහිපයක් ඔබට මේ හරහා ලැබෙන්නට ඇති. ඔබේ අදහසුත් තිබේනම් එකතුකරන්න.

කවරයේ පින්තුරය: Flickr Hive Mind/lnewman333

Related Articles