පසුගිය 14 වනදාට යෙදුණු වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනයට සමගාමීව Roar සිංහල විසින් සංවිධානය කළ කාව්‍ය නිර්මාණ තරගයට සැලකිය යුතු ප්‍රමාණයක කාව්‍ය නිර්මාණ අප වෙත ලැබී තිබීම සතුටුදායක කාරණාවක්. ප්‍රථමයෙන්ම, එම නිර්මාණ එවූ සියලු දෙනා වෙතම අපගේ සුබ සුබ පැතුම් එක් කරන්නට කැමතියි. 

අප වෙත ලැබුණු එම නිර්මාණ අතරින් හොඳම නිර්මාණ 8ක්, අපගේ ආරාධිත නිර්මාණ අධීක්ෂක ළහිරු කිතළගම විසින් අපට තෝරා දෙනු ලැබුණා. දහසකුත් වැඩ රාජකාරි මැද එම කර්තව්‍යය වෙනුවෙන් තම වටිනා කාලය කැප කළ ඔහුට ද තුති පුද කළ යුතුම යි. 

දැන් ඒ අපි කවි රසවිඳිමු!

01- හමුව අබිමුව මතකය වළදමමි- සමුදු බස්නායක

මේ නාකි අහස මත පායන

දේදුන්නට පොල්ලකින් ගසා

කොන්දෙ ඇද යැවිය යුතුය

රෝස මල් අතර සැඟව සිට

නෙක පැහැ සමනලුන්ට වෙඩි තබා

සමූල ඝාතනය කළ යුතුය

සඳවත කඩා ගෙනැවිත් පුළුස්සා

තරු කැටද ඒ ගින්නෙන් දවා

හැම රැයම අමාවක කළ යුතුය

ඔබ මා හා පෙර වසන්තයක

ඇවිද ගිය උයන කපා කොටා

ගිනිබත් කර දැමිය යුතුය

අතීතයේ දවසක මේ මියගිය නුවර

අපේ නමට ඉතිරි වී ඇති ප්‍රේම ස්මාරක

බිමට සමතලා වී දුහුවිලි සුවඳ දැනිය යුතුය

කොටින්ම 'අපේ' ආදර කතාවට

උපමා සැපයූ සියලුම දෑ

ස්වකැමැත්තෙන් හෝ විනාස විය යුතුය

නව කතාවක් ගොතන ඔබට

තව වතාවක් එම පසුබිම 

හමු නොවිය යුතුය

මඟහැර යා යුතුය!

02- දන්නවද?- අරුණ වීරරත්න

දන්නවද,

සඳ අයිති පොළවට;

ඈත දුර පායලා දිලුනට

සිහින අතරින් රෑට පෙනුනට

සිඟිති තරුකැට තුරුලෙ දැරුවට 

අහස මත්තෙම සෙනෙහෙ පිරුවට

සඳ නුඹ දන්නවද, 

සඳ අයිති පොළොවට;

කවමදාවත් ළඟට නාවට!

03- මං එයාට රැවටෙන්න වුණත් කැමති වෙලා හිටියෙ- සංඛ වීරවංශ

ඇයි මං ළඟ?

මං ඇහුවම එහෙම

‘උත්තරය හරි සරලයි

දුක හිතුනම අහසට 

කඩා පාත් වෙන්නෙ පොළොවට’

මං ඇබ්බැහි වුණේම ඒකට

සිනිඳුවට 

සුමුදුවට

හෙමිහිට

බොරුවක් බව නොතේරෙන්න 

එයා ආදරේ කියන

අපූරුව 

ඔයා මට 

නියඟ දා වැස්සක්

අමාවක රෑ තරුවක්

වෙහෙස වී හිතුවට

ගැලපුණේම නෑ 

උපමාවක්

එයා දැනන් උන්නා ඒක

මං ඒක දන්න බව 

එයා දැනන් උන්නා ඒකත් 

බොරු කරන බව දැන දැනම 

මං ආදරේ කරන වග එයාට 

තාවර වෙවී හිත ළඟ

අංශුවක් ගානෙම 

තුරුලු කරගෙන

නැවති නැවතී 

ආපහු ඇවිත් 

යන්නත් බැරිව 

ඉන්නත් බැරිව 

ලතැවෙන කොට බෝම 

මං කියනව එයාට 

‘කේඩෑරි වෙච්ච

ගෑනු හිතකට 

පිරිමි හුළඟක දැවටිච්ච 

බොරුවක් වුණත් මහමෙරක්’               

04- රාත්‍රිය මේ තරම් කුරිරුද?- අනුධිකා වික්‍රමසිංහ

සේපාලිකා මල් තුහින බිඳු ළඟ

ප්‍රේම ගීතිකා කියනවද අර

දුරින් දුර හිත් පටලවාගෙන

අපිත් කවි මුමුණනවා රැයකට

සඳත් හොරැහින් එබෙන මොහොතක

මේ හීන හිරකරන් හිත යට

නිදා නොනිදා විඩාබර හිත

සුසුම් ගිලිනා වාර එමටය

නෙත කඳුළු ඉපිදෙන අන්ධ අඳුරක,

ප්‍රේමයට ඉගිලෙන්න නොහැකිය!

හුස්ම සිඹිනා ඉසිඹුවක

හදවතට කොදුරනව මිස,

මහා පර්වත මුදුන්වල

ලස්සනම මල් පිපෙනවා ඉඳහිට

වසන්තයෙ කවි හැඩ කරන්නට

උන් පිපුණෙ ජීවිතේ ගැඹුරෙම!

තාරුකා එළි පාවෙලා විත්

සිහින් මඳනල අතර රැඳෙමින්

මගේ සියොළඟ සිඹියි සඳ නුඹ

රාත්‍රිය මේ තරම් කුරිරුද...?

05- සංක්‍රමණික කුරුල්ලා මමයි- සත්සර විජේසිංහ 

මුද්‍රා නොතැබූ

තාවකාලික වීසා බලපත්‍රයක් ලැබ

දහසක් පැතුම් තුඩ රඳවාගත්

සංක්‍රමණික කුරුල්ලා මමයි

ඔබගේ

උයනෙහි නැවතුණ.

06- ඔබ!- අසේල ජයකොඩි කිතුල්ගල  

ඔබ

කියා ලියනකොට

වචනයෙන් කෙටියි..

ඔබ

කියා හිතනකොට

හැමදේම එහි සතුයි…

07- ප්‍රේමය ඉතිරිය- පියුමි පබසරා වික්‍රමසිංහ  

‘ඉතිරියෙන්’ මුළු අහසම 

වැසී ඇත 

කෙදිනක හෝ වසීවි 

හෙමිහිට

‘ඉතිරිය’ මහපොළොව

සිප ගනීවි

ළඟ තබා විඳිය හැකි 

විලස

‘ඉතිරිය’ පතිත වන තුරු 

ඉදිරිය හිස්තැනකි 

පියකරු

දෙපා අබියස අනන්තය

තනියායකි 

නිමක් නොපෙනෙන

එමත සැතැපුණ කවිය 

විඳී අහසේ රඟන ‘ඉතිරිය’ 

කිසිවක ඉතිරියක් නොවූ තැන 

දකීවි නුඹ

ඉතිරි වූ

ප්‍රේමය…

08- ආදරණීය ජුලියට්- බුද්ධික ජයවීර  

මොන තරම් හීන මාලිගා මැව්වද අපි 

ගඟක් අයිනේ....

ලී වලින් හදපු පුංචි ගෙදරක...

ඉස්තෝප්පුවේ වාඩිවෙලා...

උඹේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන දොයියගන්න

මම ගොවිපළට යන්න කලින්...

උඹව වඩාගෙන ඉඹින්න....

අපි දෙන්නා අත පටලගෙන

හඳ පායපු රෑක ගං ඉවුරේ....

ඔහේ ඇවිදගෙන යන්න...

උඹ ආසාවෙන් අහගෙන ඉන්නකොට

මගේ පිස්සු කතා ටික කියන්න.....

හීන් වැස්සක් වැටෙන රෑක

පැණි හඳ හොයාගෙන යන්න....

උඹ වගේම ලස්සන....

හඳක් වගේ මූණක් තියෙන කෙලි පැටියෙක් හදන්න....

මම වගේ දඟ කොලු පැටියෙක් හදන්න...

එතකොට ඌ මටත් වඩා උඹට ආදරේ කරන හැටි 

බලලා ඉරිසියා කරන්න....

ඒත් උඹ මාව දාලා ගිහින්....

මට කියන්නෙවත් නැතුව.....

ඇයි මම එනකල් හිටියේ නැත්තේ....

මම මුන්ට බය නෑ.... මම ආවේ උඹව අරන් යන්න....

ඒත් උඹ නෑ දැන්.....

නැගිටපන් ජුලියට්.... නැගිටපන්....

උඹ නැතුව මම මොනවා කරන්නද?

උඹ බොරුකාරි..... 

මාත් එක්ක හැමදාම එකට ඉන්නවා කියලා...

උඹ මාව දාලා ගිහින්.... මට කියන්නෙවත් නැතුව...

නැගිටපන් ජුලියට්..... නැගිටපන්....

මට තනියම මැරෙන්න බයයි....

මගේ අතින් අල්ලගනින්...

අපි දෙන්නම එකට මැරෙමු.....

මම උඹේ ආදර රෝමියෝ!

අප වෙත එවන ලද සියලු කවි පිළිබඳවත්, තෝරාගත් කවි ගැනත්, ඒවා තේරීමට ලක් කළ අයුරු සම්බන්ධවත් ඔබට දැනගන්නට අවැසි බව අප දන්නවා. එකී කාරණා වෙත එළැඹීමට ප්‍රථමයෙන් කිව යුතු වැදගත්ම කාරණාවක් තිබෙනවා. “මෙම සියලු කවි අධීක්ෂණයට ලක් කළේ නිර්නාමික ව” බව එකී කරුණ යි. ඉතිරි කාරණා ගැන ළහිරු කිතලගම මෙසේ පවසනවා;

කවිය යනු හුදු වචන ගැලපීමක් නොවේ. ප්‍රේමය වස්තුකොට ගෙන කවි ලිවීම නම් කුමනාකාර ප්‍රහර්ෂයක් ගෙන දෙන කටයුත්තක් ද?

මෙම නිර්මාණ අතළොස අතුරින්;

 

  • අපූර්ව ගුණය

 

  • නව්‍ය ආකාරයට යමක් සංරචනය කිරීමට ගෙන ඇති උත්සාහය
  • අනුභූතියේ සුවිශේෂීත්වය 

 

 

යන කාරණා සලකා බැලූව ද, සියලු නිර්මාණ පාහේ තවම ඇත්තේ ‘කවිය’ හඳුනාගන්නා වයසේ ය. නමුදු, ඒ අතුරින් වෙසෙස් නිර්මාණ කීපයක ඇති කවි ගුණය හේතුකොට ගෙන පළ කිරීමට සුදුසුයැ යි තීරණය කරමි.