Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

The X-Files ටෙලිකතා මාලාවේ තිරය පිටුපස කතා

ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ විදේශිය ටෙලිකතා මාලාවන් ගැන කතා කිරීමේ දී, ත්‍රාසජනකබව සහ අධි අස්වාභාවික ගතිය නොඅඩුව කැටි වූ “The X Files” නම් විද්‍යා ප්‍රබන්ධ කතා මාලාව ගැන සිහිපත් නොකර බැහැ. ක්‍රිස් කාටර්ගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ මෙම ටෙලි කතා මාලාව, වර්ෂ 1993 දී සිය පළවෙනි ටෙලිකතා අදියර (season 01) එක්සත් ජනපදයේ Fox නාලිකාව හරහා විකාශනය කෙරුනා. එතැන් සිට 2002 වර්ෂය දක්වා මේ කතා මාලාව විකාශය වූ අතර, ඒ වන විට The X Files ටෙලිකතා මාලාවේ අදියරයන් නවයක් විකාශනය වී තිබුණා. ඒ වන විට ලෝකය පුරා රටවල් බොහෝ ගණනක රූපවාහිනි නාලිකාවන් මේ ටෙලිකතා මාලාවේ විකාශන අයිතිය හිමිකරගෙන තිබූ නිසා, මිලියන ගණනක් වූ ප්‍රේක්ෂකයන්ට ෆොක්ස් මෝල්ඩර් සහ ඩේනා ස්කලීගේ වික්‍රමයන් දැක බලා ගැනීමට හැකි වුණා. වාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවකට පවා එම උනන්දුව තිබූ නිසා අපටත් මේ ජනප්‍රිය කතා මාලාව නැරඹීමට අවස්ථාව ලැබුණා.

ඩේනා ස්කලී සහ ෆොක්ස් මෝල්ඩර් එකිනෙකා හඳුනාගත් මොහොත/imdb.com/

2002 වර්ෂයෙන් පසු දශකයකටත් වැඩි කාලයක් පුරා The X Files කතා මාලාව ගැන කිසිදු තොරතුරක් රසිකයන් හමුවට පැමිණියේ නැහැ. නමුත් කතා මාලාවේ ජනප්‍රියත්වය එලෙසින්ම පැවතුණා. 2016 වර්ෂයේ දී කොටස් හයකින් සමන්විත වු කුඩා කතා මාලාවක් ලෙස The X Files කතා මාලාවේ දසවැනි අදියර එළි දැක්වුණා. බොහෝ ප්‍රේක්ෂකයන් දශකයකටත් වැඩි නිහඬතාව බිඳිමින් පැමිණි මේ නවතම අදියර දෙස බලා දුක් වුණා. එයට හේතු වුණේ ඩේනා ස්කලී සහ ෆොක්ස් මෝල්ඩර් සෑහෙන දුරට වියපත් වී සිටි නිසා යි. කෙසේ නමුත්, මේ වන විට The X Files ටෙලිකතා මාලාවේ අදියරයන් එකොළහක් විකාශයනය වී තිබෙනවා. ඉතින් මේ ලිපිය වෙන් වන්නේ The X Files කතා මාලාවේ තිරය පිටුපස සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට යි.

The X Files වෙත එල්ල වූ FBI සැකය

FBI කියන්නේ එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු භාරව සිටිනා රජයේ ආරක්ෂක ආයතනය යි. The X Files ටෙලිකතා මාලාව මුළුමනින්ම පාහේ ගොඩනැඟෙන්නේ මේ FBI ආයතනයට සේවය කරන ඒජන්තවරුන් දෙදෙනෙකු වටා යි. කල්පිතව ගොඩනැඟූ FBI ආයතන පරිසරයක සිටිමින් ඩේනා ස්කලී සහ ෆොක්ස් මෝල්ඩර් දෙපළ යුක්තිය පසිඳලීමට ගන්නා උත්සාහය ගැන සත්‍ය FBI ආයතනයේ අවධානය යොමු වුණා. 

කතා මාලාවේ නිර්මාණකරු වූ ක්‍රිස් කාටර්, තම නිර්මාණය උදෙසා තොරතුරු ලබා ගැනීමට වරෙක FBI ආයතනයට ගොස් තිබෙනවා. නමුත් FBI ඔහුව නොසලකා හැරි බව යි කියැවෙන්නේ. එහෙත් කතා මාලාවේ කුළුදුල් විකාශන කටයුත්ත ඇරඹීමට ආසන්න වනවිට FBI ආයතනය කතා මාලාවේ වැඩිදුර විස්තර ඉල්ලා ක්‍රිස් කාටර් හමුවීමට පැමිණ තිබෙනවා. ටෙලිකතා මාලාව තුළ තම ආයතනය නිරූපණය කරන අන්දම ගැන FBI ඒජන්තවරුන් සැලකිලිමත් වන බව ක්‍රිස් කාටර් තේරුම්ගත් අතර, ඔවුන් තම නිර්මාණයේ නිෂ්පාදන කටයුතු නතරකර දමාවියැ යි ක්‍රිස් කාටර් බියට පත්වුණා. නමුත් වාසනාවකට මෙන් FBI එවැනි ක්‍රියාමාර්ගයකට නොඑළඹුණු අතර, කතා මාලාව සඳහා තාක්ෂණික උපදෙස් ලබාදීමට පවා ඔවුන් ඉදිරිපත් වුණා FBI සාමාජිකයන් පවා මෙම කතා මාලාවේ රසිකයන් බවට පත්වුණු බව කියැවෙනවා.

FBI සංවිධානය විසින් The X Files නිෂ්පාදන කටයුතු නවතා දැමීමට කටයුතු කරාවියැ යි ක්‍රිස් කාටර් බියට පත්වුණා/huffpost.com/

පළමු කතා අදියරෙන්ම අසාර්ථක වන බවට අනාවැකියක්

1993 වර්ෂයේ පළ වූ “Entertainment Weekly” නම් සඟරාවක පළවූ ලිපියකින් The X Files කතා මාලාව පළමු කතා අදියරෙන්ම අසාර්ථක වනු ඇති බවට අනාවැකි පළ කළා. එකල සිකුරාදා රාත්‍රිය මෙම ටෙලි නිර්මාණයේ විකාශනය උදෙසා වෙන්කර තිබීම එතරම් ප්‍රායෝගික නොවන බව එම සඟරාව පෙන්වා දුන්නා.

 “සාමාන්‍යයෙන් මම වුණත් රූපවාහිනිය නැරඹීමට සිකුරාදා ගෙදර ඉන්නේ නැහැ”

ෆොක්ස් මෝල්ඩර්ගේ චරිතය නිරූපණය කළ ඩේවිඩ් ඩකෝව්නි පවා කතාවේ සාර්ථකත්වය ගැන සැක පහළ කරමින් සඟරාවට පවසා තිබුණා. නමුත් අවසානයේ දී The X-Files කතා මාලාව අතිශයින් සාර්ථක වූ අතර, එය එහි ප්‍රධාන චරිත ද්විත්වය සුපිරි තරු බවට පත්කරමින් රූපවාහිනියේ අනාගතය නැවුම් මානයකට රැගෙන ගියා.

එතරම් හිතවත්කමක් නැති ගිලියන් සහ ඩේවිඩ්

ෆොක්ස් මෝල්ඩර්ගේ චරිතය නිරූපණය කළ ඩේවිඩ් ඩකෝව්නි සහ ඩේනා ස්කලීගේ චරිතය නිරූපණය කළ ගිලියන් ඇන්ඩර්සන් කැමරාව ඉදිරියේ බොහොම අපූරු දෙපළක් ලෙස තම රංගන හැකියාව විදහා දැක්වූවා. කතා මාලාව තුළ ඔවුන් දෙදෙනා එකිනෙකා වෙනුවෙන් පෙනී සිටින අයුරු බොහෝ රසිකයන්ගේ සිත් පැහැර ගත්තා. නමුත් තිරය පිටුපස දී ඔවුන් එතරම් හිතවත්කම් පෙන්වූ දෙපළක් නොවන බව සඳහන් වෙනවා.

මුල් කාලයේ දී ගිලියන් සහ ඩේවිඩ් අතර යම් නොකැමැත්තක් තිබුණත් පසුකාලීනව ඔවුන් හොඳ මිතුරන් බවට පත්වුණා/imgur.com/

සතියේ බොහෝ දිනවල පැය 18ක් පුරා එක දිගට රූගත කිරීම් සිදුකිරීම ඔවුන්ගේ සබඳතාව කෙරෙහි අයහපත් ලෙස බලපෑ බව මෙම නළු නිළි දෙපළ පසුකලෙක ප්‍රකාශකර තිබුණා. ඔවුන් එකිනෙකා සමග කැමරාවෙන් බැහැරව කතා කිරීම ප්‍රතික්ෂේප කළ අතර, රැකියාවෙන් බැහැරව ඔවුන් එකට සමාජගත නොවී සිටීමට පවා පෙළඹුණු බව කියවෙනවා. ගිලියන් ඇන්ඩර්සන් කියා සිටියේ ඔවුන් එකිනෙකාට නොකැමැත්තෙන් සිටි බව යි. වරෙක ගිලියන් ඇන්ඩර්සන් The X-Filesහි රංගනය වෙනුවෙන් සම්මානයක් දිනාගත් අවස්ථාවේ දී තම රංගන සහයකයා වූ ඩේවිඩ් ඩකෝව්නිහට ස්තූති කිරීම පවා නොසලකා හැරියා. නමුත් කතා මාලාව 2002 වර්ෂයේ අවසාන වන විට ඔවුන්ගේ පැරණි අමනාපකම් නැතිව ගොස් තිබූ අතර, 2016 වර්ෂයේ නිකුත් වූ සීමිත කොටස් ගණනකින් යුත් කතා මාලාවේ දී ඔවුන් හොඳ මිතුරන් බවට පත්ව සිටියා.

දුම් බොන්න අකමැති වූ දුම්බොන්නා

The X-Files කතා මාලාවේ වඩාත් අකමැතිම හෝ දුෂ්ඨම චරිතය ගැන කතා කළහොත් බොහෝ දෙනෙකුට සිහිපත් වෙන්නේ අධික ලෙස දුම්පානයට ඇබ්බැහිව සිටින මහළු මිනිසෙක්. මොහු කතා මාලාව තුළ හඳුන්වන්නේ “සිගරට් ස්මෝකින් මෑන්” (සිගරට් බොන මිනිහා) වශයෙන්. කතා මාලාවේ ගලා යෑමත් සමග මෝල්ඩර්ගේ ප්‍රධාන සතුරා බවට පත්වුණු මේ චරිතයට පණ පොවන ලද්දේ විලියම් බී. ඩේවිස් නම් රංගන ශිල්පියා යි.  එක්තරා කාර්යාලයක සිට සාකච්ඡාවකට ඇහුම්කන් දෙන දර්ශනයකින් ඔහු මුලින්ම ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙනවා. නමුත් එම ජවනිකාවේ දී ඔහු කිසිදු දෙබසකට සහභාගී වන්නේ නැහැ. කතා මාලාවේ නිර්මාණකරුවන් මෙම කුඩා කොටස සඳහා පමණක් විලියම් බී. ඩේවිස් යොදා ගැනීමට මුල දී අදහස් කරගෙන සිටියත්, වචනයක්වත් පවසන්නට නැති එම කුඩා ජවනිකාව ඔහු විශිෂ්ඨ අයුරින් ඉදිරිපත් කළ අයුරු ඔවුන්ගේ සිත් ගත්තා. අවසානයේ ක්‍රිස් කාටර් ඇතුළු කණ්ඩායම තම අදහස වෙනස් කරගනිමින් “සිගරට් ස්මෝකින් මෑන්” චරිතය තවත් අතිරේක කොටස් 48ක් සඳහා එක්කර ගත්තා.

“සිගරට් ස්මෝකින් මෑන්” චරිතය නිරූපණය කළ විලියම් බී. ඩේවිස් දුම්බීම අතහැර දැමුවේ බොහෝ කලකට පෙර යි/allthingx.com/

මෙම චරිතය සම්බන්ධයෙන් කිවයුතු තවත් සුවිශේෂි වූ කාරණාවක් තිබෙනවා. The X Files කතා මාලාව තුළ අපට විලියම් බී. ඩේවිස්  දකින්නට ලැබුණේ නිතරම දුම් පානය කරන චරිතයක් ලෙස වුණත්, ඊට අවුරුදු විස්සකට පමණ පෙර පටන් ඔහු දුම් බීමෙන් වැළකුණ පුද්ගලයෙක් බව සඳහන් වෙනවා. නමුත් චරිතය සඳහා ඔහුට නැවතත් දුම්පානය කරන්න සිදුවුණා. පළමු කථාංග දෙකේ දී ඔහු සැබෑ දුම්වැටි භාවිතා කළ අතර, එවිට නැවතත් දුම්පානයට ආශාවක් ඇති වීමට පටන්ගෙන තිබුණා. තමා නැවතත් ඒ පරණ පුරුද්දට නතු වේවියැ යි බියපත් වූ ඩේවිස්, චරිතය රඟ දැක්වීම සඳහා නිකොටින් අඩංගු නොවන දුම්වැටි ලබා දෙන මෙන් කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබුණා.

පළඟැටියෙක් කටේ රුවාගත් ස්කලී

දෙවන කතා අදියරේ “Humbug” ලෙස හැඳින්වූ කථාංගයේ දී පළඟැටියෙකු අනුභව කරන දර්ශනයකට පෙනී සිටීමට ගිලියන්ට සිදුවුණා. නිර්මාණකරුවන්ගේ සැලැස්ම වුණේ ව්‍යාජ පළගැටියෙකු ගිලියන්හට ලබාදීමට යි. නමුත් ඇය සත්‍ය පළගැටියෙකු මෙම ජවනිකාව සඳහා භාවිතා කිරීමට තීරණය කළා.

Humbug නමැති කථාංගයේ දී ගිලියන් ඇන්ඩර්සන් සැබෑ පළඟැටියෙක් මුවෙහි රුවා ගත්තා/andnowsiblingcinema.blogspot.com/

“ඔවුන් ව්‍යාජ සතෙක් සෑදීම සඳහා ඩොලර් දහස් ගණනක් වියදම් කිරීමට සූදානම් වුණා. නමුත් මෙම කථාංගයේ සිටි එනිග්මා නම් පුද්ගලයා පළඟැටියන් 200ක් අප ඉදිරියේ අනුභව කළා. ඉතින් මා ද එක වතාවක් එය සැබෑවටම සිදුකිරීම ගැටලුවක් නොවේ ය කියා මට සිතුණා”

ගිලියන් ඇන්ඩර්සන් 1995 දී පීපල් සඟරාවට එලෙසින් පවසා තිබුණා. නමුත් ඇය සැබෑ ලෙසටම පළඟැටියා අනුභව කළේ නැහැ. ඇය එම සතාව සුළු මොහොතකට මුව තුළ රුවා ගෙන පසුව ඉවත්කර තිබෙනවා.

ෆොක්ස් ආයතනයට එරෙහි වූ ෆොක්ස් මෝල්ඩර්

ටෙලිකතා මාලාවේ සාර්ථකත්වය නිසා එහි නිෂ්පාදන කටයුතු සිදුකළ “20th Century Fox” ආයතනයට සහ ක්‍රිස් කාටර්ට විශාල මුදලක් උපයා ගැනීමට හැකි වුණා. මෙම සාර්ථකත්වය හමුවේ තමාට වංචාවක් වූ බව සිතූ ඩේවිඩ් ඩකෝව්නි, සත්වන කතා මාලාව විකාශනය වීමට මත්තෙන් 20th Century Fox ආයතනයට එරෙහිව නඩුවක් ගොනු කළා. ඔහු චෝදනා කළේ අදාළ සමාගම ඩොලර් මිලියන විසි පහකට වැඩි මූල්‍ය වංචාවක් තමාට සිදුකළ බව යි. චෝදනා ලැබූ ආයතනය The X Filesහි අයිති‍ය ඔවුන්ගේම අනුබද්ධ සමාගම්වලට අදාල වටිනාකමට වඩා අඩු මුදලකට ලබාදුන් බවත්, ක්‍රිස් කාටර් විසින් ඩේවිඩ් ඩකෝව්නි හට ලැබිය යුතු සැබෑ මුදල වංචා කිරීමට අදාල සමාගම් ජාලය සමග කුමන්ත්‍රණය කළ බවත් මෙම නඩුවේ දී එම පාර්ශවයන්ට චෝදනා එල්ල කෙරුණා.

මෙහිදී චෝදනාවට ලක්වූ ආයතනය එම කතා මාලාව ඔවුන්ගේ අනුබද්ධ සමාගම්වලට අඩු මුදලකට විකුණා ඇති වාතාවරණයක පවා, ක්‍රිස් කාටර් හට ඩොලර් මිලියන ගණනක් රහසිගතව ගෙවා තිබුණ බව සඳහන් වෙනවා. මේ සෑම දෙයක්ම ඉදිරියේ නිහඬව සිටීමට හිලව්  වශයෙන් 20th Century Fox ආයතනය තවත් කථාංග 13කට ක්‍රිස් කාටර් සම්බන්ධ කරගත් බව කියැවෙනවා.

අර්බුද හමුවේ ස්කලී සහ මෝල්ඩර් වෙනුවට ජෝන් ඩොගෙට් සහ මොනිකා රෙයස් නමැති විකල්ප චරිත දෙකක් ආදේශ කිරීමට නිර්මාණකරුවන්ට සිදුවුණා/bfi.org.uk/

ඩේවිඩ් ඩකෝව්නි හට ඩොලර් මිලියන විස්සක් ගෙවීමෙන් පසු මෙම නඩුව සමථයට පත්වුණා. නමුත් The X-Files සම්බන්ධයෙන් පැන නැඟුණු එකම වැටුප් ආරවුල මෙය නොවේ. කතා මාලාවේ ආරම්භක අවධියේ දී ගිලියන් ඇන්ඩර්සන්ට ගෙවා ඇත්තේ ඩේවිඩ් ඩකෝව්නිගේ වැටුප මෙන් අඩක් පමණක් බව ද වාර්තා වෙනවා.

ස්කලී සහ මෝල්ඩර් නොමැති “The X Files”

නඩු තීන්දුවෙන් ඩේවිඩ් ඩකෝව්නි හට සාධාරණයක් ඉෂ්ඨ වුණත්, කතා මාලාවේ ඉදිරි කතා සමයන් සඳහා නිත්‍ය රංගන ශිල්පියෙකු ලෙස එක්වීම ඔහු ප්‍රතික්ෂේප කළා. ඒ අනුව හත්වන කතා අදියර අවසාන වන විට ෆොක්ස් මෝල්ඩර් පිටසක්වළ ජීවින්ගේ පැහැරගැනීමකට ලක්වෙන සේ කතාව සැලසුම් කෙරුණු අතර, අටවන කතා අදියරේ පවා මෝල්ඩර් ප්‍රධාන භූමිකාවක දැක ගැනීමට රසිකයන්ට හැකි වෙන්නේ නැහැ. තිරය පිටුපස වූ සටනක් නිසා තිරය ඉදිරියෙනුත් ඩේවිඩ් ඩකෝව්නි එලෙසින් ඉවත්ව ගියා. මෝල්ඩර් නොමැතිව කතාව අසාර්ථක වේවි යි ක්‍රිස් කාටර් බියට පත් වුණා. නමුත් ෆොක්ස් මෝල්ඩර්ගේ භූමිකාව වෙනුවට විශේෂ නියෝජිත ජෝන් ඩොගට් නම් චරිතයක් ආදේශ කිරීමට ක්‍රිස් කාටර් සමත් වුණා. එම චරිතයට පණ පොවන ලද්දේ රොබට් පැට්‍රික්.

නවවන කතා අදියර වන විට ඩේවිඩ් ඩකෝව්නි සම්බන්ධයෙන් වූ ගැටලු තරමක් දුරට විසඳී තිබුණත්, නිර්මාණකරුවන්ට තවත් අභියෝගයකට මුහුණදීමට සිදුවුණා. ඩේනා ස්කලීගේ චරිතය රඟපෑ ගිලියන් ඇන්ඩර්සන් ද කතා මාලාව වෙනුවෙන් තම දායකත්වය අවම කිරීමට තීරණය කළා. ඒ අනුව ඇයගේ හිඩැස පිරවීමට මොනිකා රේයස් නමැති චරිතයක් කරළියට පැමිණුනා. එම චරිතයට පණ පොවන ලද්දේ ඇනබෙත් ගිෂ් විසින්. හඳුන්වාදුන් අළුත් චරිත සමග කතා මාලාව තවත් වසර දෙකක්වත් රැගෙන යාමට ක්‍රිස් කාටර් ඇතුළු කාර්ය මණ්ඩලය බලාපොරොත්තු වුණා. නමුත් මෝල්ඩර් සහ ස්කලී යනු The X Files කතා මාලාවේ ආත්මය බඳු වූ දෙපළක්. මේ හේතුවෙන් The X Files කෙරෙහි තිබූ ප්‍රේක්ෂක අවධානය සහ ජනප්‍රියත්වය එන්න එන්නම පහත වැටුණා. ඒ අනුව නැවත ගිලියන් සහ ඩේවිඩ් කතාව සම්බන්ධයෙන් ස්ථාවරත්වයකට පැමිණෙන තුරු ඉදිරි කතා අදියර නවතා දැමීමට කාර්ය මණ්ඩලය තීරණය කළා. නමුත් එය සිතුවාටත් වඩා දීර්ඝ කාලයක් වුණා. දශකයටත් අධික කාලයකට පසු, 2016 වර්ෂයේ දී ගිලියන් ඇන්ඩර්සන් සහ ඩේවිඩ් ඩකෝව්නි නැවතත් The X Files වෙනුවෙන් එක්වුණා.

දශකයට අධික කාලයකට පසු, 2016 දී මෝල්ඩර් සහ ස්කලී තම ඉදිරි වික්‍රමයන් වෙනුවෙන් නැවත එක්වුණා/theguardian.com/

The X Files ටෙලිකතා මාලාව කථාංග රාශියකින් සමන්විත වූ අතිශයින්ම ජනප්‍රිය නිර්මාණයක් නිසාම ඒ හා සබැඳි තිරය පිටුපස සිදුවීම් බොහෝමයක් තිබෙනවා. මෙම ලිපියෙන් මූලිකවම අවධනය යොමු කළේ මේ අපූරු නිර්මාණයට දායක වූ පුද්ගලයන් සමග බැඳුණු තිරයේ පිටුපස කතා පමණ යි. නමුත් මෙම නිර්මාණය උදෙසා භාවිතා කළ තාක්ෂණය, පසුබිම් තල නිර්මාණය, රංගන ශිල්පීන්ගේ දක්ෂතා සහ කැපවීම සම්බන්ධයෙන් වූ රසවත් කතා රාශියක් තිබෙනවා. ඒවා ගැන තවත් ලිපියක් පසු කාලීනව ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

Cover photo: outoflives.net

මූලාශ්‍රයයන්: screenrant.com/

cbr.com/

Related Articles