පසුගිය සතියේ බුද්ධිමය දේපල නීති ක්‍ෂේත්‍රය පිලිබඳව කෙටි හැඳින්වීමක් අප ඔබ වෙත ගෙන ආවෙමු. එහිදී සිදු කල මූලික හැඳින්වීමට අමතරව විවිධ බුද්ධිමය දේපල අංශයන් වෙත ඔබේ විශේෂ අවධානය යොමු කරනා ලිපි පෙළක් ගෙන එන්නට අපි පොරොන්දු වුනා ඔබට මතක ඇති. ඒ අයුරින්ම, ඕනෑම නව නිපැයුමක් වෙත රජය විසින් ලබා දෙන නීතිමය රැකවරණය හෙවත් “පේටන්ට්” බලපත්‍ර හා සබැඳෙන නෛතික පරිසරය වෙත ඔබේ අවධානය යොමු කරන්නයි අද අපේ සූදානම.

ඔබේ නිර්මාණශීලී සිතුවිල්ලක ප්‍රථිඵලයක් ලෙස එලිදකින නව නිපැයුම් සඳහා ලබාගත හැකි නෛතික වටිනාකම පේටන්ට් බලපත්‍රයයි. අතීත මානවයා විසින් රෝදය සොයාගැනීමේ සිට අද දක්වා අප පැමිණි මග දෙස බැලීමේදී හැඟීයන්නේ, විද්‍යා  හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි හිනි පෙත්තටම නැග වැජඹෙන්නට අපට අද හැකිව ඇත්තේ නව නිපැයුම් වල පිහිටෙන් බවයි. ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් විසින් ඇමරිකාවේ පළමු පේටන්ට් බලපත්‍රය ප්‍රධානය කරන ලද අවස්ථාවේදී පේටන්ට් බලපත්‍රයක් යනු සහජ දක්ශතාවයන්ගෙන් යුතු වූවන්ගේ නිර්මාණශීලි ගින්නට එක් කරන ලද ඉන්ධනයක් වැනියැයි ප්‍රකාශ කළේ එහෙයිනි. විටෙක මිනිසාට කළ නොහැකියැයි සම්මතව සිහිනයකට පමණක් සීමාවී තිබුනු බොහෝ දේ අද වනවිට සැබෑවක්ව ඇත. දුරකථනය, ගුවන් යානය, සුවකළ නොහැකියැයි සිතූ රෝග නිට්ටාවටම සුව කළහැකි පෙනිසිලින් වැනි ඖෂධ වර්ග ආදී එකී මෙකී නොකී සියල්ලකම ගැබ්ව ඇත්තේ මිනිස් මනසෙහි හටගත් එක් කුඩා අදහසක කූටප්‍රාප්තියයි.

(techcrunch.com)

පේටන්ට් බලපත්‍රයක් යනු යම් නව නිපැයුමක් සඳහා ලබාදෙන අනන්‍යවූ අයිතියකි (Exclusive  right). ඒ හරහා තමාට රිසි පරිදි තම නිර්මාණය භාවිතා කිරීමට හා විකිණීමට නව නිපැයුම්කරුට අවස්ථාව සැලසේ. පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමේදී සලකා බැලෙන මූලිකම නිර්ණායකය වනුයේ “නව්‍යතාවය” හෙවත් Novelty යන්නයි. නව්‍යතාවයෙන් යුතු නිපැයුම් සදහා අයිතිය ලබා දීම සහ වෙනත් පුද්ගලයින් එම නිර්මාණය හරහා වාසි උපයා ගැනීම වළක්වාලමින් රජය විසින් මෙම සහතිකය පිරිනමනු ලැබේ. 15 වන සියවසේදී පේටන්ට් ක්‍රමය ලොවට හඳුන්වා දුන්නද අතීත ග්‍රීක ශිෂ්ටාචාරය තුළද පේටන්ට් හා සමාන යම් ලිඛිත ලියවිල්ලක් නව නිපැයුම්කරුවන් වෙත ලබා දුන් බවට සාක්ෂි පවතී. ශ්‍රී ලංකාව තුල මුල්ම පේටන්ට් බලපත්‍රය ලබා දුන්නේ 1861 වර්ෂයේදීය. කෝපි ඇට කුඩු කිරීමේ යන්ත්‍රයක් නිපදවූ බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවකු විසින් එම බලපත්‍රය හිමිකරගන්නා ලදි.

පේටන්ට් බලපත්‍රයක් ලබා දීම හරහා රජයක් විසින් ඉටු කරගැනීමට අපේක්ෂා කරන අරමුණු තුනකි. එනම්, නවෝත්පාදකයින්ගේ අදහස් හරහා කාර්මික නිපැයුම් වඩවඩාත් උත්තේජනය කිරීම, ඔවුන්ට අයිතිවාසිකම් ලබාදීමෙන් ඔවුන් වෙත සීමිත වෙළෙඳපොළ ඒකාධිකාරයක් ගොඩනංවාදීම හා නව විද්‍යා හා තාක්ෂණ දැනුම් සම්භාරයන් මහජනතාව වෙත ව්‍යාප්ත කිරීමයි. මේ පිලිබඳව වඩාත් ලිබරල් මතයන් දරන ඇමරිකානුවන්ගේ අදහස නම්, මේ ඉර හඳ යට පවතින ඕනෑම මනුෂ්‍ය නිෂ්පාදනයකට පේටන්ට් බලපත්‍රයක් ලබාගතහැකි බවයි. මෙවැනි මතවාදයන් හේතුවෙන් වර්තමානය වන විට විද්‍යාඥයන් විසින් නිශ්පාදනය කරනු ලබන නව බැක්ටීරියාවන් වැනි ක්ෂුද්‍ර ජීවීන්ට පවා පේටන්ට් බලපත්‍ර ලබාගැනීමට හැකියාව උදාවී ඇත.

ශ්‍රී ලංකාවේ නීති තත්වය

2003 අංක 37 දරණ බුද්ධිමය දේපල පනතට අනුව, තාක්ෂණික හෝ විද්‍යා ක්ෂේත්‍රයේ පැවති නිශ්චිත ගැටළුවක් විසඳීම සඳහා, ව්‍යවහාරයෙහි ලා උපයෝගී කරගත හැකි (එනම්, ප්‍රායෝගිකව භාවිතා කළ හැකි) නව නිපැයුම්කරුවකුගේ සංකල්පනාවන් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාදීමට මෙරට රජය සූදානම්ය. කෙසේවෙතත්, නව නිපැයුම් ගණයට අයිති වුවද, විද්‍යාත්මක න්‍යායන් හා ගණිත සමීකරණයන්ට පේටන්ට් බලපත්‍ර හිමි නොවන අතර, පැළෑටි, සතුන් හා ස්වභාවිකව සෑදී ඇති ක්ෂුද්‍ර ජීවීන් සඳහාද පේටන්ට් හිමිනොවේ.

මීට අමතරව, ප්‍රායෝගික භාවිතාවන්ගෙන් තොර හුදු සංකල්ප සඳහා හෝ දැනට පවත්නා තාක්ෂණික ගැටළුවකට විසඳුමක් නොසපයන නිපැයුම් සඳහා පේටන්ට් හිමි නොවන බව බුද්ධිමය දේපල පනත සඳහන් කර සිටී. නමුත්, අදාල නිපැයුම යම් ක්‍රියාවලියක් වන්නේ නම් හෝ, නිෂ්පාදායකට හෝ ක්‍රියාවලියකට දායක කරගත හැකි යමක් වන්නේ නම් එවිට පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමේ හැකියාව නවෝත්පාදකයා සතු වේ.

සැපිරිය යුතු කොන්දේසි

බුද්ධිමය දේපල පනත දක්වන පරිදි යම් නිපැයුමක් නව්‍යතාවයෙන් යුතුවේ නම්, එහි නව නිපැයුම්කාරී පියවරක් තිබේ නම් හා එම නිපැයුම කාර්මික වශයෙන් යොදාගත හැකි එකක් වේනම්, එවැනි නිපැයුමක් සඳහා වසර විස්සක කාලයකට පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට හැකිවේ. මෙහිදී ජාතික බුද්ධිමය දේපල කාර්‍යාලය විසින් පේටන්ට් බලපත්‍රය ඉල්ලා සිටින නව නිර්මාණය හා සමාන නොපැයුමක් මින් පෙර නිපදවා තිබේදැයි සොයා බැලේ. මීට අමතරව, අදාල නිපැයුම මින් පෙර කිසියම් අවස්ථාවකදී අනාවරණයවී තිබේදැයි විමසාබැලේ. ඒ අනුව, අදාල නිර්මාණය මින් පෙර වාචිකව, ලිඛිතව හෝ ප්‍රායෝගික භාවිතය මගින් මින් පෙර ලොව කොතැනකදී හෝ මහජනතාව වෙත අනාවරණ වී ඇත්නම් එවැන්නකට පේටන්ට් බලපත්‍රයක් හිමි නොවේ. මෙය විශ්වීය නව්‍යතාවය හෙවත් “Universal novelty” ලෙස හැඳින්වේ.

සාමාන්‍යයෙන් පේටන්ට් බලපත්‍ර ලබාගැනීමේදී උද්ගත වන ගැටළුවක් නම් එක හා සමාන නිර්මාණයන් පැවතීම හා ඒවාට පේටන්ට් බලපත්‍ර අයදුම් කර තිබීමයි. එවිට බලපත්‍රය ලබාදිය යුත්තේ ප්‍රථමයෙන්ම අයදුම්පත ඉදිරිපත්කල පුද්ගලයා වෙතය. මෙම ක්‍රමය “First to file system” නම් වේ. ඒ අනුව තම නිර්මාණයට බලපත්‍රයක් හිමි වී නැති වුවද ජාතික බුද්ධිමය දේපල කාර්‍යාලය වෙත අදාල නිර්මාණය පිලිබංදව අයදුම්පතක් ඉදිරිපත් කොට තිබේ නම් එම නිර්මාණයට පූර්වතාවය හිමිවේ.

අදාල නිපැයුම මගින් තාක්ෂණික ක්ෂේත්‍රයේ දියුණුවට දායකත්වයක් සපයා ඇත්දැයි පරීක්ෂා කිරීමද මෙහිදී සිදුවේ. මෙය “Combined Referencing test” යනුවෙන් හැඳින්වෙන අතර එහිදී අදාල නිපැයුම තාක්ෂණික ක්ෂේත්‍රයේ පවතින දැනුම් සම්භාරයන් සමගින් සංසන්දනය කරමින් අභියෝගයට ලක් කෙරේ. මෙම කඩඉම තරණය කිරීම ඉතා අසීරු වන අතර, ඒ හේතුවෙන් බොහෝ අවස්ථා වලදී නවෝත්පාදකයින් අධෛර්යමත් වනුද දැකිය හැකිය.

(timeshighereducation.com)

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පේටන්ට් නීති පද්ධතිය ඉතා සියුම් එකක් වන අතර, ඒ හේතුවෙන් මෙරටින් වසරකට බිහිවන පේටන්ට් ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් බවට පත්ව ඇත. චීනය, ජපානය, දකුණු කොරියාව හා ඇමරිකාව වැනි රටවල් සමග සැසදීමේදී අප ඉතා පසුගාමී තත්වයක පසුවනු පෙනේ.

ඊට මූලික හේතුව මෙම නීති පද්ධතියේ පවතින සංකීර්ණ භාවයයි. එපමණක් නොව, නවෝත්පාදකයන් සහ නිර්මාණශීලී හැකියාවන්ගෙන් හා දක්ෂතාවයන්ගෙන් යුතු අයට නිසි ගෞරවයක් හෝ ඇගයීමක් නොලැබීම හේතුකොටගෙනද නව නිර්මාණ බිහි නොවන තත්වයක් උදාවී ඇත.  සැබවින්ම එය අනව සම්පත අපතේ යැවීමකි.

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී යන මැයෙන් එදා කුමරතුඟුවන් පැවසූ දේ සත්‍යයකි. මුළු මහත් මානව සංහතියේම අනාගතය වෙනස් කිරීමට එක් අදහසක් පමණක් වුවද සෑහෙන බව ඉතිහාසය අපට පුන පුනා පවසා ඇත. එවන් අදහස් වල අග්‍ර ඵලය භුක්ති විඳිමින් පමණක්ම නොසිට, තව තවත් මිනිස් මනසෙහි හටගන්නා නිර්මාණශීලී සිතුවිලි වල ප්‍රබලත්වය ඔස්සේ ඉදිරියට යාමට අප නොපැකිල කටයුතු කල යුතු බව මතකයෙහි තබාගත යුතුය. ඒ සඳහා පවතින නෛතික බාධකයන් ඉවත් කොට වඩාත් සුහදශීලී නීති පද්ධතියක් නිර්මාණය කිරීම මෙන්ම නවෝත්පාදකයින් දිරිගැන්වීම රජයේ වගකීමකි.

කවරයේ රූපය – static1.squarespace.com