Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වරිගසභා ගැන ඔබ නොදත් දේ

සිංහලයන් අතරින් අභාවයට ගිය ග්‍රාමීය නීති ක්‍රමයක් වූ වරිග සභාව වැදි ජනයා අතර සහ අහිගුන්ඨක ගෝත්‍රිකයන් අතර දැනටත් ක්‍රියාත්මක වෙනවා. වැදිනායක වන්නියලැඇත්තන් රටේ කොතැන වැදි රැහේ කවුරු වැරැද්දක් කළත් වරිග සභාවේ දී තීන්දු  ලබාදෙනවා. ඉතින් මේ අපූරු නීතිය ගැන කරුණු ටිකක් ඔබ වෙත ගෙන එන්නට තමයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.

පැරණි ගැමි සමාජය. (english.ceylonchristian.com)

මෑතක දී වරිග සභාව මතු වූ අවස්ථාවක්

වරිග සභාව පාරම්පරික වැව් ගම්මානවල ක්‍රියාත්මක වුණේ 1948ටත් පෙර යි. ඒත් වර්ෂ 1970 අනුරාධපුර දිසා අධිකරණයේදීත් එය ක්‍රියාත්මක වන අයුරැ විනිසුරුවරයෙකුට දැකගන්නට ලැබුණා. ඒ ජ්‍යෙෂ්ඨ නීති විශාරදයකු වූ වෝල්ටර් ලද්දුවහෙට්ටිට යි.

විනිශ්චයාසනයේ සිටි ඔහුට දැකගන්නට ලැබුණේ විත්ති කූඩුවේ සිටින ගැමි තරැණයකු හා පැමිණිලි පාර්ශ්වයේ සිටි ගැබ්ගත් තරුණියක්. මේ අතර සාක්ෂ්‍යකරුවන් වශයෙන් පැමිණ සිටියේ රැවුල වවාගත් බමුණන් සේ පිටින් පෙනෙන මහලු ගැමියන් සිව් දෙනෙක්. ඔවුන් සාක්ෂ්‍යකරුවන් ලෙස පැමිණ සිටි ස්වරෑපයෙන් යම්කිසි වෙනසක් විනිසුරැවරයාට දැනුණා. ඔහු ඔවුන්ගෙන් ඒ ගැන විමසුවේ ඒ නිසා යි.

අපි ගමේ වරිග සභාවේ සාමාජිකයෝ. අපේ නියෝගයකට, තීන්දුවකට යටත් නොවී අපේ ගම්වල වැඩකළ නොහැකි යි. අපට සිංහල රජ කාලේ සිට ගමේ නඩු විසඳීමට බලය ලබාදීලා තිබෙනවා. අපට රාජ පරම්පරාවලින් උරැම වූ අයිතියක් තිබෙනවා”, සාක්ෂ්‍යකරුවෝ කියා සිටියා.

මෙම නඩුවට නිමිත්ත වූයේ සිංහල-මුස්ලිම් පෙම් හබයක්. කහටගස්දිගිලිය පැත්තේ තරැණයකු සතුව ට්‍රැක්ටරයක් තිබුණා. එය කුඹුරු වැඩ සඳහා වෙනත් සිංහල ගමකට රැගෙන ගියා. මුස්ලිම් තරැණයා කුඹුරු වැඩ කාලයේ එම ගමේ කඩයක් තිබූ නිවසක නවාතැන් ගත් අතර, එම නිවසේ තරුණ දියණියක් හා පෙමින් බැඳුණා.  

උගුරට හොරා බේත් කෑවත් තරුණිය ගැබිණියක වූ පසු රහස හෙළිදරව් වුණා. අනුරාධපුර උසාවියට ඔවුන් පැමිණ සිටියේ තරැණයාට එරෙහි නඩත්තු නඩුවක් සඳහා යි. කුල නීතිය බිඳෙන නිසා මුස්ලිම් තරැණයා සමග විවාහ විය නොහැකි බව එහි දී කියැවුණා. තරුණියගේ පාර්ශවයෙන් පැමිණ සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතෙක්. ගමේ වරිග සභාවෙන් පැමිණ සිටි සාක්ෂ්‍යකරුවන් සිව්දෙනා තරැණිය වරිග නීතිය බිඳදමා ඇති බවට කරුණු ඉදිරිපත් කළා.

තීන්දුව

රෝම-ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරන ලද්දුවහෙට්ටි විනිසුරුවරයා තුළ වරිග සභාව ගැන විශාල කුතුහලයක් හටගත්තා. ඔහු උසාවිය හමාර වූ වහාම අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ පුස්තකාලයට ගියා.

“මම රාඝවන්ගේ “කාස්ට්” පොත යි, තව පොත් කිහිපයකුයි සොයාගත්තා. ඒවායේ වරිග සභාව ගැන තොරතුරු සමහරක් තිබුණා. එදා මහා රෑ වෙනකන් ඒ පොත් කියෙව්වා. කියවගෙන යද්දී මේ ගැන මගේ තිබුණු උනන්දුව තවත් වැඩිවුණා. තවත් තොරතුරු සෙවීමට අනුරාධපුර අටමස්ථානාධිපති උඳුරව හේරත්හල්මිල්ලෑව ශ්‍රී සුමනරේවත හිමියන් වෙත යොමුවුණා.

උන්වහන්සේ මට ඒ කාලේ ගම්වල ක්‍රියාත්මක වූ වරිග සභාවේ බලය ගැන තේරුම් කරල දුන්නා. වැරැද්දකට හසු වී ගමෙන් පිටමං කළ කෙනෙකුට ගිනිපෙනෙල්ලක් පවා ලබාදීමෙන් එසේ දුන් පුද්ගලයා ද වරදට හසුවෙන තරම් ඒ නීතිය බලවත් බව මට වැටහුණා.

එදා ගැමි ගෙදරක්. (elakiri.com)

ඒ කාලේ හල්මිල්ලෑව ගමේ කෙනෙක් හරකෙක් සොරකම් කරලා අහුවෙලා වරිගෙන් පන්නලා තිබුණා. ඔහුට ජීවිත කාලය පුරාම ගමට ඒම තහනම්. ඥාති සම්බන්ධතාත් තහනම්. ඒ අනුව මෙය ගම්වල අනන්‍යතාවය ආරක්ෂා කළ බලවත් ප්‍රාථමික නීති පද්ධතියක් බව මට වැටහුණා. මම කියවපු පොත්වලින් ලබාගත් දැනුම යි, ස්වාමින්වහන්සේගෙන් ලබාගත් තොරතුරුයි එකතු කරගෙන උසාවියට ගියා නඩු තීන්දුව ලබාදීමට”, විනිසුරුවරයා තැනෙක සඳහන් කොට තිබුණා.

පසුදින උසාවියේ දී, වෝල්ටර් ලද්දුවහෙටට්ටි විනිසුරුවරයා ලබාදෙන තීන්දුව කුමක්දැ යි නඩුවට පාදක වූ තරුණියගේ ඥාතීන් දෑස් දල්වාගෙන බලා සිටියා.

වර්තමාන නීතිය කෙසේ වුවත් පුරාණයේ පටන් සිංහල වැව් ගම්මානවල බලපැවැත්වූ වරිග සභාවේ නීතියට මම ගරු කරනවා. එහි බලය මම පිළිගන්නවායැ” යි පැවසූ විනිසුරැවරයා වරිග සභාවට නීතිමය පිළිගැනීම ලබාදුන්නා. එම නඩුව අධිකරණ ක්ෂේත්‍රය කැළඹූ නඩු තීන්දුවක් වුණා.

වරිගසභා ගැන ගවේශන

1980 දශකයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු රූපවාහිනී වැඩසටහනක් සඳහා වරිග සභාව පිළිබඳව කරුණු ගවේශනය කළා. ඉන් අනාවරණය වූ නුවරකලාවියේ ගම්මානවල පැවති වරිග සභාව ගැන තොරතුරු ඔහු රූපවාහිනිය ඔස්සේ හෙළිදරව් කළා.

“මේ තොරතුරු දැනගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තරුණයන් පිරිසක් ඒ ගමකට ගිහින් වරිග සභාව ගැන හාරා අවුස්සල තිබෙනවා. ඒ ගමේ වැඩිහිටියො අපට ඒ ගැන දොස් කිව්වා. මේවා පරම්පරාගතව රැකගෙන එන රහස් බවත්, ඒවා ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම වැරදි බවත් ඔවුන් අපට කිව්වා”, මහාචාර්ය පල්ලියගුරු අපට පැවසුවා.

1940 දශකය වන තෙක් සිංහල වැව් ගම්වල බලපැවැත්වූ වරිග සභාව, නිදහස ලැබීමෙන් පසු ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙත් එහි බලපෑමේ නෂ්ටාවශේෂ බොහෝ කාලයක් යනතුරු එම ගම්වල පැවතුණා. මුල් කාලයේ පැරණි ගම්මානවල ජීවත්ව සිටියේ එක් කුලයකට අයත් ජන පිරිසක් පමණයි. මේ නිසා එම ගම්මානවලට කුලගොත් ආශ්‍රිත අනන්‍යතාවයක් ලැබුණා.

නවීකරණය වූ අද සමාජයේ කුල ගෝත්‍ර ආරක්ෂා කිරීම අසීරු යි. අද කුලය යන්න සඳහන් කිරීමට පවා නොගැලපෙන දෙයක් ලෙස සැලකෙනවා. පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ වාරි සංවර්ධන වැඩසටහන් නිසාත් ගම්වල පැරණි සංස්කෘතිය විශාල දෙදරීමකට ලක්වුණා. විවිධ ජනවර්ගවල, විවිධ කුලවල පිරිස් ගොවි ජනපදවල එකම ගම්මානවල පදිංචි කෙරැණා. ඒ නිසා පිරිසිදු කුලයක් කියන සංකල්පය අදට වලංගු නැහැ”, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු තවදුරටත් පැහැදිලි කළා.  

වරිග සභාවේ ක්‍රියා පිළිවෙත

වරිග සභාවේ ක්‍රියාකාරිත්වය දෙස බැලීමේ දී එය යුක්තිය පසිඳලන ක්‍රමයක් ලෙස සාර්ථක වීමට හේතු එහි නීති තුළම වූ බව පේනවා. වරිග සභාවේ පැමිණිලි බාරගැනීම පවා පිළිවෙලකට කළ යුතු වූ දෙයක්. යම්කිසි බලවතෙකුගේ බලපෑමට හෝ හිතවත්කමට නඩු විසඳීමේ පිළිවෙල කැඩීම ද බලවත් වරදක්. එය හඳුන්වා ඇත්තේ බුලත් වැරැද්ද යනුවෙන්. වරිග සභාව රැස්වන අවස්ථාවල දී ආහාර පාන ලබාදීමට යම්කිසිවකුට පැවරෙන අතර එය මඟහැරීම බත් වැරැද්ද නම් වෙනවා.

එදා ගැමි පොළක් lankapura.com

වරිග සභාවේ දී වැරැද්ද යන්න හඳුන්වන්නේ “කුලය” යනුවෙන්.

වරිග සභාව රැස්වීමට ගම්වල උසාවියට මෙන් නිශ්චිත ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ. වරද හටගත් පවුලේ ඥාතීන් එක්ව වරිග සභාවට රැස්වීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩක මඩුවක් තැනිය යුතු යි. එහි පිරුවට ඇද, වියන් බැඳ සැකසිය යුතු යි. රැස්වීම පැවැත්වෙන දින වරදට හසුවූ පවුලේ ඥාතීන් සහ වරදකරුවන් එයට රැස්වී සිටිය යුතු යි.

පසුව වරිග සභා සාමාජිකයන් වන පටබැඳි නිලධාරියා, හේනයා, කන්දයා, විදානේ, වන්නි ගෝත්‍රයේ ප්‍රධානියෙකු යන සාමාජිකයන් පස් දෙනා පැමිණ නඩු විසඳීම අරඹනවා. සාක්ෂ්‍ය විමසා, වරද තෝරා ගන්නවා. මෙහි දී නීතියේ සාධාරණත්වය උදෙසා තවත් නියෝගයක් ද ක්‍රියාත්මක වෙනවා. ඒ, වරද හඳුනාගන්නා තුරු සභාවට පැමිණි කිසිවකුට වරද කළ ගෙදරින් (තහනම් ගෙදරින්) කෑම ගැනීම තහනම් වීම යි.

වරද හටගත්තේ ගොවිගම කුලයට අයත් ගෙදරක නම් ඉහත කී සාමාජිකයන් පස්දෙනා නඩුව විසඳනවා. වෙනත් කුලයක (ශුද්‍ර කුලයක) නම් ඒ නඩුව ඔවුන්ගේ ගෝත්‍රයේ අයම විසඳා, එම සෝලිය රට සභාවට ඉදිරිපත් කළ යුතුයැ යි නීතියක් එදා තිබුණා.

යම් ස්ත්‍රියක් ස්ව කැමැත්තෙන් වෙනත් ජාතියක අයෙකු හා විවාහ වීම ගරාපු කුලය නමින් හැඳින්වුණා. මෙය නිවැරදි කළ නොහැකි බරපතල වැරැද්දක් ලෙස එකල සැලකුණා. එහෙත් නොදැනුවත්කමින් හෝ බලහත්කාරකමක් නිසා ස්ත්‍රියකගෙන් සිදුවන කුල දූෂණය නිවැරදි කළ හැකි වැරැද්දක් ලෙසයි සැලකුණේ.

වරිග සභාවෙන් විසඳිය යුතු වරදක් ගමක සිදුවීම එම ගමටම විශාල ලජ්ජාවකට කරුණක්. එවිට බද්දෙරාළ නම් පුද්ගලයා එම ගමට මඟුල් තුලා ආදිය තහනම් කරනවා. ඊට පසු ගමම තීන්දුව දෙන තුරු නොඉවසිල්ලෙන් පසුවෙනවා.

වරිග සභාවේ නීති

වරිග සභාවේ විනිශ්චය සඳහා භාවිත කරන කුල නඩු සම්බන්ධව නීති 16ක් තිබෙනවා. ඒ ගැන මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි සිය “සිංහල සිරිත් සංග්‍රහය” පොතේ දක්වා තිබෙනවා.

පැරණි ගැමි කඩයක්  lankapura.com
  •   වරිගයෙන් පිට විවාහයෙන් බැඳීම
  •   කුලයට නුසුදුසු දෙයක් කිරීම – පහත් යයි සම්මත කුලයක අයකු හා විවාහ වීම හෝ ස්ත්‍රියක් එවැනි පුරුෂයකු සමග යාම
  •   සැමියා මියගිය විට දී වෙනත් පුරුෂයකු හා රහසේ බැඳී ගැබිනියක වීම
  •   දෙමළ, මරක්කල, හෝ වෙනත් පිටස්තර ගැහැනියක සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම
  •   නැන්දාගේ දුව හැර වෙනත් ඥාති තරුණියන් හා එක්වීම
  •   වරිග සභාවේ තීන්දුවකින් කුලයෙන් පහතට හෙළා ඇති අය සමග නෑදෑකම් පැවැත්වීම
  •   පිට වරිගක්කාරයන් සමග මගුල් තුලාවල දී එකට කෑම ගැනීම
  •   යම් වරදක් නිසා තහනම් කර ඇති අය සමග කුල සිරිත් පැවැත්වීම
  •   අඩු කුලයක පුද්ගලයන් පාවාදී තමාගේ ඥාතීන්ට බැණ වැදීම
  • හේතුවක් නැතිව යමෙකුට බැණ වැදීම
  • වරිග සභාවට අවනම්බු වන සේ හෝ සභාවට අපහාස වන ලෙස කතා කිරීම
  • වරිග සභා තීන්දුවට අකීකරු වීම
  • කලින් අවසර ලබානොගෙන වරිග සභාවේ දී කතා කිරීම
  • සභාවේ දී අතපය දිගුකොට කතා කිරීම
  • ගමරාළගේ නියමය පරිදි සභාවේ ප්‍රධානියාට දියයුතු සංග්‍රහ නොකිරීම
  • සභාවට යොමුකරන පැමිණිලි සියල්ලක්ම බාර ගැනීමට පෙර යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම

වරිග සභාවේ දී දෙන දඩුවම්

වරිග සභාවේ දී දෙන දඬුවම් මෙසේ යි.  

  •         1 සිට 5 දක්වා වන නීති කඩකළ අයට රිදී කාසි 500ක දඩයක්
  •         6-7 නීති කඩකළ අයට දඩය රිදී කාසි 50කට නොවැඩි විය යුතුය
  •         10 වැනි නීතියට දඩය රිදී කාසි 12කි.
  •         11 වැනි නිතියට දඩය රිදී කාසි 7කි.
  •         12 වැනි නීතිය කඩකළ විට වරිගයෙන් පලවා හැරේ
  •         13-14 නීතිවලට දඩය රිදී 2කි
  •         15 වැනි නීතියට දඩය රිදී 7යි
  •         16 වැනි නීතියට රිදී 2ක් හා බුලත් දිය යුතු ය

මේ නීති අද අපට නම් පුදුමයක් වගේ පෙනෙනවා. අද සමාජයට ඒවා නොගැලපුණත් එදා කුල කුමය සමග පදනම්ව පැවති ගැමි සමාජය පවත්වාගෙන යාමට ඉන් සහයෝගයක් ලැබුණු බවයි සමාජ විද්‍යාඥයන් පවසන්නේ.

Cover: oldindianphotos.in

Related Articles