Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සා.පෙළ මත රඳා නොපවතින, “13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය”

චීටාවෙකුට ඉතා වේගයෙන් දිවිය හැකි නමුත් වඳුරෙකු සේ ගස් නැගිය නොහැකියි. මාලුවෙකුට ඉතා හොඳින් ජලයේ පිහිනිය හැකි නමුත් කුරුල්ලෙක් මෙන් ගුවනේ පියාසර කිරීම කළ නොහැකියි. වඳුරෙකුට ඉතා හොඳින් ගස් නැගිය හැකි නමුත් ඇතෙකු ලෙස ශක්තිමත් විය නොහැකි යි. ලෝකයේ සියලු දෙනාටම එකම ආකාරයේ හැකියාවන් හිමි නොවන අතර සහජයෙන්ම වෙනස් හැකියාවන් නිතැතින්ම හිමි වී තිබේ.

මනුෂ්‍යන්ට ද උපතිනම විවිධ හැකියාවන් හිමිවෙන අතර, ඒවා නිසිපරිදි හඳුනාගෙන වර්ධනය කර ගැනීමෙන් ඇතැමෙකු සාර්ථක දිවියකට හිමිකම් කියන අතර, තමන්ගේ දක්ෂතාවයන් හරි හැටි හඳුනාගැනීමට නොලැබීමෙන් බොහෝ දෙනා තමන්ට නොගැලපෙන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්, නොගැලපෙන රැකියා ක්ෂේත්‍රයන් හි නිරත වී අසාර්ථකත්වයට පත්වෙනවා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ප්‍රධාන ගැටළුවක් නිරාකරණය කිරීමට ගෙන ආ යෝජනාව 

සාමාන්‍ය පෙළ හා උසස් පෙළෙන් පසුව සමාජය එකතු වන විශාල ශිෂ්‍ය ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ශ්‍රම අවශ්‍යතා සඳහා නියම ආකාරයෙන් පුහුණු වීමක් ලබා නෑ (wp)

ශ්‍රී ලංකාවේ වසර 11ක අධ්‍යාපනයෙන් පසුව සියලුම ළමුන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණු දිය යුතු වෙනවා. ඉන් සමත්වෙන පිරිසට පමණ යි උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබන්නේ. සෑම වසරකම සාමාන්‍ය පෙළ විභාගය ප්‍රමාණවත් මට්ටමට සමත් නොවීම හේතුවෙන් උසස් පෙළ වරම් අහිමිව පාසලින් ඉවත්වන සිසුන් සංඛ්‍යාව දළ වශයෙන් 80,000කට අධික යි.

ඉන් පසුව උසස් පෙළ හදාරන සිසුන්ගෙන් සරසවි ප්‍රවේශය ලබන්නේ සියයට දහයකටත් වඩා අඩු ප්‍රතිශතයක් බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා. උසස්පෙළ‍ අවසන් කොට පාසල හැර යන සිසුන් අතරින් ද ප්‍රමාණවත් විභාග ප්‍රතිඵල ලබාගැනීමට අසමත් වූ බොහෝ සිසුන්ට සිදුවන්නේ සාමාන්‍ය පෙළටත් පෙර පාසල් ගමන අත්හිට වූ සිසුන් අතරටම එක් වී ඉතා සුළු වැටුපකට කවර හෝ ආයතනයක හෝ පුද්ගලයෙකු යටතේ කුමක් හෝ සේවයක නිරත වීම යි. අඩු වැටුප නිසා වන මානසික පීඩනය, අධික අවිවේකය නිසා හා අඩු පුහුණුව නිසා අත්විදින්නට සිදුවන ශාරීරික හා මානසික අපහසුතා ආදී සියල්ලට එතැන්සිට ඔවුන් මුහුණ දිය යුතු වෙනවා.

මෙම ක්‍රමය වෙනස් කරමින්  ශ්‍රී ලංකා රජය “13 වසරක සහතික කළ අධ්‍යාපනයක්” නමින් රටේ සියලු දරුවන් වෙත පාසල් අධ්‍යාපනය සමගම වෘත්තීය අධ්‍යාපනය ලබාදීමට පියවරක් ගෙන තිබෙනවා. මෙහිදී සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය පදනම් කරනොගෙන ඕනෑම ශිෂ්‍යයෙකුට සාමාන්‍යපෙළින් පසු උසස් පෙළ හැදෑරීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ අනුව 2017 වසරේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ පාසල් 42ක් කේන්ද්‍ර කරගනිමින් 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ආරම්භ වෙනවා. 2020 වසරේ සිට දිවයිනේ සියලු පළාත් හා සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි පාසල් 423ක වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වෙනවා.

වෘත්තීය විෂය ධාරාව

වෘත්තීය විෂය ධාරාව හැදෑරීම සඳහා අපොස සාපෙළ සමත් වීම හෝ අසමත්වීම අදාළ වන්නේ නෑ (educationaldepartments.)

වෘත්තීය විෂය ධාරාව යටතේ, 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර යුතු වෙනවා. ඒ සඳහා සිසුන්ට පොදු විෂයයන් 10ක් හැදෑරීමට අවස්ථාව හිමි වෙනවා.

එම පොදු විෂයයන් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පහත විෂයයන් දක්වා තිබෙනවා.

පළමු බස (සිංහල/දෙමළ)

ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ කුසලතා

සෞන්දර්ය රසාස්වාදය

පුරවැසිභාවයට අදාළ කුසලතා

සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා

ව්‍යවසායකත්ව කුසලතා

ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්

වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්

ඉන් අනතුරුව 13 ශ්‍රේණියේ දී වෘත්තීය විෂයයන් යටතේ ඇති NVQ 04 වන මට්ටමේ එක් විෂයක් ආවරණය වන පරිදි වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබෙනවා. එම විෂයන් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් පහත විෂයයන් දක්වා තිබෙනවා. 

ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණ

සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය

ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා

ප්‍රාසාංගික කලාව

කාර්ය සිද්ධි කළමනාකරණය

ශිල්ප කලා

අභ්‍යන්තර නිර්මාණකරණය

විලාසිතා නිර්මාණකරණය

ග්‍රැෆික් නිර්මාණකරණය

සංචරණය හා ආගන්තුක සත්කාර

භූ දර්ශන නිර්මාණකරණය

ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය

පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය

වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය

ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය

මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය

විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය

පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය

ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය

ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය

කලාව හා පිරිසැකසුම්කරණය

පාරිසරික අධ්‍යයනය

පරිගණක හා දෘඩාංග හා ජාලකරණය

නිපැයුම්කරණය

කර්මාන්ත පුහුණුවේ දී සිසුන්ට මුදල් දීමනාවක් ද ලැබෙනවා (menafn.com)

ඉහත විෂයයන් යටතේ පාසල් කාලය තුළම කර්මාන්ත පුහුණුව සඳහා ද සිසුන් යොමු කරන අතර කර්මාන්ත පුහුණුවේ දී ශිෂ්‍යයෙකුට එක් දිනක් සඳහා රු.500ක දිමනාවක් ද ලබා දෙනවා. 

මෙසේ වෘත්තීය විෂයයන් ඔස්සේ කර්මාන්ත පුහුණුවක් ලබා ගැනීමෙන් පසුව රැකියාවකට පිවිසීමට හෝ ස්වයං රැකියාවක නිරත වීමට ශිෂ්‍යන්ට හැකියාව ලැබෙනවා. එසේත් නැතිනම් තෘතීයික අධ්‍යාපනය සපුරා NVQ මට්ටම ඔස්සේ උසස් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමටත් සිසුන්ට හැකි යි. ඒ ඔස්සේ තවදුරටත් තාක්ෂණ විශ්වවිද්‍යාල හරහා උපාධි හැදෑරීමෙන් වෘත්තීය උපාධිධාරීන් වීමට ද අවස්ථාව උදා කර ගත හැකි වෙනවා.

Related Articles