අපි කතා කරන්නේ මෙහෙමයි.

මිනිසුන් ලෙස අපට අපගේ අදහස් මෙන්ම දැනුම, තොරතුරු හුවමාරු කරගැනීම සදහා සොබා දහමින් ලැබී ඇති උරුමයක් ලෙස කටහඬ හඳුනා ගැනීමට පුළුවන් වෙනවා. අප සමාජශීලි මිනිසුන් වශයෙන් මේ කටහඬ ඉතාමත් වැදගත්. මන්දයත්, කටහඬ නොමැතිව අපට එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට නොහැකි වෙනවා. එවිට අපගේ සමාජ සබඳතා බිඳ වැටී සමාජය තුල හුදෙකලා වීමට පවා සිදු විය හැකියි. ඉතින් අපට කතා කිරීමට අවශ්‍ය වෙන මෙම කටහඬ නිපදවෙන ආකාරය සරලව මෙම ලිපිය හරහා විස්තර වෙනවා.

කටහඬ යනු යම්කිසි ක්‍රියාවලියක අවසාන ප්‍රතිපලය ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ පිලිබඳව විමසා බැලුවහොත් අපට එය ප්‍රධාන අදියර තුනක් ඔස්සේ හඳුනා ගැනීමට පුළුවන් වෙනවා. එනම් කටහඬ නිපදවීම සදහා ශක්ති ප්‍රභවයක් ද, කම්පන ඇති කරන කම්පන ප්‍රභවයක් ද, ශබ්දය වෙනස් කර වැඩිදියුණු කර හඳුනාගත හැකි ශබ්දයක් බවට පත් කරන ප්‍රභවයක් ද ඒ සඳහා අවශ්‍ය වෙනවා.

organanatomy.com(කටහඩ නිපදවීමට උපකාරී වන කොටස් දැක්වෙන රූපසටහනක්.)

කටහඬ නිපදවීම සඳහා උපකාරී වන කොටස් හඳුනාගනිමු.

කටහඬ නිපදවීමේ දී ශක්ති ප්‍රභවය ලෙස ක්‍රියා කරන්නේ ශ්වසන පද්ධතියයි. එහිදී කටහඬ නිපදවීමට උපකාරී වන්නේ අප ප්‍රශ්වාස කරන වාතයයි. එහිදී ශ්වසන පද්ධතියට අයත් කොටස් වලින් කටහඬ නිපදවීමට මහඟු දායකත්වයක් ලබා දෙනවා. එහිදී නාස් කුහරය, ශ්වසන මාර්ගය, පෙනහළු වැදගත් වෙනවා. කම්පන ප්‍රභවය පිලිබඳව සලකා බලන විට ස්වරාලය(larynx)  ඇතුලත එය අවහිර කළ හැකි ආකාරයට පිහිටා ඇති ස්වර තන්ත්‍ර(vocal cords) ඒ සදහා උපයෝගී වෙනවා. එහිදී මෙම ස්වරාලය ශ්වසන මාර්ගයේ ඉහලින්ම පිහිටා තිබෙන අතර  එය ශබ්ද පෙට්ටියක් වැනි විශේෂ අවයවයකි. මෙම ස්වර තන්ත්‍ර රිද්මයානුකුලව චලනය වීමට හැකි ආකාරයට සැකසී තිබෙනවා. එසේම අප නිපදවන ශබ්ද වැඩිදියුණු කර හඳුනාගත හැකි ශබ්ද බවට පත් කරන්නේ අපගේ මුඛය හා නාස් කුහරත් අපගේ දත්, තොල්, දිව ආදී අවයව මගිනි.

migroup.co.uk(ස්වාරලයක් දැක්වෙන රුපසටහනක්)

කටහඩ ඇති වෙන්නේ මෙහෙමයි.

මේ ආකාරයට කටහඬ නිපදවීම සඳහා උපකාරී වන කොටස් හඳුනාගත හැකි වන අතර මේ කොටස් සියල්ලගේම සාමුහික ක්‍රියාකාරිත්වයක් ලෙස අපගේ කටහඬ ඇති වෙයි. එහිදී අප ආශ්වාස කරන විට අපගේ ශ්වසන මාර්ගයත් ආහාර මාර්ගයත් ආවරණය කිරීමට දායක වන අපිජිව්හිකාව(epiglottis) විවෘත වනවා. එවිට එම වාතය ශ්වසන මාර්ගය වෙත යොමු වෙනවා. අප ආශ්වාස කරන විට අපගේ ස්වර තන්ත්‍ර එකිනෙකට ඈත් වන අතර ඒ හරහා වාතය පෙනහළු කරා ගමන් කරනවා මෙන්ම ඒත් සමගම ස්වර තන්ත්‍ර යලි එකිනෙක ආකර්ෂණය වී ආශ්වාස වාතය පිටතට ගමන් කිරීම වළක්වනවා. එවිට අපගේ පෙනහළු තුල ඇති වාතයේ පීඩනය සාමාන්‍ය වායුගෝලයේ පිඩනයට වඩා වැඩි වනවා. එනිසා මෙම වායු පීඩනයන් සමාන කිරීම සදහා පෙනහළු තුල තිබෙන වාතය නැවත ඉවතට ගමන් කිරීමට පටන් ගන්නවා. එහිදී එකිනෙකට ආකර්ෂණය වී ශ්වසන මාර්ගය අවහිර වෙන අකාරයෙන් වැසී පවතින ස්වර තන්ත්‍ර හරහා වාතය ගමන් කිරීමේදී එම ස්වර තන්ත්‍ර වල රිද්මයානුකුල චලනයන් සමග ඒවා කම්පනය වීමට පටන් ගන්නවා. සාමාන්‍යයෙන් පිරිමියකුගේ තත්පරයට කම්පන වාර 110ක් පමණද කාන්තාවකගේ 180ත් 220ත් අතරද දරුවන්ගේ තත්පරයට වාර 300 ක් පමණද ඇති වෙනවා.

keywordsuggest.org (ස්වර තන්ත්‍රවල රූපසටහනක්)

මෙම කම්පනය වීමේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රවණය කළ හැකි ආකාරයේ නොපැහැදිලි හඬක් ඇති වෙනවා. මෙය ශබ්දයක් පමණයි. මෙලෙස ඇති වන ශබ්දය අපගේ ශ්වසන පද්ධතියේ ඉහලින් පිහිටි කොටස් වන නාස් කුහරය, මුඛ කුහරය, දත්, තොල් හා දිව වැනි අවයව මගින් පැහැදිලිව හඳුනාගත හැකි කටහඬක් බවට පත් කරනවා. එනම් අපට කතා කිරීමට අවශ්‍ය විවිධ ආකාරයේ ශබ්ද එකිනෙකට වෙනස්ව නිපදවන්නේ ඒ හරහා යි. අපගේ කටහඬ නිර්මාණය වන්නේ ඒ ආකාරයටයි. අප කතා කරන විට පමණක් නොව ගායනයට, සිනාසීමට ආදියටද යොදා ගන්නේ මෙලෙස නිර්මාණය වන කටහඬයි.

(http://voicefoundation.org/health-science/voice-disorders/anatomy-physiology-of-voice-production/understanding-voice-production/)

මෙම ක්‍රියාවලිය සදහා සරලම නිදසුනක් ලෙස වයලීනය වැනි තත් සහිත සංගීත භාණ්ඩ හඳුන්වන්න හැකි වෙනවා. එහිදී වයලිනයේ තත් අපගේ ස්වර තන්ත්‍ර වලට සමාන කළ හැකි අතර වයලිනයේ අනෙකුත් කොටස් අපගේ ස්වරාලය හා ස්වසන මාර්ගයේ කොටස් වලට සමාන කිරීමට හැකි වෙනවා. මන්ද වයලිනයේද තත් කම්පනය කිරීමෙන් නිපදවෙන හඬ එහි ශරීරයේ ඇති ශබ්ද කුටීර හරහා වැඩිදියුණු කරනවා.

සැම පුද්ගලයෙකු තුළම කතා කිරීමට අවශ්‍ය වන අංග උපතේදී ම පිහිටා තිබෙන අතර ශරීරයේ වර්ධනයත් සමග ඒවාද වර්ධනය වෙනවා. අප වැඩිහිටි වියට එළඹෙන විට අපගේ කටහඬ වෙනස් වන්නේ ඒ නිසයි. කුඩා කාලයේදී කටහඩේ ගැහැණු පිරිමි බේදයක් සොයා ගැනීමට අපහසු වන්නේ ඒවා අතර වෙනස්කම් අඩු වීම නිසයි. නමුත් වර්ධනයත් සමග කතා කිරීමට දායක වන අවයව වලද වර්ධනයක් ඇති වෙනවා. එනම් වැඩිහිටි වියට එළබෙන විට පිරිමින්ගේ ස්වර තන්ත්‍ර දිගින් මෙන්ම මහතින් වැඩි වනවා. එනිසා පිරිමින්ගේ කටහඬ ගැඹුරු බවක් ඇති වනවා. කාන්තාවන්ගේ ස්වර තන්ත්‍ර දිගින් මෙන්ම මහතින්ද පිරිමින්ට වඩා අඩුයි. එනිසා ඔවුන්ට ඒවා වැඩි වාර ගණනක් චලනය කිරීමට හැකි වී තිබෙනවා සේම තියුණු කටහඬක් ලැබෙනවා.

https://www.youtube.com/watch?v=h7zsjD1PLvw

අපගේ ස්වර තන්ත්‍ර යනු ඉතා සියුම් කුඩා තන්තු යුගලයක්. මේවා ඉක්මණින් හානි වීමට හැකියි. අප වැරදි ආකාරයට කටහඬ භාවිත කිරීම ස්වර තන්ත්‍ර හානි වීමට හේතු විය හැකියි. එනම් තදින් උගුර පෑදීම, අධික ශබ්දයෙන් කෑ ගැසීමත්, කටහඬ අවභාවිත කිරීමත් මෙන්ම පුහුණුවකින් තොරව සිදු කරන ගායනය ආදිය හානිකර තත්ත්ව වෙනවා. තවද වැරදි අහාර පුරුදු එනම් අධික සැර අහර ගැනීමත් අසාත්මිකතා සහිත ඇහාර ගැනීමත්, වැරදි ජීවන පුරුදු එනම් දුම්බීම හා මත්පැන් බිමත්, ශරීරයට බලපාන වෙනත් ලෙඩ රෝගත් මෙම ස්වර තන්ත්‍ර වලට හානි වීමට හැකියි. එවා බරපතළ වතත්වයට පත් වුහොත් සදාකාලිකවම කටහඬ නැතිවීමට පවා හැකියි. එනිසා අප සිරුරේ අනිත් අවයව මෙන්ම කතා කිරීමට අවශ්‍ය වන ස්වර තන්ත්‍ර ද ආරක්ෂා කරගැනීමට අවධානය යොමු කළ යුතු වෙනවා.

කවරයේ පින්තුරය: 4e.org

මුලශ්‍ර :

http://www.practicalslpinfo.com/understanding-how-a-voice-is-produced.html

https://www.youtube.com/watch?v=h7zsjD1PLvw

https://www.youtube.com/watch?v=JzyHKYQzPBk

http://voicefoundation.org/health-science/voice-disorders/anatomy-physiology-of-voice-production/understanding-voice-production/

Related Articles