Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපූර්ව මිනිසුන් තිදෙනෙක්

මෙලොව වෙසෙන අප සියලුදෙනා සතු හැකියාවන් එකිනෙකට සමාන වෙන්නේ නැහැ. එක් අයෙකුට ඉතා හොඳ ගායන හැකියාවක් පිහිටන විට තවත් අයෙකුට හැකියාව පිහිටන්නේ ක්‍රීඩා කිරීමට යි. මේ අතරින් ඉතා අතළොස්සකට වෙනස් වූ සුවිශේෂී හැකියාවන් පිහිටනවා.

අපට හැකියාවන් පිහිටන්නේ එක්කෝ උපන් ප්‍රතිභාව නිසා. නොඑසේ නම් දැඩි කැප කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස යි. කෙසේ නමුත් ලොව සමහර පුද්ගලයින්ට ඉතා ආහඹු ලෙස පිහිටන හැකියාවන් තිබෙනවා. මේවා අන් අයට සිදුකීරීමට සිතීමටවත් නොහැකි තරමේ දේවල්. එවැනි හැකියාවන් සහිත තිදෙනෙක් ගැන යි මේ සටහන.

මා සියැන්ගැන්ග් – විද්‍යුත් ධාරාවට ප්‍රතිරෝධී මිනිසා

tokytech.com

මා සියැන්යැන්ග් හට ඉතාම සුවිශේෂී හැකියාවක් පිහිටා තිබෙනවා. එනම් ලොව වෙසෙන අනෙක් මිනිසුන් හට මෙන් නොව, සැලකිය යුතු තරමේ විද්‍යුත් ධාරාවක් ශරීරගත වූව ද ඔහුට ඉන් හානියක් නොවීම හා කිසිදු වේදනාවක් නොදැනීම යි.

සියන්යැන්ග් ඔහුගේ මේ හැකියාව සොයාගෙන තිබෙන්නේ අහම්බයකින්. දිනක් ඔහුගේ රූපවාහිනිය ක්‍රියා විරහිත වී ඇති අතර ඔහු එය අලුත්වැඩියා කිරීමට උත්සාහ කොට තිබෙනවා. අත්වැරදීමකින් ජීවී විද්‍යුත් වයරයක් ඔහුගේ අත ගැටී තිබෙනවා. මේ ආකාරයේ අත්වැරදීමක් සිදුවීම ලොව බොහෝ මිනිසුන්ට මරණය අත්කර දීමට සමත් නමුත්, මෙමගින් සියන්යැන්ග්ට කිසිදු හානියක් සිදු නොවී ඇති අතර සුළු හෝ වේදනාවක්වත් දැනී නැහැ.

සියන්යැන්ග් අත්දකින ලද සංසිද්ධිය අහම්බයක්යැ යි ඔහු අවට මිනිසුන් ප්‍රකාශ කිරීමත් සමග ඔහු නැවතත් පෙරට වඩා බලවත් ජීවී විද්‍යුත් වයරයක් අතගා බලා තිබෙනවා. නැවතත් ඔහුට කිසිවක් දැනී නැහැ.

විද්‍යුතය කෙරෙහි එක් එක් පුද්ගලයින් දක්වන ප්‍රතිචාරය වෙනස් වෙනවා. මෙය එම පුද්ගලයාගේ භෞතික හා රසායනික වෙනස්කම් නිසා සිදුවෙනවා. පර්යේෂණවලින් අනතුරුව සියන්යැන්ග් හට සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් හත් අට ගුණයක් විද්‍යුතය කෙරෙහි ප්‍රතිරෝධයක් ඇති බැව් සොයාගැණුනා. සාමාන්‍ය මිනිසෙකුට මෙවැනි ප්‍රතිරෝධයක් පිහිටන්නේ අතිශය කලාතුරකින්. මීට අමතරව ඔහු සිය අත්ල වියලිව මෙන්ම රළුව තබාගැනීමත් විද්‍යුත් ධාරාව ඔහුගේ ශරීරයට ඇතුළු වීමේ දී දුර්වල වීමට හේතුවක් බැව් සොයාගෙන තිබෙනවා. ලොව පුරා මේ ආකාරයට විද්‍යුතයට ප්‍රතිරෝධයක් දක්වන මිනිසුන් ඉතා අතළොස්සක් හමු වී තිබෙනවා. එම ප්‍රමාණයට වඩා මිනිසුන් තමන්ගේ විද්‍යුත් ප්‍රතිරෝධකතාව උරගා බැලීමට ගොස් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

දිවීමෙන් වාර්තා පිහිටුවන ඩීන් කර්නාසස්

runrocknroll.com

ඇමෙරිකානු ජාතික දුර දිවීමේ ශූරයෙකු වන ඩීන් කර්නාසස් ට ඉතා අසාමාන්‍ය දරාගැනීමේ හැකියාවක් පිහිටා තිබෙනවා. ඔහු විසින් අඛණ්ඩ දින 50ක් තුළ ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ක දී මැරතන් තරග 50කට සහභාගී වී තිබෙනවා. මීට අමතරව නිදිවර්ජිත රාත්‍රීන් 3ක් ගෙවමින් නොනවත්වා සැතපුම් 350ක් ධාවනය කර තිබෙනවා. ක්‍රි. ව. 2007 දී ඔහු නිව්යෝර්ක් නුවර සිට සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දක්වා ධාවනය කිරීමට උත්සාහ කළත් එය අතරමඟ නතර කරන්නට සිදුවුණා. කෙසේ නමුත් ඒ වන විටත් ඔහු සැතපුම් 1,000ක් ධාවනය කර තිබුණා. මෙම අභියෝගය ජය ගැනීමට නොහැකි වීම නිසා ඔහුගේ හැකියාව සමහරු විවාදයට බඳුන් කළ අතර නැවත 2010 දී කළ උත්සාහෙයන් ඔහු එය ජයගන්නවා.

කර්නාසස්ගේ මේ අසාමාන්‍ය හැකියාව තහවුරු කිරීම සඳහා ඔහු වෛද්‍ය පර්යේෂණවලට භාජනය වී ඇති අතර එමඟින් අනාවරණය වී ඇත්තේ මැරතන් තරග 25ක් අනුයාත දිනවල ධාවනය කිරීමෙන් අනතුරුවත් කර්නාසස්ගේ පටකවලට සිදු වී ඇති හානිය සාමාන්‍ය මිනිසෙකු එක් මැරතන් තරගයක් දිවීමෙන් පසු ඔහුගේ පටකවලට සිදුවන හානිය මෙන් 6න් 1ක් පමණ වන බව යි.

මීට අමතරව ඔහුගේ ශරීරයෙහි සාමාන්‍ය මිනිසෙකුට වඩා රුධිරය ඇති බවත්, ඒ නිසා වැඩි වේලාවක් විජලනය නොවී සිටිය හැකි බවත් සොයාගැණුනා. අනෙක් විශේෂතම කාරණාව වන්නේ කර්නාසස්ට ආහාර හා ජලය එක දිගට ලබාගතහොත් සිය ජීවිත කාලය පුරා හානියකින් තොරව නොනවත්වා පැයට සැතපුම් 6-8 අතර වේගයකින් දුවමින් සිටිය හැකි බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීම යි. ඔහු දිවීම සම්බන්ධයෙන් ග්‍රන්ථ පවා ලියා තිබෙනවා.

අධික ශීතල විඳ දරාගත හැකි විම් හොෆ්

plantpower.co.nz

නෙදර්ලන්ත ජාතිකයෙකු වන විම් හොෆ් නැමැත්තාට අරුම පුදුම හැකියාවක් පිහිටා තිබෙනවා. එනම් සාමාන්‍ය මිනිසෙකුට දරාගත නොහැකි ශීතල පරිසරවල කිසිදු අපහසුතාවයකින් තොරව රැඳීසිටීමේ හැකියාව යි. මේ නිසා අයිස් මිනිසා යන අන්වර්ථ නාමයෙන් ද ඔහුව හඳුන්වනු ලබනවා.

විම් හොෆ්ට ශීතල පිළිබඳ සංවේදන දැනෙන්නේ ඉතාමත් අඩුවෙන්. සාමාන්‍ය මිනිසෙකු මිනිත්තු කිහිපයක් තුළ මරණයට පවා පත්කළ හැකි තරමේ මිදීමට ආසන්න ජලයේ ඔහු අපහසුතාවයක් නොමැතිව පිහිනීම සිදු කරනවා. ඔහුගේ තවත් වික්‍රමාන්විත ක්‍රියාවක් වන්නේ සාමාන්‍ය පාවහන් දෙකක් හා කොට කලිසමක් පමණක් ඇඟලාගෙන එවරස්ට් කන්ද තරණය කරන මාර්ගයේ මීටර 6700ක පමණ උසකට ළඟාවීම යි. හොෆ්ගේ නමට මේ වන විට ලෝක වාර්තා කිහිපයක් ද ලියැ වී තිබෙනවා. අයිස් බේසම්වල බැස සිටීම වැනි ක්‍රියකාරකම් ඔහු නිතරම පාහේ සිදු කරනවා.

විම් හොෆ් පවසන ආකාරයට ඔහුට මේ ආකාරයට ශීතල විඳදරා ගැනීමේ හැකියාව ලැබී තිබෙන්නේ නිරතුරුව භාවනා කටයුතුවල නිරත වීම නිසා යි. කෙසේ නමුත් විද්‍යාඥයින් එය එක්වරම පිළිගැනීමට සූදානම් වූයේ නැහැ. ඔහු හොෆ් හා ඔහුගේ හැකියාවන් අරබයා පර්යේෂණ රාශියක් දියත් කළා. ඒවායින් ලැබුණු ප්‍රතිඵල පුදුම සහගත වුණා. ඔහුට සිය ස්වයංසාධක ස්නායු පද්ධතිය හා ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් ලබාදෙන ප්‍රතිචාර බොහෝ සෙයින් පාලනය කර ගැනීමට හැකියාව තිබෙන බව එහි දී ඔප්පු වුණා. මෙය භාවනා තුළින් හිත එකඟ කර ගැනීමෙන් ලබාගත් ශක්තියක් බැව් තීරණය කෙරුණා. සරලවම පවසනවා නම් ශීතල පරිසර තුළ දී සිත එකඟ කරගෙන හොෆ් තමන්ට ශීතල දැනෙන්නේ නැතැ යි සිතනවා.

විද්‍යාඥයින් අදටත් හොෆ් ලබාගෙන ඇති හැකියාව ඉතා සුවිශේෂී එකක් හැටියට දක්වනවා. කෙසේ නමුත් ඔහුගේ සමට භෞතික හා රසායනික වශයෙන් දරාගත නොහැකි තරමේ අඩු උෂ්ණත්වවල අත්හදාබැලීම් සිදු නොකරන ලෙස ඔවුන් හොෆ්ට උපදෙස් දී තිබෙනවා. උදාහරණ ලෙස ඉහළ උෂ්ණත්ව දරාගැනීමක් සැලකුවහොත් සෙල්සියස් අංශක 55-60 වැනි උෂ්ණත්වයක් සිත එකඟ කර දරා ගැනීමේ දී සමට භෞතික හානියක් සිදු නොවූවත් සෙල්සියස් අංශක 80කට එහා උෂ්ණත්වයක දී සමේ පටක හානි වීමට පටන්ගන්නා නිසා එහි දී සිත කෙතරම් සමාධිගත කරගත්තත් එවැන්නක් දරාගෙන නොපිළිස්සී සිටීමට හැකි වන්නේ නැහැ.

කවරයේ පින්තූරය -eventfinda.co.nz

Related Articles