Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් තරුණ ටිං ටිං

කුඩා කාලයේදී දිවියට මහත් විනෝදයක් හා කුතුහලයක් එක් කළ ටිං ටිං ගේ වීර වික්‍රමාන්විත කාර්ටූනය නොවරදවා බලපු අතීතයක් හිමි ඔබට, අද අප ඉදිරිපත් කරන්න යන්නේ කාර්ටූනයට මුල්වූ චිත්‍රකතාව හා එහි නිර්මාණකරු පිළිබඳව ඔබ මෙතෙක් නොදැන සිටි අපුරු විස්තර ටිකක්.

කුඩා කාලයේදී කාර්ටූන් උණ තිබුණ, තාමත් ලැබෙන වෙලාවක කාර්ටූන මග නොහරින ටිං ටිං රසිකයෙක් නම් මේ ලිපිය කියවන්න අමතක කරන්න එපා. මග හැරුණු දෙයක් තියනවනම් comment එකකින් ඒ බව අනිවාර්යෙන්ම සටහන් කරලා යන්න.

වයස අවුරුදු 87 පැන්න ටිං ටිං

හර්ජ් කෞතුකාගාරයේ ඇති සිහිවටනයක් (museeherge.com)

හර්ජ් කෞතුකාගාරයේ ඇති සිහිවටනයක් (museeherge.com)

ටිං ටිංට ඇත්තටම වයස කීයද? ඔබට කියන්න පුලුවන්ද? ටිං ටිංට වයස අවුරුදු 87ක් බව පැවසුවොත් ඔබ පුදුමයට පත් වෙයි. එත් ටිං ටිංට නම් වයසට ගියා කියලා කිසි ගානක් නෑ. තාමත් එදා වගේමයි. කිසිම වෙනසක් සිද්ධ වෙලා නෑ.

1929 ජනවාරි 19 වනදා තමයි ටිං ටිං හා ඔහුගේ සුරතල් බලු පැටියා වන ස්නොවී උපත ලබන්නේ. ඔවුන්ගේ නිර්මාණකරු වූයේ ජෝර්ජස් රෙමී හෙවත් හර්ජ්. ටිං ටිං හා ස්නොවිගේ ප්‍රථම වීර චාරිකාව වන්නේ සෝවියට් දේශයටයි. මුල්ම කතාව පළ වන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පල වූ “le vingtieme siecle” නැමති ප්‍රවෘත්ති පත්‍රයේ ළමා අතිරේකයේයි.

නොනැවතී ඉදිරියටම ගිය ටිං ටිං

හර්ජ් කෞතුකාගාරය තුළ පිහිටි අවන්හලේ සිතුවම් (museeherge.com)

හර්ජ් කෞතුකාගාරය තුළ පිහිටි අවන්හලේ සිතුවම් (museeherge.com)

සෝවියට් දේශයේ වීර චාරිකාවෙන් ඇරඹුන ටිං ටිංගේ වීර වික්‍රමාන්විත කතා පෙළට තවත් කතා 23ක් පසුව එක් වුණා. ටිං ටිං ගේ හද ගමන සිදු වුනේ නීල් ආම්ස්ට්‍රොන්ග් හදට යන්න අවුරුදු 15ක්ට පෙර කියලත් ඔබ දන්නවාද? 1950 වන විට ලොව පුරා ජනප්‍රිය චිත්‍ර කතා චරිතය බවට පත් වුයේ ටිං ටිං. ඒ හේතුව නිසාම ඉතා ඉක්මනින් මෙම කතා පෙළ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙනවා. මේ වන විට මෙම කතා 23 භාෂා 70කට පමණ පරිවර්තනය වී තිබෙනවා. ඒ වගේම ටිං ටිං චිත්‍ර කතා පොත් මේ වන විට මිලියන 230කට වඩා වැඩි ප්‍රමාණයක් විකිණී තිබෙනවා.

ටිං ටිං කතා පෙළ ඉදිරියට නිර්මාණය වූ අයුරු

බ්‍රසල්ස් නුවර ගොඩනැගිල්ලක සිතුවමක් (wordpress.com)

බ්‍රසල්ස් නුවර ගොඩනැගිල්ලක සිතුවමක් (wordpress.com)

හර්ජ් වෘත්තියෙන් පුවත් පත් වාර්තා කරුවෙක්. ඉතින් හර්ජ් ටිං ටිංනුත් තමන් මෙන්ම පුවත් පත් වාර්තාකරුවෙක් බවට පත් කරනවා. මුලින්ම නිර්මාණය වුයේ ටිං ටිං හා ස්නොවී චරිත දෙක පමණයි. දක්ෂ, නොපසුබස්නා උත්සාහයෙන් යුතු, කාටවත්ම ලෙහෙසියෙන් පරාජය නොකළ හැකි චරිතයක් ලෙස තමයි නිර්මාණය වී තිබෙන්නේ. ඔහුගේ සුවිශේෂී චරිත ලක්ෂණ දකින්නටනම් ලැබෙන්නේ නෑ. අඩුම තරමේ ඔහුගේ වයසවත් ඔහුගේ චරිත ලක්ෂණ කවරාකාරදැයි කිසිවක් ලේඛකයා හෙළි කරන්නේ නෑ, පාඨකයාට එහි වැදගත්කමක් ඇත්තේම නෑ. ටිං ටිං ජනප්‍රිය වීමට එහි කිසිඳු බලපෑමක් එල්ල වෙලා නැති බව අපිට වැටහෙනවා.

මේ කතා සියල්ලම පාහේ නිර්මාණය වුයේ ඉතිහාසගත සිදුවීම් ආශ්‍රය කර ගනිමින්. ටිං ටිං හා ස්නොවිගෙන් ඇරඹුණු චිත්‍ර කතා පෙළට තවත් චරිත එක කරන්නට හර්ජ් කටයුතු කරනවා.

නිවුන් සොහොයුරන් නොවූ තොම්සන් හා තොම්සන්

ටිං ටිං හා බැදුණු අනෙක් චරිත (descubrirelarte.es)

ටිං ටිං හා බැදුණු අනෙක් චරිත (descubrirelarte.es)

කතා මාලාව ඉදිරියට ගලාගෙන යන විට එයට පළමුවෙන්ම එක් වන්නේ කලබලකාරී හැමවිටම වැඩ වරද්දා ගන්නා නමුත් කාරුණික ගති ඇති කැප්ටන් හැඩොක් චරිතයයි. ඒ The Crab with Golden Claws නැමති නව වන කතා මාලාව හරහායි.

එවකට බෙල්ජියමේ පොලිස් සේවාව හාස්‍යජනක ලෙස නිරුපණය කරන්නට සෑම විටම මෝඩ පහේ තීරණ ගන්නා තොම්සන් හා තොම්සන් නැමති පොලිස් නිලධාරීන් දෙදෙනා නිර්මාණය වෙනවා. මොවුන්ගේ හැඩරුව එක හා සමාන වුවත් මොවුන් සහෝදරයන් නම් නොවේ. බොහෝ වෙලාවට දෙදෙනා වෙන් කර හදුනා ගත හැකි වන්නේ ඔවුන්ගේ උඩු රැවුලේ  තිබෙන වෙනස් කම් අනුවයි. ටිං ටිංගේ වික්‍රමයන් වලට හරස් වන ලෙස අනුවණ ක්‍රියා මාර්ග වලට එළඹීම මොවුන්ගේ සිරිතයි.

ඉන් අනතුරුව එක් වන්නේ කැල්කියුලස් නම් මහාචාර්යවරයායි. කන් ඇසීම දුර්වල නමුත් දක්ෂ නිර්මාණකරුවෙකු ලෙසයි මෙම චරිතය නිර්මාණය වන්නේ. මේ ප්‍රධාන චරිතයන් වලට අමතරව බොහෝ අතුරු චරිතත් දකින්නට පුළුවන්.

ටිං ටිංට පණ දුන් පත්තර වාර්තාකරු

නිර්මාණකරු - රෙමි නොහොත් හර්ජ් (bdtresor.net)

නිර්මාණකරු – රෙමි නොහොත් හර්ජ් (bdtresor.net)

ටිං ටිංව නිර්මාණය කරන්නේ බෙල්ජියමේ සිටි ප්‍රධාන පෙළේ හාස්‍ය තීරු රචකයෙකු හා සිතුවම් ශිල්පියකු වන හර්ජ් නම් බෙල්ජියම් ජාතිකයෙකුයි. 1924 සිට ඔහු ඇදී සිතුවම් වල ඔහු R.G නමින් අත්සන් කළා. R.G යන්න ප්‍රංශ භාෂාවෙන් උච්චාරණය කරන්නේ හර්ජ් ලෙසයි. සැබවින්ම නම ජෝර්ජ්ස් රෙමි වූ ඔහු හර්ජ් ලෙස ප්‍රචලිත වුයේ මේ නිසයි.

1907 බ්‍රසල්ස් නුවර උපන් මොහු සිතුවම්කරණයට යොමු වුයේ 1921 දියි. ඒ ඔහු බාලදක්ෂ හමුදාවේ සිටින විටයි. ටිං ටිංගේ රහස් පරීක්ෂක ක්‍රියාන්විත නිර්මාණයට හේතු වන්නට ඇත්තේ ඔහුගේ බාලදක්ෂ හමුදා ජීවිතය බව ඔහු වරෙක ප්‍රකාශ කරනු ලබනවා. 1983 මාර්තු 3 වනදා ඔහු මිය යන්නේ ටිං ටිං නම් අමරණිය චිත්‍ර කතා චරිතය ලොවට භාර කරමින්. මිය යන විට ඔහු තවත් ටිං ටිංගේ වික්‍රම ඇතුළත් අලුත් කතාවක් සිතුවම් කරමින් සිටියා. නමුත් ඔහුට එය නිම කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ.

හර්ජ්ගේ කෞතුකාගාරය

75 වන උපන්දිනයට නිකුත් කළ කාසිය (emuenzen.de)

75 වන උපන්දිනයට නිකුත් කළ කාසිය (emuenzen.de)

ලොව වටා මෙම චරිතය කෙතරම් ප්‍රසිද්ධ වූවාද කියනවානම් ටිං ටිංගේ 75 වන උපන් දිනයේදී යුරෝ 10ක වටිනාකමින් යුත් කාසියක් නිකුත් කරන්නට බෙල්ජියම් රජය පවා තීරණය කරනවා. ලොව පුරා ටිං ටිං සැමරීම සඳහා විවිධ උත්සව පවත්වනවා. බෙල්ජියමේ බොහෝ දුම්රිය නැවතුම්පොළවල් වල ටිං ටිංගේ සිතුවම් දකින්නට පුළුවන්.

ටිං ටිංට වෙන් වූ  කෞතුකාගාර අතරින් ප්‍රධාන කෞතුකාගාරය ලෙස 2009 වර්ෂයේ බෙල්ජියමේ විවෘත කරන ලද හර්ජ්ගේ කෞතුකාගාරය හදුන්වන්නට පුළුවන්. මෙහිදී පළමුවෙන්ම හර්ජ්ගේ අතින් නිර්මාණය වූ චිත්‍ර සටහන් 80ක් හා ජයාරූප 800ක් පමණ නරඹන්නට පුළුවන්. ඒ වගේම ටිං ටිං චරිතය ආශ්‍රිතව නිර්මාණය වූ සිහිවටන මිලදී ගැනීමේ ස්ථානයක් හර්ජ් කෞතුකාගාරය තුළ පිහිටා තිබෙනවා. ලොව වටා ටිං ටිං රසිකයන් සඳහා සිහිවටන මිලදී ගැනීමේ වෙළදසැල් පිහිටා තිබෙනවා, ඒ අතරින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර හා එංගලන්තයේ ලන්ඩන් නගරය ප්‍රසිද්ධයි.

කුඩා කාලයේදී අපේ වීරයෙක් වූ ටිං ටිං චිත්‍ර කතා චරිතයට වයස අවුරුදු 87 පසු කළත්  තවත් බොහෝ කල් කුඩා සිත් තුළ වීරයෙක් ලෙස බුහුමන් ලබමින් පසු වේවි.

කවරයේ පින්තුරය: knowyourmeme.com

Related Articles