Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ තක්කාලි වගාව පිළිබඳව තොරතුරු බිඳක්

අප එදිනෙදා ජීවිතයේ දී සුලභවම පරිභෝජනය කරන එළවළු වර්ග කිහිපය අතරට තක්කාලි ද අයත්. එළවළුක් මෙන්ම පළතුරක් ලෙස ද ආහාරයට ගත හැකි තක්කාලි, මස්, කෙහෙල් මුව, කොහිල, කරවල, වැනි  වැංජන සෑදීමේ දී රසකාරකයක් ලෙසින් එක් කරනවා. එසේම සමහර ආහාර වර්ග සැරසීම සඳහා ද තක්කාලි බහුලව භාවිතා කරනවා. තක්කාලිවලට දේශිය වෙළඳපොල තුළ තිබෙන ඉල්ලුම නිසා එය තනි වගාවක්, සහ ගෙවතු වගාවක් ලෙසින් සිදුකරනු ලබනවා. 

තක්කාලි වගාවට හිතකර දේශගුණික සාධක

සෑම දේශගුණිකටම ඔරොත්තු නොදෙන තක්කාලි බෝගය වගා කිරීම සඳහා වඩාත් හිතකර දේශගුණික තත්ත්වයන් තිබෙනවා. තක්කාලි වගාව සඳහා යෝග්‍ය වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 1300ක් තරම් උසකින් පිහිටා තිබෙන බිම් ප්‍රදේශ යි. එසේම ඊට සෙල්සියස් අංශක 20-27 අතර උෂ්ණත්වය පරාසයක් වඩාත් හිතකර වනවා. යල සහ මහ යන කන්න දෙකෙහිම වගා කළ හැකි මෙම බෝගය සඳහා ප්‍රමාණවත් තරම් ජලය යෙදිය යුතු යි. වැඩිපුර ජලය දැමීම සිදු නොකළ යුතු යි. විශේෂයෙන්ම වියළි කාලයකට පසුව වැඩිපුර ජලය බෝගවලට යොදනු ලැබුවොත් තක්කාලි ගෙඩි පිපිරීමට ඉඩ තිබෙනවා. එම නිසා වගාවට අවශ්‍ය ජලය සම්පාදනය කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු යි.

ලංකාවේ බහුලවම තක්කාලි වගා කරන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් තක්කාලි වගාව සිදුකරන්නේ බදුල්ල, නුවරඑළිය, මහනුවර, අනුරාධපුර, රත්නපුරය, සහ මාතලේ යන දිස්ත්‍රික්කයන් තුළ යි. මෙරට සමස්ත තක්කාලි නිෂ්පාදනයෙන් 80%ක් පමණ එම දිස්ත්‍රික්කයන් 6 තුළ ඇති වගාබිම්වලින් ලැබෙනවා. 

තක්කාලි වගාවට වෙළඳපොල තුළ තිබෙන ඉල්ලුම නිසා ඉන් සැලකිය යුතු ආදායමක් ලබාගත හැකියි. එම නිසා පසුගිය දශක දෙකක පමණ කාලය තුළ සැලකිය යුතු පිරිසක් තක්කාලි වගාව සඳහා යොමු වුණා.

තක්කාලි වගා බිමක් (gettyimages)

තක්කාලි ප්‍රභේදයන්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වඩාත් හොඳ අස්වැන්නක් ලබාදෙන තක්කාලි ප්‍රභේදයන් 10කට වැඩි ප්‍රමාණයක් නිර්දේශ කර තිබෙනවා. පහත දක්වා ඇත්තේ ඉන් තක්කාලි ප්‍රභේද කිහිපයක ලක්ෂණ පිළිබඳව යි.

T45 ප්‍රභේදය

පඳුරු තක්කාලි ප්‍රභේදයක් වන මෙයට බැක්ටීරියා හිටුමැරීම, වටපණුවන්ගෙන් සිදුවන හානිය, සහ කොළ කොඩ වීමේ වෛරස් රෝගය යන රෝග ත්‍රිත්වයටම ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 85ක් පමණ වන මෙම තක්කාලි වර්ගයට තරමක් තද, පැතලි පොත්තක් පිහිටා තිබෙනවා. තැඹිලි රතු ගෙඩි සහිත මෙම තක්කාලි ප්‍රභේදයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 20ක පමණ අස්වැන්නක් ලබාගත හැකියි. 

තරිඳු ප්‍රභේදය

පඳුරු තක්කාලි ප්‍රභේදයක් වන මෙයට බැක්ටීරියා හිටුමැරීම රෝගයට ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 45ක් පමණ වන මෙම තක්කාලි වර්ගයේ මදය තද රතු පැහැයක් ගන්නවා. එසේම ගෙඩිය රවුම් ස්වභාවයක් ගන්නා මෙම තක්කාලි ප්‍රභේදයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 40ක පමණ අස්වැන්නක් ලබාගත හැකියි. සෝස් නිෂ්පාදනය කිරීම සඳහා තරිඳු තක්කාලි ප්‍රභේදය සුලභව භාවිතා කරනවා.

රවි ප්‍රභේදය

පඳුරු තක්කාලි ප්‍රභේදයක් වන මෙයට බැක්ටීරියා හිටුමැරීම රෝගයට ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 45ක් පමණ වන මෙම තක්කාලි වර්ගය වැඩි උෂ්ණත්වයක් සහිත පරිසරවලට පවා ඔරොත්තු දෙනවා. මෙම ප්‍රභේදයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 50ක පමණ අස්වැන්නක් ලබාගත හැකියි. 

රජිත ප්‍රභේදය

පඳුරු තක්කාලි ප්‍රභේදයක් වන මෙයට බැක්ටීරියා හිටුමැරීම සහ කොළ කොඩ වීමේ වෛරස් රෝගය යන රෝග ද්විත්වයට ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 100ක් පමණ වන මෙම තක්කාලි ප්‍රභේදයේ ගෙඩි පැතලි ස්වභාවයක් ගන්නවා. මෙම තක්කාලි ප්‍රභේදයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 30ක පමණ අස්වැන්නක් ලබාගත හැකියි. 

රෂ්මි ප්‍රභේදය

පඳුරු තක්කාලි ප්‍රභේදයක් වන මෙයට බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථ ලෙසින් ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 185ක් පමණ වන මෙම තක්කාලි ප්‍රභේදයේ ගෙඩි පැතලි ස්වභාවයක් ගන්නවා. මෙම තක්කාලි ප්‍රභේදයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 28ක පමණ අස්වැන්නක් ලබාගත හැකියි.

ඉහත සඳහන් කර තිබෙන තක්කාලි ප්‍රභේද 5ට අමතරව T62, තිළිණ, ලංකා සවර්, ලංකා චෙරි, KC1 යන ප්‍රභේද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. එසේම මහේෂි සහ භාතිය යන දෙමුහුම් ප්‍රභේද ද්විත්වය ද මෙරට තුළ වගාකරනු ලබනවා.

T45 තක්කාලි ප්‍රභේදය (ලෙඅඩ්යොඋසේඩ්)

තක්කාලි භාවිතා කරමින් සිදුකරන නිෂ්පාදන 

තක්කාලි එළවළුක් සහ පළතුරක් ලෙස ආහාරයට ගැනීමට බොහෝ දෙනෙකු ප්‍රිය කරනවා. විවිධ සලාද වර්ග සෑදීම සඳහා ද, ඇතැම් බේකරි නිෂ්පාදන සෑදීම සඳහා ද තක්කාලි භාවිතා කරනවා. ඊට අමතරව තක්කාලි භාවිතා කරමින් කල්තබා ගත හැකි ආහාර වර්ග නිෂ්පාදනය කරනු ලබනවා. පහත දක්වා තිබෙන්නේ තක්කාලි භාවිතා කරමින් බහුලව සාදනු ලබන එවැනි ආහාර වර්ග යි.

1) තක්කාලි සෝස්          2) ටින් කළ තක්කාලි   

3) තක්කාලි කෙචප්         4) අව්වේ වියලූ තක්කාලි                

5) තක්කාලි යුෂ              6) තක්කාලි පල්පය                   

තක්කාලි සෝස් (Mr Food)

වැළඳෙන රෝග සහ හානි කරන පළිබෝධකයන් 

තක්කාලි වගාවට ප්‍රධාන වශයෙන් හානි කරන පළිබෝධකයන් කිහිප දෙනෙකු සිටිනවා මෙන්ම, වැළඳෙන දිලීර, බැක්ටීරියා සහ වෛරස් රෝග කිහිපයක් ද තිබෙනවා. එම පළිබෝධකයන්ගේ සහ රෝගවල නම් පහත දක්වා තිබෙනවා.

පළිබෝධකයන් 

1) තක්කාලි ගෙඩි විදින පණුවා 

2) තක්කාලි පත්‍ර කනින්නා 

3) කූඩිත්තා 

4) පත්‍ර කීඩෑවන් 

5) සුදු මැස්සා 

6) පැළ මැක්කා 

7) මූල ගැටිති වට පණුවා 

8) කොළ කන පණුවා 

9) ඉල් මැස්සා 

10) තක්කාලි මකුණා 

දිලීර සහ බැක්ටීරියා රෝග 

1) බැක්ටීරියා හිටුමැරීම 

2) දිලීර මැලවීම 

3) අංගමාරය 

4) පිටිපුස් රෝගය 

5) ඇන්ත්‍රැක්නෝස් රෝගය 

6) ගෙඩිවල යට කුණු වීම  

වෛරස් රෝග 

1) තක්කාලි මැලවීමේ වෛරස් රෝගය 

2) පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගය 

3) දුම්කොළ විචිත්‍ර වෛරස් රෝගය 

4) කහ පැහැ කොළ කොඩවීමේ වෛරසය 

5) කර්ලි ටොප් වෛරසය 

රෝගවලට ගොදුරු වුණු තක්කාලි ගසක් (kayabaparts)

ඔබ තක්කාලි වගාවක් සිදුකරන කෙනෙක් නම් වගාවට යම් රෝග හානියක් හෝ පළිබෝධ හානියක් සිදුවුණු විට ප්‍රදේශයේ කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරියා හමුවිය යුතු යි. එවිට වගාව යළි යථා තත්ත්වයට ගැනීමට අවශ්‍ය උපදෙස් ලැබෙනු ඇති. නියමිත වේලාවට නිවැරදි උපදෙස් ලබාගැනීම තුළින් ඔබගේ තක්කාලි වගාව වඩාත් සාර්ථක කරගත හැකියි. 

කවරයේ ඡායාරූපය- තක්කාලි වගාවක් (gettyimages)

මූලාශ්‍රයයන්- dea.gov.lk

Related Articles