ටයිටැනික් නැවේ කතාව

ක්‍රි.ව 1912 අප්‍රේල් මස 15 වනදා අළුයම් යාමයේ දී එංගලන්තයේ සාඩම්බර නිපැයුමක් වූ ටයිටැනික් සුඛෝපභෝගී නෞකාව අයිස් පර්වතයක හැපීම හේතුවෙන් ගිලී ගියේ නිව්ෆවුන්ඩ්ලන්ත වෙරළට සෑහෙන දුරක් තිබිය දී යි. මෙය ටයිටැනික් නැවෙහි මංගල ගමන වූ අතර එහි ගමන්ගත් 2,240ක් වූ මඟීන්ගෙන් 1500කගේම දිවි අහිමි වුණා. මේ සිද්ධිය පසුකාලීනව චිත්‍රපට, පොත් වැනි දේ රාශියකට පසුබිම් වූවා.

ටයිටැනික් සැලකුණේ කිසිසේත්ම ගිල්විය නොහැකි නෞකාවක් ලෙස යි. එය මංගල ගමනේ දීම ගිලී යාම දෛවෝපගත වෙනවා. නැව ගැන එහි බලධාරීන්ගේ වූ අධිතක්සේරුව නිසා එහි ජීවිතාරක්ෂක බෝට්ටු පැවතියේ අවම ප්‍රමාණයකුයි. බොහෝ දෙනෙක් මියගියේ ඒ හේතුවෙනුයි. ටයිටැනික් ගමනේ තොරතුරු මොනවා ද? ඇත්තෙන්ම මෙම මහා අනතුර වලක්වාගන්නට තිබුණා ද? මේ ලිපි ද්විත්වයෙන් ඒ ගැන සාකච්ඡා කරන්නට අපි සූදානම්.

ටයිටැනික් නිෂ්පාදනය

වයිට් ස්ටාර් නැව් සමාගම- Whistlerpro/ CC BY-SA 3.0

ටයිටැනික් නැව සෑදීමට හේතු වූ ප්‍රධාන කාරණාවක් වූයේ 20 වන සියවස ආරම්භයේ දී බ්‍රිතාන්‍ය නැව් සමාගම් කිහිපයක් අතර වූ තරගය යි. වයිට් ස්ටාර් ලයින් හා කියුනාර්ඩ් යන සමාගම් දෙක ඉන් ඉදිරියෙන්ම සිටි අතර අධි සුඛෝපභෝගී නෞකාවක් ඉදිකිරීමට මුලින්ම අතගසන්නේ කියුනාර්ඩ් සමාගම යි. ඔවුන් විසින් මොරිටානියා නම් නෞකාව 1907 වසරේ දී සේවයට නියුක්ත කරන අතර එය ඉක්මණින්ම එතෙක් ලොව වැඩිම වේගයකින් ගමන් කළ හැකි නැව ලෙස වාර්තා පොත් අතරට එක් වූයේ පැයට සැතපුම් 27.26ක උපරිම වේගයකින් එයට ගමන් කළ හැකි වීමත් සමග යි. මීට අමතරව ඔවුන් විසින් තවත් අධි සුඛෝපභෝගී නැව් කිහිපයක්ම නිපදවීමත් සමගම තමන් පරාජය වන බැව් වයිට් ස්ටාර් සමාගමට වැටහී ගියා. මේ අනුව තමනුත් එවැනි නැව් තුනක් නිපදවන්නට තීරණය කළ එම සමාගමේ හිමිකරුවන් එම කාර්යය එවක සුප්‍රසිද්ධම බ්‍රිතාන්‍ය නැව් නිෂ්පාදන සමාගමක් වූ හාලන්ඩ් හා වුල්ෆ් වෙත පැවරුවා.

ටයිටැනික් නැව තැනෙමින්- fundov.blogspot.com

1909 වසරේ මාර්තුවේ දී ටයිටැනික් නැව නිපදවීමේ කටයුතු හාලන්ඩ් හා වුල්ෆ් සමාගම ආරම්භ කළා. ඒ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හි දී යි. මෙහි උපරිම දිග අඩි 882ක් වූ අතර පළල අඩි 92.5ක් වුණා. මේ සුවිශාල නැව එවක තිබූ නැව් අතරින් විශාලතම එක වූ අතර සම්පූර්ණයෙන් සාදා නිම කරන්නට වසර 2ක් ගත වුණා. 1911 වසරේ මැයි මස 31 වන දා එහි මූලික ඉදිකිරීම් අවසන් වූ අතර ඉතිරි ඉදිකිරීම් කටයුතු අවසන් කරන්නට තවත් මාස කිහිපයක් ගත වුණා.

ටයිටැනික් සැකැස්මේ අඩු ලුහුඬු කම්

ටයිටැනික් නිෂ්පාදනය වූ වනම වයිට් ස්ටාර් සමාගම එංගලන්තය පුරා ප්‍රචාරය කර හැරියේ එය කිසි ලෙසකින් ගිල්විය නොහැකි බව යි. එනමුත් එහි සැකැස්ම අධ්‍යනය කිරීමේ දී එහි විශාල වැරදි තිබෙන බැව් අද වන විට විද්වතුන් පවසනවා. ටයිටැනික් නැවෙහි පතුලේ තිබූ සුවිශේෂී සැකැස්ම මේ ගුණය ලබාගන්නට හේතු වන බැව් එම සමාගම එවක ප්‍රකාශ කර සිටියත් එයම එය ගිලී යන්නට හේතුවක් වූ බව දැන් සැලකෙනවා. ජල ගැලීමක දී එයට ඔරොත්තු දෙන ලෙස එහි ජල රෝධක කුටීර කිහිපයක් තනා තිබූ අතර සාමාන්‍ය අවස්ථාවක දී කිසිදු ගැටළුවක් නැති මුත් හදිසියේවත් මින් එකක් හෝ කිහිපයකට හානි වී ඒවාට ජලය පිරුණහොත් ක්‍රම ක්‍රමයෙන් එකින් එකට ජලය පිරීමේ දුර්වලතාවක් ඊට තිබුණා. අවාසනාවට සිදුවූයේත් එයම යි.

ටයිටැනික් නැවෙහි සැකැස්ම- ultimatetitanic.com

ටයිටැනික් නැව සබැඳි අනෙක් ගැටළුව වූයේ ජීවිතාරක්ෂක බෝට්ටු වල මඳ කම යි. මෙය ගිලී යාමේ අවධානමක් නැතැ යි සිතා සිටි සමාගම නැවෙහි ඉඩකඩ ඉතිරිකර ගැනීම වස් එම බෝට්ටු ප්‍රමාණය අඩු කර තිබූ අතර ඒවා ප්‍රමාණවත් වූයේ 1,178 දෙනෙකුට පමණ යි. ටයිටැනික් නැවෙහි මඟීන් 2,435ක්ට ගමන් කිරීමේ හැකියාව තිබූ අතර 900ක කාර්යමණ්ඩලයක් ද සිටියා.

ටයිටැනික්හි මඟීන්

ටයිටැනික් සිය මංගල ගමන 1912 වසරේ අප්‍රේල් මස 10 වන දා එංගලන්තයේ සදම්ටන් වරායෙන් පිටත් වන්නට සැලසුම් කර තිබුණා. මෙහි ගමනාන්තය වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිව්යෝක් නුවර යි. මේ ගමනට මඟීන් හා කාර්යමණ්ඩලය 2,240ක් එක් වූ අතර ඔවුන් පළමු, දෙවන, හා තෙවන වශයෙන් පන්ති තුනකට අයත්ව සිටියා.

ටයිටැනික්හි කපිතාන් ලෙස එඩ්වඩ් ස්මිත් කටයුතු කළ අතර පළමු පන්තියේ එවකට එංගලන්තයේ විසූ ප්‍රභූන් රාශියක් අයත් වුණා. ඊට වයිට් ස්ටාර් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ජේ. බෲස් ස්මේ මෙන්ම නැවෙහි නිර්මාතෲ තෝමස් ඇන්ඩෲස් ද අයත් වුණා.

තෝමස් ඇන්ඩෲස්- Science Photo Library)

දෙවන පන්තිය වැඩිමනක්ම සමන්විත වූයේ සංචාරකයින්, මාධ්‍යවේදීන් වැනි අයගෙනුයි. විශාලතම කුලකය වූ තෙවන පන්තියේ මඟීන් 700කට වඩා වූ අතර ඔවුන් බොහෝ දෙනා සාමාන්‍ය මධ්‍යම හා පහළ පාන්තික ජනතාව වුණා.

ගමනාරම්භයේ දී ඇති වූ ගැටළු

නියමිත දිනටම ගමනාරම්භ කළ ටයිටැනික් දියඹට ඇදී යන්නේ බොහෝ දෙනාගේ ඔල්වරසන් මැද යි. කෙසේ නමුත් ගමනාරම්භයේ දීම යම් ගැටළු කිහිපයකට එය මුහුණ දුන් අතර එය ලොවෙන් වසන් කරන්නට නැව් සමාගම පියවර ගත්තා.

වාෂ්ප නැවක් වූ ටයිටැනික්හි ගල් අඟුරු කුටියක ගින්නක් හටගත්තේ ගමනාරම්භයේ දීම යි. එය සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට ඔවුන් අපොහොසත් වූවත් සෑහෙන තරම් දුරකට පාලනය කරගත් නිසා නියමිත වේලාවටම පිටත් වන්නට නැව් සමාගම තීරණය කරණවා. සරලවම පැවසුවහොත් ටයිටැනික් පිටත් වූයේ ගින්නක් සමග යි. මෙම ගින්න නිසා සාමාන්‍ය වේගයට වඩා වේගයෙන් නැව ගමන කරවීමට එහි කාර්යයමණ්ඩලය ක්‍රියා කළ බවත් පැවසෙනවා.

ටයිටැනික් මංගල ගමන අරඹමින්- cruiselinehistory.com

තවත් කාරණයක් වූයේ ටයිටැනික් නැව සදම්ටන් වරායෙන් නික්මෙන විටම එය තවත් නැවක ගැටීමට යාම යි. එය අසුබ දෙයක් යැයි සමහරෙක් පවසන්නට යෙදුණා. ඒ වන විට එස්. එස්. නිව්යෝක් නම් නැව ද සදම්ටන් වරාය ආසන්නයේ තිබූ අතර ටයිටැනික් කාර්යයමණ්ඩලයේ නොසැලකිලිමත්භාවය නිසා එය එහි නොගැටී බේරුණේ අනූනවයෙනුයි.

ටයිටැනික් නැව මුහුණදුන් ඛේදවාචකය පිළිබඳව මෙහි දෙවන කොටසින් අපි සාකච්ඡා කරමු.

කවරයේ පින්තූරය- twentytwowords.com

Related Articles