ටයිටැනික් නැවේ කතාවේ අවසානය

වයිට් සටාර් නැව් සේවා සමාගම මඟින් ටයිටැනික් නෞකාව නිෂ්පාදනය කරන්නට අදහස් කළ අවස්ථාවේ සිට එහි මංගල ගමන පිටත්වන තුරු සිදධීන් මේ ලිපි ද්විත්වයෙහි පළමු ලිපියෙන් අපි ඔබ වෙත ගෙන ආවා. එතැන් පටන් එහි ඛේදනීය අවසානය දක්වා සිද්ධීන් පෙළගැස්ම මේ ලිපියෙන් කියවමු.

ටයිටැනික් අනතුරකට මුහුණ දෙයි

1912 වසරේ අප්‍රේල් මස 10 වන දා එංගලන්තයේ සදම්ටන් වරායෙන් පිටත් වූ ටයිටැනික් නෞකාව දින හතරක් නිරුපද්‍රිතව අත්ලාන්තික් සාගරය ඔස්සේ ගමන් කළා. මේ කාලය තුළ එය ප්‍රංශයේ හා අයර්ලන්තයේ ස්ථානයන් දෙකක නවත්වා නැවත ගමන් අරඹා තිබුණා. මේ ස්ථාන දෙකෙහි දීම එය සදම්ටන් වරායේ දී මුහුණදුන් පන්නයේ ‘අනපේක්ෂිත’ සිදුවීම්වලට මුහුණ දුන්නේ නැහැ.

ටයිටැනික් නැවේ මංගල ගමන පිළිබඳව මේ වන විට ලොව පුරාම ප්‍රසිද්ධියක් ලැබී තිබූ අතර ඒ පිළිබඳව නවතම තොරතුරු දැනගන්නට බොහෝ දෙනා උනන්දු වුණා. කෙසේ නමුත් වර්තමානයේ මෙන් නොව තාක්ෂණය එතරම් දියුණු නැති නිසා නෞකාවේ නවතම පුවත් ගොඩබිම් කරා සේන්දු වන්නට දින කිහිපයක් ගත වුණා. මේ නිසා එහි ගමන්ගත් බොහෝ දෙනාගේ සමීපතමයන් සදම්ටන්හී දී එය වෙන නැවක ගැටෙන්නට ගිය කාරණාව පවා නොදැන සිටි අතර තමන්ගේ ඥාතියා හෝ හිතවතා එහි ගමන් කිරීම පිළිබඳ උදම් ඇනුවා.

අත්ලාන්තික් සාගරයේ පාවෙන අයිස් කුට්ටියක්. ටයිටැනික් නැව ගැටුණේ මෙවැන්නක යි- Sandra/ Flickr

අප්‍රේල් 14 වන දා වන විට ටයිටැනික් නෞකාව අත්ලාන්තික් සයුරේ සෑහෙන දුරක් ගමන් කොට තිබුණා. මෙතෙක් දුර පසුකර ආ සාගරය ඉතා නිවුණු එකක් වූ බැවින් එහි වේගය වැඩිකොට ගෙන යාත්‍රා කරන්නට එහි කාර්යයමණ්ඩලය තීරණය කොට තිබුණා. එක් අතෙකින් එය නියමිත දිනටත් පෙර නිව්යෝක් කරා මෙහෙයවා එහි වූ මඟීන් වඩාත් සතුටු කරන්නටත්, ‘දෙවියන්ටවත් එය ගිල්විය නොහැකි’ බවට විශ්වාසයක් තිබූ නිසා සාගරයේ හමුවිය හැකි කුඩා බාධක ගැටළුවක් නොවේයැ යි සිතූ නිසාත් මෙලෙස වැඩි වේගයෙන් ධාවනය කරන්නට ඇති බැව් බොහෝ දෙනා විශ්වාස කරනවා. අනෙක් අතින් එහි ඇතිවූ ගින්න මේ වන විටත් සම්පූර්ණයෙන් නිවා ගැනීමට අපොහොසත් වීම නිසා මෙසේ කරන්නට ඇති බැව් සමහරු විශ්වාස කරනවා.

මේ වන විට ටයිටැනික් නෞකාව ගමන් කරමින් සිටි මුහුදු සීමාව පාවෙන අයිස් කුට්ටි හමුවිය හැකි, යම් පමණකට අනතුරුදායක මුහුදු කලාපයක් වුණා. මේ නිසා බොහෝ නැව් යාත්‍රා කළේ ඉතා ප්‍රවේශමෙනුයි. කෙසේ නමුත් ටයිටැනික් එතරම් එම තත්ත්වය ගණනකට ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඔවුන්ගේ තීරණය නිවැරදි බැව් පසක් වෙන සෙයක් දිස් වූයේ අඳුරු වැටුණු වේලාවේ සිට පැය ගණනාවක් ගතවන තුරු අනතුරක සේයාවක්වත් ඔවුනට හමු නොවූ නිසා යි.

හදිසියේම රාත්‍රී 11.30ට පමණ එහි වූ නිලධරයෙක් ඔවුන්ගේ ගමන් පථය අවුරා තිබූ යමක සේයාවක් තිමිරපට අතරින් දකිනවා. වඩා විමසිලිමත් වීමේ දී ඔහුට ප්‍රත්‍යක්ෂ වන්නේ ඒ විශාල පාවෙන අයිස් කුට්ටියක් බව යි. එවැන්නක ගැටුනහොත් විශාල විනාශයක් සිදුවන බැව් වටහාගත් ඔහු වහාම ඒ පිළිබඳව සිය ඉහළ නිලධාරීන් දැනුවත් කරනවා. වහාම නැව පසෙකට හැරවුණත් අධික වේගය නිසා එහි දිය යට වූ කොටසක් නැව් බඳෙහි පසෙක වදිනවා. මින් අඩි ගණනාවක් දිග ඉරීමක් එහි බඳෙහි ඇති වෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවෙහි නිර්මාතෲ තෝමස් ඇන්ඩෲස් හා කිහිපදෙනෙක් එහි හානි වූ කොටස පරීක්ෂා කරනවා. ඔවුනට වැඩි යමක් කිරීමට නොහැකි වූයේ එහි පතුලේ වූ කුටීර 5ක් ඉක්මණින්ම ජලයෙන් පිරී යාම නිසා යි. එහි වූ සැකැස්මේ දුර්වලතාව නිසා කුටීර එකින් එක ජලයෙන් පිරෙන්නට පටන්ගත් අතර නැවෙහි ඉදිරි කොටස ජලයෙහි ගිලී යන්නට පටන්ගත්තේ පසුපස කොටස ඉහළට එසවෙමිනුයි. මේ නිසා කුටීරයෙන් කුටීරයට ජලය ගමන් කිරීම වඩාත් පහසු වුණා. දෙවියන්ටවත් ගිල්විය නොහැකි ටයිටැනික් නෞකාව ගිලෙමින් තිබුණා.

ඇන්ඩෲස් වහාම ගණනය කිරීමක් කළ අතර ඒ අනුව පැය එකහමාරක පමණ කාලයක් තුළ එය සම්පූර්ණයෙන් ගිලී යන බැව් ඔහුට ප්‍රත්‍යක්ෂ වුණා. වහාම ආසන්නයේ වූ නැව්වලට උපකාර ඉල්ලා මෝර්ස් හා රේඩියෝ පණිවුඩ යැවුණු අතර ජීවිතාරක්ෂක බෝට්ටු ලහි ලහියේ සූදානම් කිරීමට පටන්ගැණුනා.

ටයිටැනික්හි ජීවිතාරක්ෂක බෝට්ටු

ජීවිතාරක්ෂක බෝට්ටුවක නැගී දිවි ගලවාගත් පිරිසක්-  titanicuniverse.com

ටයිටැනික්හි ජීවිතාරක්ෂක බෝට්ටුවල තත්ත්වය ඒ තරම් යහපත් වූයේ නැහැ. හදිසි අවස්ථාවක් සඳහා ඒවා සූදානම් කර නොතිබූ අතර ඒවා ගණනින් කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ ද නැහැ. මෙහි මඟීන් 2500ක් පමණ සිටිය ද බෝට්ටු ප්‍රමාණවත් වූයේ 1000කට මඳක් වැඩි ප්‍රමාණයකට යි. නිසි ලෙස සංවිධානය නොවී ඒවාට මඟීන් පිරවීම නිසා ඒවා මතට නැගුණු ප්‍රමාණය තවත් අඩුවුණා.

නැවක හදිසි අනතුරක් වූ විට මුලින්ම ඉවත් කෙරෙන්නේ ළමුන් කා කාන්තාවනුයි. ඉන් පසු පුරුෂ පාර්ශවය ඉවත් කිරීම සිදු වෙනවා. මෙය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට යාමේ දී වැඩි වේලාවක් ගත වූ අතර මේ නිසා සියළු දෙනා ගිලී යාමේ අවදානමක් මතු වුණා. කෙසේ නමුත් වාසනාවකට ඇන්ඩෲස්ගේ පෙරැයීමට වඩා වැඩි කාලයක් නෞකාව නොගිලී පැවතීම නිසා වැඩි ප්‍රමාණයකට බෝට්ටුවලට නැගීමේ හැකියාව ලැබුණා. එළැඹුණු දෙපැය ඉතා හැඟීම්බර වූ අතර බොහෝ කාන්තාවන්ට සිය සැමියන් අයිස් මිදෙන ශීතල ජලය සමග පොරබදා මියෙන අයුරු දැකබලා ගැනීමට සිදුවුණා.

ටයිටැනික් ගිලී යයි

බෲස් ස්මේ- Hulton Archive/Getty Images

කිසිදා ගිල්විය නොහැකි ලෙස සැලකුණු ටයිටැනික් නෞකාව සිය පළමු සංචාරය අතරතුර දීම ගිලී යාම එහි අයිතිකරුවන්ට හා නිර්මාපකයාට ඉවසුම් නොදෙන කරුණක් වුණා. වයිට් ස්ටාර් නැව් සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂක බෲස් ස්මේ අවසන ජීවිතාරක්ෂක බෝට්ටුවක නැග දිවි බේරාගත්ත ද වඩා සංවේදී චරිතයක් වූ තෝමස් ඇන්ඩෲස් තීරණය කළේ නෞකාවත් සමග මුහුදුබත් වන්නට යි. පළමු පන්තියේ දුම් පානය කරන කාමරයට ගිය ඔහු ශාන්ත ලෙස සිය මරණයට මුහුණපෑවා.

අප්‍රේල් මස 15 පාන්දර 2.20 වන විට ටයිටැනික් නෞකාව සම්පූර්ණයෙන්ම මුහුදුබත් වුණා. මේ වන විට ටයිටැනික් පණිවුඩය ලැබී ඒ දෙසට ගමන් කරමින් සිටි කාපේතියා නෞකාව ඒ වෙත ආසන්න වී තිබුණා. ඔවුන් හැකි ඉක්මණින් ජීවිතාරක්ෂක බෝට්ටුවල සිටි අයවලුන් බේරාගන්නට ක්‍රියා කළ ද ඒ වන විටත් සෑහෙන දෙනා අධික ශීතල නිසා මියගොස් තිබුණා.

ගිලී යන ටයිටැනික් නැව දැක්වෙන සිතුවමක්-Willy Stoewer/Bettmann/Getty Images

ටයිටැනික් ඛේදවාචකයෙන් දිවි බේරාගැනීමට සමත් වූයේ 705 දෙනෙකු පමණක් වන අතර 1500ක් පමණ වූ පිරිසකට සිය දිවි අහිමි වුණා. බොහෝ දෙනා ‘උවමනාවට වඩා විශ්වාසයකින්’ කටයුතු කිරීම පිළිබඳව වයිට් ස්ටාර් සමාගමට චෝදනා නැගුවා. අනතුරෙන් ගැලවුණු අය පසුකාලීනව ඒ පිළිබඳව ලෝකයා හමුවේ විස්තර සහිතව ප්‍රකාශ කළා. මේ අනතුර නාවුක ඉතිහාසයේ දුක්ඛදායකම අවස්ථාවක් ලෙස ඉතිහාස පොත්වල ලියැවුණා.

කවරයේ පින්තූරය - historic-uk.com 

Related Articles