Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“මානුෂීය” ආහාර පිටුපස සැඟවුණු කතාව

“මිනිසා යනු සර්වභක්ෂක සතෙකි” යනුවෙන් අප කුඩා කළ ඉගෙනගෙන තිබෙනවා. ශාකමය කොටස් වැනි ආහාර මෙන්ම අනෙක් ජීවීන්ද ආහාරයට ගන්නට මිනිසාට හැකියි. අතීතයේදි මිනිසුන් සතුන් දඩයම් කරමින් ආහරයට ගත් බව මෙන්ම පසුකාලීන එඬේර යුගයේදී මිනිසා හරකුන් සහ එළුවන් වැනි සතුන්ගේ කිරි භාවිතයට ගැනීමට මෙන්ම ඒවා ඇසුරින් චීස් වැනි ආහාරමය ද්‍රව්‍ය නිපදවන්නට යොමු වූ බවත් අප හොඳින් දන්නා කරුණක්. වර්තමානය වන විට සත්ව නිෂ්පාදන වල මෙරට මෙන්ම පිටරටත් විශාල ඉල්ලුමක් පවතිනවා. කිරි, යෝගට්, අයිස් ක්‍රීම්, චීස්, බිත්තර, මස් පමණක් නොවෙයි, බේකන්, සොසේජස් වැනි ආහාර ප්‍රිය කරන්නන්ගෙන් මෙම ආහාරවලට අධික ඉල්ලුමක් ලොව පුරා පවතිනවා. නිර්මාංශවාදීන් හෙවත් Vegetarians සහ කිසිදු සත්ව නිෂ්පාදනයක් භාවිතා නොකරන නිර්මාංශවාදීන් හෙවත් Vegans මෙම ආහාර භාවිතාව දැඩි ලෙස පිළිකුල් කරන අතර එම ආහාර වර්ජනය කළ යුතු බවටත් නොකඩවා හඬ නගණු අප දැක තිබෙනවා. Roar.lk පාඨක ඔබ වෙත ලියැවෙන මෙම ලිපියෙන් අප ඔබ වෙත පවසන්නට යන්නේ 100% සෞඛ්‍යාරක්ෂිත සහ “මානුෂවාදී” ලේබලය ඇලවී ඇති “Humane food” කුලකයේ ආහාර පිළිබඳව තොරතුරු බිඳකුයි.

lh6.googleusercontent.com

“Good Start” ලේබලය

“ගුඩ් ස්ටාර්ට්” ලේබලය යටතේ එන සත්ව ආහාර සහ නිෂ්පාදන සත්ව සුබසාධනය කෙරෙහි සිය අවධානය යොමු කරන ලද නිෂ්පාදකයින් විසින් නිපදවනු ලබන ඒවා යනුවෙන් හඳුන්වා දිය හැකියි. නමුත් මෙම නිෂ්පාදනයන්ගෙන් ද සත්ව සුබසාධනයේ එක් කොටසක් පමණයි සුරැකෙන්නේ. ඒ, කූඩු නොකරන ලද සතුන්ගේ නිෂ්පාදන වශයෙන් පමණයි. මෙම නිෂ්පාදන ලබා දෙන සතුන්ගේ සුබසාධනය සැබවින්ම සැලසෙනවාද යන්න, එනම්, එකී සාධනීය මට්ටම් තුන්වන පාර්ශවයක් හරහා පරීක්ෂා කෙරෙන්නේද නැහැ.

“Even better” ලේබලය

මෙම ලේබලය යටතේ එන සත්ව නිෂ්පාදන ගුඩ් ස්ටාර්ට් ලේබලයට වඩා ඉහළ සාධනීය මට්ටමක පවතින අතර, සත්ව සුබසාධනය කෙරෙහි එම සතුන්ගේ හිමිකරුවන්ගේ අවධානය යොමු වී ඇතැයි කිව හැකියි. නමුත් පෙර කී සේම, මෙම සාධනීය මට්ටම් පරීක්ෂා කිරීමට හෝ යාවත්කාලීන කිරීමකට ලක් නොවන නිසා මෙන්ම, ඒ සඳහා තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් නොමැති වීම නිසාත්, සත්ව සුබසාධනයේ සියළු අංගයන් ඉන් ආවරණය නොවන නිසාත් මෙම ලේබලය යටතේ එන ආහාර පිළිබඳව ඉතා ඉහළ විශ්වාසයක් තබන්නටත් හැකියාවක් නෑ.

cdn.vox-cdn.com

“The best option” ලේබලය

සත්ව සුබසාධනය අතින් ඉහළ තැනක් ගන්නා මෙම ලේබලය යටතේ එන ආහාර වර්ග මිලදී ගැනීම වඩාත් සුදුසු වන්නේ සත්ව සුබසාධනයේ පැතිකඩ සියල්ලක්ම පාහේ ආවරණය කරන්නට එම නිෂ්පාදකයින් සමත් වීම නිසාවෙන් මෙන්ම, ස්වාධීන තුන්වන පාර්ශවයක් මගින් එම සාධන මට්ටම් වල හිතකර අහිතකර බව මැන බැලෙන නිසාවෙනුයි.

“Free range” සහ “Cage free” ලේබලය යටතේ එන බිත්තර

මෙම ලේබලය යටතේ එන බිත්තර වැනි සත්ව නිෂ්පාදන පිළිබඳව ඒවායේ නිෂ්පාදකයින් ප්‍රකාශ කරන්නේ එම බිත්තර දමන කිකිළියන් හෝ අනෙක් ගැහැණු සතුන් කූඩු කර නොමැති බව සහ ඔවුන්ට නිදහසේ හැරීමට ඉඩ සලසා දී ඇති බවයි. නමුත් සත්‍යය වන්නේ මෙම සතුන් සියළු දෙනාම එකම ගබඩාවක් වැනි ස්ථානයක දමා තිබීමයි. නිසි පරිදි වාතය සහ හිරු එළිය නොලැබෙන මෙම ලී ගොඩනැගිලි ඇතුළත සිර වෙමින් සිටින සතුන්ට ඉන් පිටතට යාම හෝ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එකිනෙකා හා තෙරපෙමින් ඉතා අපහසුවෙනුයි ඔවුන් ඒ තුළ කල් ගෙවන්නේ. බිත්තර සැපයීම පිණිස යොදා ගන්නා ගැහැණු සතුන් හඳුනා ගැනිමේ පහසුව පිණිස ඔවුන්ගේ හොටෙන් කොටසක් කඩා දමන්නේ ඔවුන්ව නිර්වින්දනයටවත් ලක් නොකරමිනුයි. මේ හේතුවෙන් ඔවුන් කෙටි කාලීන මෙන්ම දිගු කාලීන වශයෙන්ද වේදනා විඳිනවා.

එපමණක් නොව, මෙම ගොවිපළවල් වල ඉපදෙන කුකුල් පැටවුන් හෝ අනෙක් සතුන්ගේ පිරිමි පැටවුන් සියළු දෙනාම ගොවිපල හිමියාට අවශ්‍ය වන්නේ නෑ. ඒ හේතුවෙන් අලුත උපන් පිරිමි සතුන් සහ වියපත් වී බිත්තර දැමීමට නොහැකි මට්ටමේ සිටින ගැහැණු සතුන්ද බොහෝ අවස්ථාවන්හි දී පණ පිටින්ම විවිධ යන්ත්‍ර තුළට දමා සොසේජස් වැනි ආහාර ද්‍රව්‍ය නිපදවීමට යොදා ගන්නවා. ගොවිපලේ එම පහසුකම් නොමැති නම් ඔවුන්ව එවැනි ස්ථානයකට ඉතා අඩු මිලකට විකුණා දැමෙනවා.

මස් පිණිස ඇති කෙරෙන කුකුළන් සහ කළුකුම් වැනි සතුන් ඉතා කෙටි කලකින් විශාල වීම සඳහා ඔවුන්ට විවිධාකාරයේ බෙහෙත් ද්‍රව්‍යයන් ලබා දෙනු ලැබෙනවා. මේ හේතුවෙන් ඔවුන් ඉතා ඉක්මණින් ප්‍රමාණයෙන් විශාල වූවත් ඔවුන්ට විවිධාකාරයේ ලෙඩ රෝග සහ ආබාධ මේ නිස වැළඳෙනවා. නමුත් මේ සතුන් විශාල වූ වහාම ඔවුන්ව මරා දමා වෙළෙඳපොලට යැවෙනුයේ ඒ පිළිබඳව නොසලකා හරිමිනුයි. බිත්තර නිපදවන්නන් මෙන්ම මස් පිණිස සතුන් ඇති කරන්නන්ද මෙම සතුන්ට නිදහසේ හැසිරීමට ඉඩක් ලබා නොදෙන හෙයින් ඔවුන්ද තම මරණය දක්වා වූ කෙටි කාලය ගත කරන්නේ අතිශය අපහසුකාරී පරිසරයකයි.

“මානුෂීය” කිරි ආහාර

එළදෙනුන්ගෙන් කිරි ලබා ගැනීමට නම් ඔවුන් පැටවුන් වැදිය යුතුයි. වැඩුණු එළදෙනුන් පැටවුන් බිහි කළ වහාම එම පැටවුන් සිය මවගෙන් වෙන් කරනු ලබන්නේ එළදෙනගේ කිරි වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය නිසයි. මෙසේ මව සහ දරුවා වෙන් කිරීම ඔවුන් දෙදෙනාටම විශාල මානසික අවපීඩනයක් ඇති කරන්නක්. මෙසේ මවගෙන් වෙන් කරනු ලබන පැටවුන්ගෙන් බොහෝ දෙනෙක් (විශේෂයෙන්ම පිරිමි පැටවුන්) කුඩා කලදීම මසට විකිණෙනවා. එළදෙනුන් තම පැටවා බිහි කර මාස දෙකක් පමණ ගතවත්ම ඔවුන්ව නැවත ගැබ් ගැන්වීමට සලස්වන්නේ එක දිගට විශාල ප්‍රමාණයක් කිරි ලබා ගැනීමේ අදහසිනුයි. කිරි බරින් කිරි බුරුළු පිරී තිබියදීම පැටවකුද කුස දරා සිටීම එළදෙනුන්ට ඉතා අපහසු කාර්යයක්. නමුත් ඒ පිළිබඳව ගොවිපල හිමියන් නොතකන්නේ “මානුෂීය” ලේබලය සැබවින්ම ලේබලයකට පමණ සීමා වී ඇති හෙයින් විය හැකියි.

අධික ලෙස වෙහෙසකාරී දිවියක් ගෙවන මෙම එළදෙනුන්ගේ ශරීරය ඉතා ඉක්මණින් වැහැරී යන අතර, ඉන් පසුව ඔවුන්ව මස් පිණිස විකුණා දැමෙනවා. මෙම ගොවිපලවල් වලට පිරිමි පැටවුන්ගේ වැඩි අවශ්‍යතාවයක් නොපවතින හෙයින් වෙනමම ඇති දැඩි කෙරෙන ගවයින්ද වැඩුණු වහාම මස් පිණිස විකිණෙනවා.

www.healthcastle.com

කටුක සත්‍යය

කියවීමට කොතරම් අපහසු වුවත්, කොතරම් සංවේගජනක හා අප්‍රසන්න වුවත්, සත්‍යය මෙයයි. බිත්තර හෝ කිරි ලබා ගැනීම පිණිස ඇති කරන සතුන්ගෙන් විශාල ප්‍රමාණයක් අවසානයේ මස් පිණිසද යොදා ගැනෙනවා. සාමාන්‍යයෙන් කුකුළකුගේ ජීවන චක්‍රය වසර හතරක් හෝ ඊට වැඩි කාලයක් වුවද, ඔවුන්ව දින 42කින් මරා දැමෙනවා. ඌරකුගේ අවම ජීවන කාලය වසර 9ක් වුවද වසර 6 සපිරෙන විටම ඔවුන්වද මරා දැමෙනවා. ගවයකුගේ ජීවන චක්‍රය අවුරුදු 25ක් පමණ වුවද, මස් පිණිස ගන්නා කුඩා හරක් පැටවුන්ට වසර දෙකක් ගත වන විට ඔවුන්ව මරා දැමෙන අතර, කිරි ගවයින් වසර 4ත් 6ත් අතර කාලයේදී මරා දැමෙනවා. කොතරම් යහපත් වටපිටාවක ජීවත් වුවද මෙම සතුන්ගේ ජීවිත අහවර වන්නේ ඔවුන්ට ජීවත් විය හැකි කාලයෙන් අඩක්වත් ගතවන්නට පෙරයි.

nation.com.pk

ආර්ථිකමය අවශ්‍යතාවයන් කෙසේ වුවද, මෙම සතුන්ගේ සුබසිද්ධිය පිණිසද කටයුතු කෙරෙන්නේ නම් පමණක් මෙම නිෂ්පාදන වලට “මානුෂීය” නිෂ්පාදන යන නම ලබා දීමට හැකිය. නමුත් ඒ කිසිවක් සිදු නොවන්නේ නම් මෙම නිෂ්පාදනයන් භාවිතා කිරීම පිළිබඳ දෙවරක් සිතා බැලුවාටද කම් නැත.

කවරයේ ඡායාරූපය – blog.foodassembly.com

තොරතුරු උපුටා ගැනීම – www.globalanimal.org වෙබ් අඩවියේ “The truth behind Humane  food” ලිපිය ඇසුරිනි.

Related Articles