Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෝවිඩ්-19 නිසා අසරණ වුණු උපකාරක පන්ති ගුරුවරුන්

මීට දශක 2කට පමණ පෙර උපකාරක පන්ති වැඩි වශයෙන් ක්‍රියාත්මක වුණේ උසස් පෙළ විෂයන් හැදෑරූ දරු දැරියන් සඳහා යි. නමුත් වර්තමානය වන විට සෑම වයස් කාණ්ඩයකම දරුවෙකු කුමක් හෝ විෂයක් සඳහා උපකාරක පන්තියකට සහභාගී වෙනවා. වර්තමානය සමාජය තුළ එතරම් පැතිරී තිබෙන උපකාරක පන්ති ක්ෂේත්‍රයට කොරෝනා වසංගතය විශාල බලපෑමක් සිදුකරනු ලැබුවා. එම නිසාම පසුගිය මාස කිහිපය තුළ බහුතරයක් උපකාරක පන්ති ගුරුවරුන් කිසිවෙකුගේ පිළිසරණක් නොලබන තත්ත්වයකට පත් වුණා. එළඹෙන ජූනි 29 වැනිදා සිට  උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට අවසර ලැබී තිබුණත් ඒවා පවත්වාගෙන යාමට සිදුව තිබෙන්නේ දැඩි නීතිරීති යටතේ යි. ඒ අනුව තවත් මාස කිහිපයක් යන තුරු උපකාරක පන්ති ගුරුවරුන්ට සුපුරුදු පරිදි සිය වෘත්තිය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. 

උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ආරම්භය 

මීට දශක 5කට පමණ පෙර උපකාරක පන්ති යන වචනය පාසල් සිසුන්ට නුපුරුදු එකක් වුණා. එම අවධියේ දී උසස් පෙළ සිසුන් සඳහා ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක පමණක් සුළු පරිමාණයෙන් උපකාරක පන්ති පැවැත්වුණා. නමුත් 80 දශකය ආරම්භ වන විට ලංකාවේ ප්‍රධාන නගර කිහිපයකම උසස් පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති ආරම්භ වුණා. එසේම උපකාරක පන්ති පැවැත්වීම සඳහා වෙන් වුණු පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහිවීම ඇරඹුණා. ඒ අනුව 80 දශකය ආරම්භයේ සිට ලංකාව තුළ පැතිරී ගිය උපකාරක පන්ති රැල්ල වර්තමානය වන විට රට පුරාම ව්‍යාප්ත වී තිබෙනවා. මුල් යුගයේ දී උසස් පෙළ සිසුන් සඳහා වැඩි වශයෙන් පැවැත්වුණු උපකාරක පන්ති අද වන විට සෑම වයස් කාණ්ඩයකම සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වනවා.

වර්තමානය වන විට උපකාරක පන්ති ජනප්‍රිය වීමට හේතුව 

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තිබෙන තරගකාරී බව දිනෙන් දිනම වැඩිවන නිසා සිසුන් අමතර දැනුම සොයාගෙන යනවා. සාමාන්‍යයෙන් පාසල තුළ කෙරෙන වැඩ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් උපකාරක පන්ති තුළ සිදුවනවා. ආකර්ෂණීය නිබන්ධන ලබාදීම, සරල ඉගැන්වීමේ ක්‍රම අනුගමනය කිරීම, විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම වැනි ක්‍රියාකාරකම් උපකාරක පන්ති තුළ සිදුවන නිසා වැඩි පිරිසක් එම පන්ති කරා යොමුවනවා. විශේෂයෙන්ම උසස් පෙළ, සාමාන්‍ය පෙළ, සහ 5 වසර ශිෂ්‍යත්ව යන විභාග සඳහා සූදානම් වන දරු දැරියන් බහුලවම උපකාරක පන්ති තුළින් දැනුම සොයා යාමට උත්සාහ කරනවා. වර්තමානය වන විට ලංකාවේ සෑම ප්‍රධාන නගරයක් ආශ්‍රිතවම පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහිව තිබෙන්නේ උපකාරක පන්ති පාසල් දරුවන් අතර වඩාත් ජනප්‍රිය වී තිබෙන නිසා යි. 

උපකාරක පන්තියක් (sakya)

කොරෝනා වසංගතය උපකාරක පන්ති ක්ෂේත්‍රයට කළ බලපෑම 

පසුගිය මාර්තු මාසයේ දී කොරෝනා වසංගතය ලංකාව තුළ ප්‍රබලව පැතිරයාමත් සමගම පාසල් වසා දැමීමට සිදු වුණා. ඒ සමගම උපකාරක පන්ති ද තාවකාලික නවතා දැමීමට සිදු වුණේ ලංකාව පුරාම පැනවුණු ඇඳිරි නීතිය නිසා යි. ලංකාව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතය තත්ත්වය පහව යාම ආරම්භ වුණේ පසුගිය මැයි මාසය තුළ දී යි. නමුත් මැයි මාසයේ දීත් උපකාරක පන්ති නැවතත් ආරම්භ කිරීමට අවසරයක්  නොලැබුණේ එහි තිබුණු අවදානම් සහගත ස්වභාවය නිසා යි. ඒ අනුව ජූනි මාසයේ 29 වැනිදා සිට උපකාරක පන්ති යළි පැවැත්වීමට අවසර ලබා දී තිබෙන්නේ දැඩි නීතිරීති කිහිපයක් පැනවීමෙන් පසුව යි. එලෙස දිගු කලක් උපකාරක පන්ති නොපැවැත්වීම නිසා මෙවර උසස් පෙළ, 5 වසර ශිෂ්‍යත්ව, සහ සාමාන්‍ය පෙළ යන විභාගයන්ට පෙනී සිටින සිසුන්ට බලවත් අසාධාරණයක් වුණා. එහි දී විශේෂයෙන්ම උසස් පෙළ වැනි තීරණාත්මක විභාගයකට පළමු වරට පෙනී සිටීමට නියමිත සිසුන්ට සෑම විෂයයකම සම්පූර්ණ විෂයය නිර්දේශය ආවරණය කර ගැනීමට අපහසු වී තිබෙන්නේ පසුගිය කාල සමයේ පාසල් සහ උපකාරක පන්ති නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු නිසා යි. එසේම දෙවන සහ තෙවන වරට උසස් පෙළ විභාගය සඳහා මුහුණදෙන සිසුන්ට අදාළ පුනරීක්ෂණ පන්ති නිසි පරිදි නොපැත්වීම නිසා ඔවුන් ද පීඩාවට පත්වී තිබෙනවා. උසස් පෙළ උපකාරක සහ පුනරීක්ෂණ පන්ති පවත්වන ගුරුවරුන් ද මෙම තත්ත්වය හමුවේ අසරණ වී ආකාරය දක්නට ලැබෙනවා. එම උපකාරක පන්ති ගුරුවරුන්ට එළඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා තම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සූදානම් කිරීමට සිදුව ඇත්තේ අභියෝග රැසකට මුහුණදෙමින්.

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේ දී මතුවන දුෂ්කරතා 

සාමාන්‍යයෙන් සිසුන් වැඩිම පිරිසක් සහභාගි වන්නේ උසස් පෙළ උපකාරක සහ පුනරීක්ෂණ පන්ති සඳහා යි. එළඹෙන ජූනි 29 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදුන්නත් පන්තියකට සහභාගි කරවා ගත හැකි උපරිම සිසුන් ප්‍රමාණය 100කට සීමා කර තිබෙනවා. එසේම අදාළ ශාලාව තුළ සිසුන් 100කට ඉගැන්වීම සඳහා පහසුකම් නොමැති නම් සාමාන්‍යයෙන් එම පන්තියට සහභාගි වන සිසුන්ගෙන් අඩක් පමණක් සහභාගි කරවා ගෙන පන්තිය පවත්වා ගෙන යාමට හැකියි. ඒ අනුව උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන් මෙන්ම ඒවා මෙහෙයවන ගුරුවරුන් ද අර්බුදකාරී තත්ත්වයකට මුහුණදෙමින් සිටිනවා. එසේම එළඹෙන ජූලි මාසයේ සිට යළි පාසල් ඇරඹීමෙන් පසුව 3.30 වන තුරු පාසල ක්‍රියාත්මක වන නිසා සතියේ දිනවල හවස් වරුවේ උපකාරක පන්ති පැවැත්වීමට අසීරු තත්ත්වයක් නිර්මාණය විය හැකියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ උපකාරක පන්ති ගුරුවරුන්ට සිය පන්ති පැවැත්වෙන කාල සටහන් සකස් කරගැනීමට අපහසු වනු ඇති.

විශාල පිරිසක් සහභාගි වී සිටින උපකාරක පන්තියක් (Daily Mirror)

උපකාරක පන්ති ගුරුවරුන්ට මතුව ඇති ආර්ථික දුෂ්කරතා 

මහා පරිමාණයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ට මසකට විශාල ආදායමක් ලැබෙන බව කවුරුත් දන්න කාරණයක්. නමුත් පසුගිය මාස කිහිපය තුළ ඔවුන්ට එම ආදායම නොලැබී ගියා. එළඹෙන ජූනි 29 වැනිදා සිට ඔවුන් යළි උපකාරක පන්ති ආරම්භ කළත් සහභාගි කරවා ගත හැකි සිසුන් ප්‍රමාණය කප්පාදු කිරීම හේතුවෙන් ලැබෙන ආදායම අඩු වනු ඇති. එසේම බොහෝ ගුරුවරුන්ට එම පන්තිය පවත්වන ආයතනයට ද යම් මුදලක් ගෙවීමට සිදුවනවා. ඒ අනුව උපකාරක පන්ති ගුරුවරුන්ට ඉදිරි මාස කිහිපය තුළත් වැඩ කටයුතු කරගෙන යාමට සිදුව තිබෙන්නේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ යි.

උපකාරක පන්ති ගුරුවරුන්ට තිබෙන වගකීම 

කොරෝනා වසංගතය නිසා දැඩි ලෙස අසරණ වී සිටින්නේ මෙවර උසස් පෙළ විභාගය සඳහා සහභාගි වීමට නියමිත සිසු සිසුවියන් පිරිස යි. නියමිත පරිදි විෂයය නිර්දේශය ආවරණය කරගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටින දරුවන් රැසක් ඒ අතර සිටිය හැකියි. මෙම අවස්ථාවේ දී උසස් පෙළ උපකාරක සහ පුනරීක්ෂණ පන්ති මෙහෙයවන ගුරුවරුන් බහුතරයකට පැවරී ඇති වගකීම වන්නේ හැකි අයුරින් අදාළ විෂයය නිර්දේශය ආවරණය කර දීම යි. ඒ අනුව ඉදිරි මාස කිහිපය උසස් පෙළ උපකාරක පන්ති මෙහෙයවන ගුරුවරුන්ට අවිවේකී කාල සමයක් වනවාට සැකයක් නැහැ. නමුත් ඔවුන් කරන එම කැපකිරීම තුළින් සිසුන් රැසකගේ අනාගතය සුරක්ෂිත වනු ඇති.

 

කවරයේ ඡායාරූපය- Sri Lankan Mirror

Related Articles