ඕලන්දයේ පැතිර ගිය ටියුලිප් මල් උන්මාදය

මධ්‍යම යුරෝපයට අයත් වන නෙදර්ලන්තය ඉතාමත් සුන්දර රටක්. සාමාන්‍යයෙන් නෙදර්ලන්තය යන නම ඇසුණු සැනින් ඕනෑම කෙනකුට සුළං මෝල් සහ ටියුලිප් මල් මතකයට නැගෙනවා. ඒ නෙදර්ලන්තය හෙවත් ඕලන්දය ඈත අතීතයේ සිට ම සුළං මෝල් සහ ටියුලිප් මල් නිසා ප්‍රසිද්ධියට පත්ව තිබුණු නිසා යි. වර්තමානයේ දී නෙදර්ලන්තයේ ජාතික පුෂ්පය බවට පත් ව තිබෙන ටියුලිප් 17 වන සියවසේ දී එරටට හඳුන්වා දුන්නා. ඒ සමඟ ම ඕලන්දය පුරා ටියුලිප් මල් ජනප්‍රිය වන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් ඕලන්ද වැසියන් බහුතරයක් මහා පරිමාණයෙන් ටියුලිප් වගා කරන්නට පටන් ගත්තා. එසේ ම ඇතැම් උදවිය අසීමිත ව ටියුලිප් මල් මිලදී ගත්තා. ඒ විදිහට ඕලන්දය පුරා පැතිර ගිය ටියුලිප් උන්මාදය නිසා බොහෝ පිරිසක් අන්ත දිළින්දන් බවට පත්වුණා. මේ ඔබට කියන්න යන්නේ එදා ඕලන්දය පුරා පැතිර ගිය ටියුලිප් උන්මාදය පිළිබඳව යි. 

නෙදර්ලන්තයේ ටියුලිප් වගා බිමක්  – Agronmag

ටියුලිප් මල ඕලන්දයට පැමිණි ආකාරය 

16 වන සියවසේ මැද භාගය වන විට කොන්ස්තන්තිනෝපලය ආශ්‍රිත ව ටියුලිප් වගාව ජනප්‍රිය ව තිබුණා. එකල කොන්තන්තිනෝපලයේ ජීවත් වුණු කැරොලස් ක්ලූසියස් නම් උද්භිද විද්‍යාඥයා ටියුලිප් මල පිළිබඳ ව දැඩි උනන්දුවක් දක්වන්නට වුණා.  එනිසා ඔහු 1593 වසරේ දී ටියුලිප් මල් සහ බීජ ඕලන්දයට රැගෙන ආවා. ඉන් පසුව ලේඩන් විශ්වවිද්‍යාලයේ දී ටියුලිප් මල් පිළිබඳ ව පර්යේෂණ කළා. ඔහු එම පර්යේෂණ අප්‍රසිද්ධියේ සිදුකළ නිසා ඒ වන විටත් ඕලන්ද වැසියන් ටියුලිප් මල පිළිබඳව දැන ගෙන සිටියේ නැහැ.

ඊට වසර 10කට පමණ පසුව කොන්රඩ් ජෙස්නර් නම් ඕලන්ද මල් වගාකරුවා කොන්ස්තන්තිනෝපලයේ ටියුලිප් වගාව පිළිබඳ ව දැනගත්තා. ඒ ඔහුගේ ව්‍යාපාරික මිතුරකුගේ මාර්ගයෙන්. ටියුලිප් මලට තිබුණු සුන්දර පෙනුමට වශී වුණු කොන්රඩ් ඕලන්දයට ටියුලිප් බීජ සහ අල ගෙන්වීමට තීරණය කළා. ඉන් පසු ව ඔහු ඕලන්දය ආශ්‍රිත ව ටියුලිප් වගාව ආරම්භ කළා. 

කොන්ස්තන්තිනෝපලයේ ටියුලිප් මල් පිළිබඳව ඇඳි සිතුවමක් – Mvslim

 

ටියුලිප් මල් ඇම්ස්ටර්ඩෑම් නගරය පුරා 

17 වන සියවස වන විට ඕලන්දයේ ආර්ථිකය ඉතාමත් යහපත් මට්ටමකට පත්ව තිබුණා. එකල ඕලන්දය දේශ ගවේෂණය හරහා සරුසාර රටවල් අල්ලා ගෙන ඒවායේ තිබුණු සම්පත් සූරාකමින් සිටියා. එසේ ම පෙරදිග රටවල්වලට ගොස් වෙළෙඳාමේ නිරතවීම නිසා ධනවත් වුණු පිරිසක් ඇම්ස්ටර්ඩෑම් නගරය ආශ්‍රිත ව ජීවත් වුණා. එම යුගය වන විට ඇම්ස්ටර්ඩෑම් නගරය ඕලන්දයේ පමණක් නොව යුරෝපයේ ම ප්‍රසිද්ධ වෙළඳ නගරයක් බවට පත් ව තිබුණා. ඒ අයුරින් ඕලන්දය ස්වර්ණමය යුගයක් පසුකරමින් සිටි අවධියක කොන්රඩ් ජෙස්නර් සිය ටියුලිප් වගාව ආරම්භ කළා. ජෙස්නර් ටියුලිප් වගාව පිළිබඳ ව හරි හැටි නොදැන සිටි නිසා ඔහු මුලින් ම එක් ඉඩමක ටියුලිප් වගාව සිදු කළා.

ඒ අයුරින් ටියුලිප් වගාව ආරම්භ කළ ජෙස්නර් පළමු වාරයේ දී හොඳ මල් අස්වැන්නක් ලබා ගත්තා. ඉන් පසුව ඔහු ඇම්ස්ටර්ඩෑම් නගරයේ ව්‍යාපාරිකයන්ට ටියුලිප් මල් අලෙවි කළා. එම අපූරු මල් වර්ගය ඊට පෙර දැක නොතිබුණු නිසා ව්‍යාපාරිකයන් වැඩි මුදලක් ලබා දී ජෙස්නර්ගෙන් ටියුලිප් මිල දී ගත්තා. ඉන් පසුව ඔවුන් වැඩි මුදලකට ටියුලිප් මල් අලෙවි කිරීම ආරම්භ කළා. එකල ඇම්ස්ටර්ඩෑම් නගරයේ ජීවත් වුණු ධනවත් පවුල්වල තරුණියන් පමණක් නොව වැඩිහිටි කාන්තාවන් ද සෑම දිනක ම සාප්පු සවාරි යාමට පුරුදුව සිටියා. ඒ අයුරින් සාප්පු සවාරි ගිය අයට වෙළඳසල්වල විකිණීමට තිබුණු ටියුලිප් මල් දැක ගන්නට ලැබුණා.  

ඇම්ස්ටර්ඩෑම් නගරය 17 වන සියවසේ දී  – Casey Quinn

 

ටියුලිප් මල ධනවතුන් වසඟයට ගනියි 

ඊට පෙර දැක නොතිබුණු ආකාරයේ මල් වර්ගයක් ඇම්ස්ටර්ඩෑම් නගරයේ දී දැකගන්නට ලැබීමත් සමඟ ම ධනවත් පවුල්වල තරුණියන් පමණක් නොව කාන්තාවන් ද පුදුමයට පත්වුණා. එනිසා ඔවුන් යහමින් මුදල් වියදම් කරමින් ටියුලිප් මල් මිල දී ගන්නට පටන් ගත්තා. ටියුලිප් මල්වලට තිබුණු ඉල්ලුම එන්න එන්න ම වැඩි වෙද්දී වෙළෙන්දන් හිතූ හිතූ මිල ගණන්වලට ටියුලිප් මල් අලෙවි කරන්නට පටන් ගත්තා. නමුත් ධනවත් පවුල්වල උදවිය ටියුලිප් මල්වලට වසඟ වී සිටි නිසා ඕනෑම මුදලක් වැය කරමින් ටියුලිප් මල් මිලදී ගැනීමට පෙලඹී සිටියා.

එදා ඕලන්දය පුරාම ටියුලිප් මල් ජනප්‍රිය වී තිබුණත් ඉල්ලුමට සරිලන ටියුලිප් මල් ප්‍රමාණයක් එරට තුළ තිබුණේ නැහැ. එනිසා ටියුලිප් මල් මිල දී ගැනීම සඳහා ධනවතුන් අතර විශාල තරගයක් පැවතුණා. එකල ටියුලිප් මල් හිමිකරුවන් සමාජයේ ඉහළ ම පැලැන්තියේ උදවිය බවට මතයක් පැතිර ගිය නිසා බොහෝ දෙනකු සිය තත්ත්වය රැක ගැනීම සඳහා ටියුලිප් මල් යහමින් මිල දී ගත්තා. 

සාප්පු සවාරි ගොස් ටියුලිප් මල් මිල දී ගත් ධනවතුන් – bbc.com

 

ටියුලිප් අලවලට ඉහළ ඉල්ලුමක් 

ටියුලිප් මල්වලට තිබුණු ඉල්ලුම එන්න එන්න ම වැඩි වෙද්දී බොහෝ දෙනකු ටියුලිප් වගාව සඳහා පෙලඹුණා. ටියුලිප් බීජ රෝපණය කර  මල් ලබා ගැනීම සඳහා අවම වශයෙන් වසර 7ක පමණ කාලයක් ගතවුණත් ටියුලිප් අලවලින් වසරක් ඇතුළත මල් ලබාගැනීමට හැකි වුණා. එනිසා ටියුලිප් වගාව සිදු කළ උදවිය ටියුලිප් අල මිලදී ගැනීම සඳහා තරගයක යෙදුණා.

එම කාල සමයේ දී ඕලන්දයේ ධනවත් ව්‍යාපාරිකයන් විවිධ ප්‍රභේදවලට අයත් ටියුලිප් අල කොස්තන්තිනෝපලයෙන් ආනයනය කළා. ඉන් අනතුරු ව වැඩි මිලකට එම ටියුලිප් අල වගාකරුවන් අතර අලෙවි කළා. එමඟින් ඔවුන්ට විශාල ආදායමක් ලැබුණා. ඒ අයුරින් ටියුලිප් අලවලට විශාල ඉල්ලුමක් ඇතිවෙද්දී ටියුලිප් මල්වල මිල තවත් ඉහළ ගියා. එනිසා මිනිසුන් තව තවත් ටියුලිප් අල මිලදී ගනිමින් ටියුලිප් වගාවට පිවිසුණා.

ටියුලිප් ප්‍රභේද විශාල ප්‍රමාණයක් ඕලන්දයට 

එදා ඕලන්දයේ සිටි ධනවත් ව්‍යාපාරිකයන් එකිනෙකට වෙනස් ටියුලිප් ප්‍රභේදවලට අයත් අල ආනයනය කළා. එකල ටියුලිප් ප්‍රභේද හැඳින්වීම සඳහා විවිධ නම් වර්ග භාවිත කළා. ප්‍රසිද්ධ ඕලන්ද කපිතාන්වරුන්ගේ නම් පවා එහි දී භාවිත කළා. ඒ අනුව අද්මිරාල් ලීෆ්කන්, අද්මිරාල් ෆොන් ද අයික්, ශිල්ඩර්, වයිස්රෝයි, සෙම්පර් ඔගස්ටස් වැනි ටියුලිප් ප්‍රභේද එකල ඕලන්දය තුළ වඩාත් ජනප්‍රිය වී තිබුණා.

එසේම එම ප්‍රභේදවල ටියුලිප් අල මිලෙන් අධික වුණා. ළා පැහැති පසුබිමක තද පැහැති ඉරි තිබුණු ටියුලිප් ප්‍රභේදවලට එදා වැඩිම ඉල්ලුමක් ලැබුණා. 1638 වසර පමණ වෙද්දී ඕලන්දයේ ටියුලිප් උන්මාදයේ උච්චත ම අවධියට එළඹුණා. ඒ වන විට එකිනෙකට වෙනස් ටියුලිප් ප්‍රභේද 500කට ආසන්න ප්‍රමාණයක් එරට තුළ දක්නට ලැබුණා. 

ශිල්ඩර් ටියුලිප්  – J Parker’s

 

නොවටිනා ගණන්වලට ටියුලිප් අල මිල දී ගනියි 

වටිනා ටියුලිප් අල සන්තකයේ තිබුණු පුද්ගලයන්ට ඕලන්ද ජන සමාජයේ විශාල පිළිගැනීමක් ලැබුණා. එනිසා දුර්ලභ ටියුලිප් අල වර්ග නොවටින මිල ගණන්වලට අලෙවි වුණා. එලෙස ටියුලිප් අල වර්ග මිල දී ගත් පුද්ගලයන්ගේ හිතේ යටි අරමුණක් තිබුණා. ඒ මිල දී ගත් ටියුලිප් අල වර්ග පසුව වැඩි මුදලකට විකිණීමට යි. එකල සමහර වෙළෙන්ඳන් මහා පරිමාණයෙන් ටියුලිප් අල මිල දී ගෙන වෙළෙඳපොලේ කෘත්‍රිම ටියුලිප් අල හිඟයක් ඇති කළා. ඉන් පසුව ටියුලිප් අලවල මිල ඉහළ යද්දී ඔවුන් සඟවා ගෙන සිටි ටියුලිප් අල අධික මිල ගණන්වලට අලෙවි කළා. ඒ අනුව ටියුලිප් උන්මාදය හේතුවෙන් අධික ලෙස ලාබ ලැබූ වෙළෙඳ පැලැන්තියක් ඕලන්දය තුළ බිහි වුණා.

එම අවධියේ දී ඕලන්දය තුළ භාවිත කළ කුඩා ම බර ඒකකය පෙරිට් යන නමින් හැඳින්වුණා. වෙළෙන්දන් අලෙවි කළ ටියුලිප් අල පෙරිට් නමැති ඒකකයෙන් කිරා අලෙවි කළා. එකල සෙම්පර් ඔගස්ටස් ඕලන්දයේ තිබුණු මිල අධික ම ටියුලිප් අල වර්ගය බවට පත්ව තිබුණා. එදා ඕලන්දයේ වටිනාම ටියුලිප් ප්‍රභේද කිහිපයක් අලෙවි වුණු මිල ගණන් පහත ආකාරයට දක්වන්නට පුළුවන්. 

1) සෙම්පර් ඔගස්ටස් අල පෙරිට් 400ක්- ගිල්ඩර් 11000

2) ශිල්ඩර් අල පෙරිට් 400ක්- ගිල්ඩර් 6000

3) අද්මිරාල් ලිෆ්ක්ස්න් අල පෙරිට් 400ක්- ගිල්ඩර් 4500

4) වයිස්රෝයි අල පෙරිට් 400ක්- ගිල්ඩර් 2500

5) අද්මිරාල් ෆොන් ද අයික් අල පෙරිට් 400ක්- ගිල්ඩර් 1000 

සෙම්පර් ඔගස්ටස් ටියුලිප් – artmajeur

 

1636 වසර මුල භාගයේ දී මුළු ඕලන්දයේ ම තිබුණේ සෙම්පර් ඔගස්ටස් ටියුලිප් අල දෙකක් පමණයි. ඒවා ඇම්ස්ටර්ඩෑම් සහ හර්ලම් යන නගර ආශ්‍රිතව ජීවත් වුණු වෙළෙන්දන් දෙදෙනකුට අයිති ව තිබුණා. එකල එම ටියුලිප් අල යුගළය මිල දී ගැනීම සඳහා ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වුණා. ඒ අතුරින් හර්ලම් නගරයේ තිබුණු සෙම්පර් ඔගස්ටස් ටියුලිප් අලය මිල දී ගැනීමට ධනවත් පුද්ගලයෙක් සිය අක්කර 12ක ඉඩම වෙළෙන්දකු සමඟින් හුවමාරු කර ගත්තා. එසේම ඇම්ස්ටර්ඩෑම්වල ටියුලිප් අලය මිල දී ගැනීමට ගිල්ඩර් 4600ක මුදලක්, අශ්වයන් සහිත අංග සම්පූර්ණ අශ්ව කරත්තයක් වැය වුණා. ඒ විදිහට ධනවතුන් නොවටිනා මිල ගණන්වලට ටියුලිප් අල මිල දී ගනිද්දී ඇතැම් මධ්‍යම පාන්තිකයන් ද ඔවුන් සතු ව තිබුණු වටිනා භාණ්ඩ විකුණා ටියුලිප් අල මිල දී ගන්නට පෙලඹුණා. පහත දක්වා තිබෙන්නේ එක්තරා මිනිසකු වයිස්රෝයි ටියුලිප් අලයක් මිල දී ගැනීමට භාණ්ඩ විකුණා මුදල් සොයාගත් ආකාරය යි.

රයි ටොන් 8- ගිල්ඩර් 558

ගොනුන් 4- ගිල්ඩර් 480

තිරිඟු ටොන් 4- ගිල්ඩර් 448

ඌරන් 8- ගිල්ඩර් 240

බටර් ටොන් 2- ගිල්ඩර් 192

බැටළුවන් 12- ගිල්ඩර් 120

අංග සම්පූර්ණ ඇඳක්- ගිල්ඩර් 100

සම්පූර්ණ ඇඳුම් කට්ටලයක්- ගිල්ඩර් 80

වයින් පීප්ප 2- ගිල්ඩර් 70

රිදී ආලේපිත බඳුනක්- ගිල්ඩර් 60 

බීර පීප්ප 4- ගිල්ඩර් 32

එදා ඕලන්දය පුරා ටියුලිප් මලින් සැරසී තිබුණු ආකාරය – getty images

 

ටියුලිප් මලෙන් දියුණු වන්නට දුටු සිහිනය 

එදා ඕලන්දයේ ටියුලිප් මල්වලට විදෙස් රටවල්වලින් පවා ඉහළ ඉල්ලුමක් තිබුණා. එනිසා ටියුලිප් මල් අලෙවි කර විශාල ආදායමක් ලැබීම බොහෝ ඕලන්ද ජනයාගේ  සිහිනය වුණා. ඔවුන් ඒ සඳහා විශාල ලෙස වෙහෙස මහන්සි වී වැඩ කළා. බොහෝ නිවෙස්වල සිටි උදවිය අනිකුත් සියලු ම වැඩ පසෙක දමා සිය ටියුලිප් වගාව දියුණු කරන්නට කැප වුණා. එදා ඔවුන්ගේ එකම සිහිනය වුණේ ටියුලිප් මල් අස්වැන්න නෙළා ගැනීමෙන් පසුව විශාල ආදායමක් ලබාගැනීමට යි. ඒ අනුව බොහෝ දෙනකු සිතුවේ ටියුලිප් මල් වෙළෙඳාම නිසා ඕලන්ද  ජනයාගේ ජීවන දිවිය යහපත් එකක් වනු ඇති බව යි. 

ටියුලිප් අස්වැන්න නෙළාගත් කාන්තාවක් – getty images

 

සිහිනය බොඳ වීම 

බොහෝ දෙනකු තරගෙට වගා කළ ටියුලිප්වල මල් අස්වැන්න වසර කිහිපයකින් නෙළා ගන්නට හැකි වුණා. ඒ සමඟ ම ඕලන්දයේ සෑම නගරයක් ආශ්‍රිතව ම ටියුලිප් මල් සුලබ ව දක්නට ලැබුණා. එහි ප්‍රතිඵලක් වශයෙන් ටියුලිප් මල් තවදුරටත් දුර්ලභ දෙයක් වුණේ නැහැ. ඉල්ලුමේ තරමටත් වඩා ටියුලිප් මල් එරට තුළ තිබුණා. එනිසා මාස කිහිපයක් ඇතුළත ඕලන්දයේ ටියුලිප් මිල ශීඝ්‍රයෙන් පහත වැටුණා. අවසානයේ දී ටියුලිප් මල් සහ ටියුලිප් අලවල වටිනාකම බින්දුවට ම බැස්සා. එනිසා මහා පරිමාණයෙන් ටියුලිප් වගා කළ උදවිය පමණක් නොව ටියුලිප් අල ළඟ තබාගෙන සිටි උදවිය ද අන්ත අසරණ තත්ත්වයකට පත්වුණා. එදා ඕලන්දයේ ටියුලිප් උන්මාදය වසර කිහිපයකින් නිමාව දකිද්දී එරට මධ්‍යම පාන්තිකයන් බොහෝ දෙනකු අන්ත දිළින්දන් බවට පත් ව සිටියා.

කවරයේ ඡායාරූපය - එදා ඕලන්දයේ ටියුලිප් වගාවක් දැක්වෙන සිතුවමක් - gikken.com

මූලාශ්‍ර:

smithsonianmag.com

bbc.com

Satahana

Related Articles