Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අභ්‍යවකාශයටත් හොඳින් පෙනෙන ලොව විශාලත ම ටයර් සුසානය

කුඩා කාලයේදී සෙල්ලම් උපකරණයක් විදිහටත් ඉන් පසු අපගේ ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීමටත් අප ටයර යොදා ගන්නවා. මිට අමතරව  ටකරම් සෙවිලි කළ නිවාසවල  ටකරම් සුළඟට ගසා ගෙන යාම වැළක්වීමටත්, ඇළ දොළ හරහා එගොඩ වන පාලම් ලෙසත්, තරුණයන් කායවර්ධන උපකරණයක් ලෙසත්, කුඩා දරුවන් ජල ක්‍රීඩා කිරීමටත් වශයෙන් එකී මෙකි නොකී අවස්ථා රැසක දී භාවිතයෙන් ඉවත ලූ ටයර් යොදා ගැනෙනවා.

අප රටේ එලෙස වුව ද රථවාහන සදහා භාවිත කළ ටයර්වල අවසන් කටයුතු මැදපෙරදිග සිදු වන ආකාරය පිළිබඳ ඇසුවොත් ඔබ පුදුම වනවා නිසැකයි. මෝටර් රථයක සාමාන්‍ය ටයරයක් මාරු කිරීමට පෙර කිලෝමීටර් 30,000 ක් පමණ ගමන් කළ යුතුවනවා. ටයරයක ආයු කාලය අවසන් වූ පසු සාමාන්‍යයෙන් එය ප්‍රතිචක්‍රීකරණය කරනවා. මැදපෙරදිග, කුවේට් රාජ්‍යයෙහි දී නම් ඒවාට සිදුවෙන්නේ අමුතුම දෙයක්.

කාන්තාරයේ යෝධ වළවල්

එම ටයර් කුවේට් නගරය අසල සුලෙයිබියා නම් කාන්තාර ප්‍රදේශයේ විශාලතම ගොඩබෑවුමකට බොහෝ විට ගෙනෑවිත් දමනවා. සෑම වසරකම මෙම කාන්තාරයේ යෝධ වළවල් හාරා පැරණි ටයර්වලින් ඒ විශාල වළවල් පුරවනවා. දැනටමත් එහි ටයර් මිලියන හතක් පමණ වළවල ගොඩගසා ඇති බවයි වාර්තා වන්නේ.

අභ්‍යවකාශයේ සිට ටයර් බැහැර කරන ප්‍රදේශය දිස්වන අයුරු
අභ්‍යවකාශයේ සිට ටයර් බැහැර කරන ප්‍රදේශය දිස්වන අයුරු –amusingplanet.com

මෙය දැනට පෘථිවියේ විශාලත ම ටයර් බැහැර කරන ස්ථානය වන අතර එය කෙතරම් විශාල ද කියනවා නම් එම ප්‍රදේශය අභ්‍යවකාශයේ සිට ද දැකගත හැකි වනවා. සමාගම් හතරක් මේ වන විට ටයර් බැහැර කිරීමේ කාර්ය භාර ව සිටින අතර මෙම ටයර් කුවේට් රාජ්‍යට අමතරව විවිධ රටවල් වලින් ද රැගෙන එනවා.

ටයරයේ සංයුතිය කෙටියෙන්

පිටතින් රබර් ගොඩක් ලෙස පෙනුණ ද පහත අමුද්‍රව්‍ය ටයරය තුළ අන්තර්ගතයි.

ස්වාභාවික රබර්

ස්වාභාවික රබර් ටයර් සඳහා හොද ක්‍රියාකාරිත්වයක් ලබා දෙන අතර ඉරිතැලීම්වලට එය විශේෂයෙන් හොඳයි.

සුලෙයිබියා නම් කාන්තාර ප්‍රදේශයේ ටයර් බැහැරකර ඇති අයුරු
සුලෙයිබියා නම් කාන්තාර ප්‍රදේශයේ ටයර් බැහැරකර ඇති අයුරු – dabaibanews.com

සින්තටික් පොලිමර්

ටයර් නිෂ්පාදනය සඳහා භාවිත කරන ප්‍රධාන කෘත්‍රිම රබර් කොටස් දෙක වන්නේ බියුටැඩීන් රබර් සහ ස්ටයිරීන් බියුටැඩීන් රබර්. මෙම රබර් පොලිමර් ස්වාභාවික රබර් සමඟ ඒකාබද්ධව භාවිත වනවා. මෙය සමස්ත ටයර් ක්‍රියාකාරිත්වයට (පෙරළීමේ ප්‍රතිරෝධය, ඇඳීම හා කම්පනය) දායක වෙනවා. තවත් වැදගත් කෘත්‍රිම රබර් වන්නේ හැලෝබියුටයිල් රබර් ලෙස හඳුන්වන හැලජනක පොලිසොබියුටිලීන් රබර් (XIIR) . මෙම ද්‍රව්‍යයත් ටයරයෙහි ක්‍රියාකාරිත්වයට සක්‍රිය දායකත්වයක් ලබා දෙනවා. 

යකඩ

වානේ කම්බි ටයර් පටිවල භාවිත වන අතර ටයර් ආවරණයක් තද කිරීමටත්, ටයර් හැසිරවීම වැඩි දියුණු කිරීමටත් එය උපකාරී කර ගන්නවා. 

විවිධ වර්ගයේ රෙදි රැහැන්

ටයර්වල ඇති  රෙදි යනු ටයරය ශක්තිමත් කරන විවිධ වර්ගයේ රෙදි රැහැන්. මෙම රෙදි පොලියෙස්ටර් රැහැන් රෙදි, රේයාන් රැහැන් රෙදි, නයිලෝන් රැහැන් රෙදි සහ ඇරමිඩ් රැහැන් රෙදියි. ටයර්වල  රෙදි රැහැන් මඟින් ටයරයට ස්ථාවරත්වයක් ලබා දෙන අතර වාහනයේ බරට සහාය වනවා. ටයර් ආවරණයේ ඇති මූලික ශක්තිමත් කිරීමේ ද්‍රව්‍ය ලෙස ද රෙදි රැහැන් යොදාගන්නා අතර ටයරයට එහි හැඩය විවිධ මාර්ග තත්වයන් යටතේ තබා ගැනීමට රෙදි රැහැන් උපකාරී වනවා. එමඟින් ටයරයට අමතර විඳ දරාගැනීමක් සහ ක්‍රියාකාරීත්ව හැකියාවක් ලබා දෙනවා. 

ෆිලර්ස් (කාබන් බ්ලැක්, අමෝර්ෆෝස් ප්‍රෙසිපිටේටඩ් සිලිකා)

කාබන් සහ සිලිකා යන දෙකම රබර් ශක්තිමත් කරන පිරවුම්. සිලිකා භාවිතය ටයරයෙහි පෙරළීමේ ප්‍රතිරෝධය වැඩි දියුණු කරනවා.

ප්‍රතිඔක්සිකාරක

ප්‍රතිඔක්සිකාරක මගින් උෂ්ණත්වය හා ඔක්සිජන් හේතුවෙන් රබර් බිඳවැටීමෙන් වළක්වා ගැනීම සිදුකරනට උපකාරී වනවා.

ප්‍රතිජීවක

ප්‍රතිඔක්සිකාරක භාවිත කරන්නේ ටයරයේ මතුපිටට ඕසෝන් නිරාවරණය වීමෙන් ඇතිවන බලපෑම්වලට බාධා කිරීම සඳහායි.

සල්ෆර්,සින්ක් ඔක්සයිඩ්

සල්ෆර් සහ සින්ක් ඔක්සයිඩ් රබර් ඝන බවට පත්කිරීමට සහය වනවා.

ටයර් භාවිතයෙන් නිමකරන ලද මාර්ගයක්
ටයර් භාවිතයෙන් නිමකරන ලද මාර්ගයක් – tyrecrumb.com.au

ටයර් පිළිබද ලොව පවතින නීති රීති සහ පිළිගත් ක්‍රමවේද

යුරෝපයේ නම් මේ ආකාරයෙන් ටයර් බැහැර කිරීම නීති විරෝධී ක්‍රියාවක්. 2006 සිට යුරෝපා සංගම් නීති රීති මගින් ටයර් බැහැර කිරීම තහනම් කර ඇති අතර සෑම අවස්ථාවකදීම ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ යුතුවනවා.

බ්‍රිතාන්‍යයේ සියලුම කාර් සහ ට්‍රක් ටයර් ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිත කළ යුතුයි. වර්තමානයේ, බ්‍රිතාන්‍යයේ භාවිත ටයර් මිලියන 55 න් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් සැකසෙන්නේ වගකිවයුතු ප්‍රතිචක්‍රීකරණ යෝජනා ක්‍රම මගිනුයි.

පරිසර හිතකාමී හෝ පිළිගත හැකි ක්‍රමවේදයකින් මෙම ටයර් එකතු කිරීමේ සිට නැවත ඒවා භාවිත කිරීම දක්වා ක්‍රියාවලිය වගකිම් සහගත ව බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වෙනවා. නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කළ ටයර්වලින් ලබා ගත් අමු ද්‍රව්‍ය ළමා ක්‍රීඩා පිටි, ධාවන පථ, කෘත්‍රිම ක්‍රීඩා පිටි, සිමෙන්ති පෝරණු සඳහා ඉන්ධන ලෙස ද, කාපට්, අශ්වාරෝහක ක්‍රීඩාංගණ ධාවන පථ ඇතුළු විවිධ කටයුතුවලට යොදා ගැනෙනවා.

ටයර් ගංවතුර ආරක්ෂණ පද්ධතියක්

මෙම ටයර් ගංවතුර ආරක්ෂණ පද්ධතියක් ලෙස ද භාවිත කළ හැකි බවත් සදහන්. ටයර් හොඳ තත්ත්වයේ තිබේ නම්, ඒවා නැවත සකස් කර භාවිතය සදහා ද යොමුකරනවා.

2010 දී සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යයේ ඉවත ලන ටයර්වලින් 30% ක් පමණ ප්‍රමාණයෙන් කුඩා රබර් බවට පත් කර ඇති අතර, 18% ක් බලශක්තිය සඳහා ද, 20% කට ආසන්න ප්‍රමාණයක් නැවත භාවිතය සඳහා ද (එක්සත් රාජධානියේ හෝ විදේශයන්හි), 16% ක්  ගොඩකිරීම් සඳහාත් භාවිත කර තිබෙනවා. මින් 11% ක් නැවත සකසා ඇති බවටත් පරිසර ඒජන්සි පවසනවා. දැඩි අපනයනය නීතිවලට යටත්ව සමහර අවස්ථාවල දී ඉන්දියාව, පාකිස්තානය සහ මැලේසියාව වැනි රටවලට ද මෙම ටයර් නැව්ගත කරනවා.

රබර් මහා මාර්ග

රබර් මහා මාර්ග ප්‍රථම වරට ඉදි  කෙරුණේ 1960 දශකයේ එක්සත් ජනපදයේයි. අද වන විට ප්‍රතිචක්‍රීකරණය කළ ටයර්වලින් එරට මහා මාර්ග සැතපුම් 20,000 ක් පමණ දුරක් නිමවා තිබෙනවා.
ප්‍රතිචක්‍රීකරණය කළ කාර් ටයර් මාර්ගවල මතුපිටට යොදා ගත හැකිබව සොයා ගැනීමෙන් පසු විවිධ රටවල් එම ටයර් සිය රටවල් පුරා රබර් මහා මාර්ගවල මතුපිටට යෙදීම ආරම්භකර තිබීමද විශේෂයි. චීනය, බ්‍රසීලය, ස්පාඤ්ඤය සහ ජර්මනිය යන රටවල ද රබර් රබර් මහා මාර්ග ජනප්‍රියයි.

ස්කොට්ලන්තයේ කාර්යබහුලම මාර්ගවලින් එකක් පැරණි ටයර්වලින් යොදාගත් රබර් අඩංගු ඇස්ෆල්ට් මගින් පසුගිය වසරේදී නැවත සකස් කර තිබෙනවා.
ටයර් රබර් යොදා සැකසා ඇති පර්ත් සහ ඩුන්ඩි අතර ද්විත්ව මාර්ගයක ග්‍රිප් සහ ස්කිඩ් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව රබර් නිසා වාහන ශබ්දය අවම ව තබාගෙන ධාවනය කළහැකි බව ඉංජිනේරුවන් වාර්තා කර තිබෙනවා. ප්‍රවීණයන් කියා සිටින්නේ ටයර් භාවිතය නිසා මාර්ගයට අඩු නඩත්තු කිරීමක් අවශ්‍ය වන අතර ජලාය ගලා යම ද හොඳින් සිදුවන බවයි.

ටයර් බැහැර කරන ප්‍රදේශයක ඇතිවූ ගින්නක්
ටයර් බැහැර කරන ප්‍රදේශයක ඇතිවූ ගින්නක් – imgur.com

ටයර් සහ පරිසර හානිය

 කුවේට් ටයර් බැහැර කරන ප්‍රදේශයක ගින්නක් පසුගිය වසරේ හටගෙන ඇති අතර එය අභ්‍යවකාශයේ සිට දැකගත හැකි තරම් විශාලවී තිබෙනවා. තවත් ගින්නක් අල් ජහ්රා අසල ප්‍රදේශයකත් හටගෙන තිබෙනවා. මේ අනතුරුවලින් ටයර් මිලියන පහක් පමණ ගින්නෙන් දැවී ගිය බව විශ්වාස කෙරෙනවා. ඇති වූ ගිනි නිවා දැමීමට සිය ගණනක්වූ ගිනි නිවන භටයන් මෙන් ම කුවේට් තෙල් සමාගමේ සෙබළුන් සහ සේවකයන් ද සහභාගී වූවා. ටයර් ගිනි නිවා දැමීම සාමාන්‍යයෙන් අපහසු ක්‍රියාවක්. ඒවා විශාල දුමාරයක් ද නිපදවනවා. ටයර් බොහෝ විට දැවෙන අතර රබර් සංයෝග බිඳවැටීමෙන් විෂ රසායනික ද්‍රව්‍ය ද නිපදවෙනවා. මේ හේතුවෙන් එරට මන්ත්‍රීවරුන් ගණනාවක් ගින්න ‘පාරිසරික ව්‍යසනයක්’ ලෙස විස්තර කළ අතර විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක දී මේ පිළිබඳ විවාදයක් ද ඉල්ලා තිබෙනවා. තවමත් කුවේට් නගරය ආශ්‍රිත කාන්තාර ප්‍රදේශවලට ටයර් විශාල ලෙස බැහැර කිරීම නොනවත්වා සිදුවනවා. එයින් සිදුවන පරිසර හානිය අදට වඩා හෙට දිනයේදී  බොහෝ තදින් දැනෙනු ඇති.  

Related Articles