Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් තිරගත නොවූ ලංකාවේ චිත්‍රපටි කිහිපයක්

අන්තර්ජාතික වශයෙන් විශාල කතාබහකට ලක්වුණ බොරදිය පොකුණ චිත්‍රපටිය ලංකාවේ තිරගත කිරීමට හැකි වුණේ වසර අටකට පමණ පසුවයි. බොරදිය පොකුණ චිත්‍රපටියේ ප්‍රමාදය සමඟ ලංකාවේ බිහිවුණ දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂව‍රයෙක් වන සත්‍යජිත් මාඉටිපේ මහතාගේ සිනමා ජීවිතයද ප්‍රමාද වූ බව ජනප්‍රිය මතයක්. තවමත් ඔහු දෙවැනි චිත්‍රපටියක් අවසාන කිරීමට සමත් වෙලා නැහැ. චිත්‍රපටි තිරගත වීම ප්‍රමාද වීම නිසා බොහෝ අධ්‍යක්ෂවරුන්ට ලංකාවේ සිනමාව තුළ තමන්ගේ හැකියාව පෙන්වීමට නොහැකි වෙලා තියෙනවා. මෑතකදී අභාවප්‍රාප්ත වුණ චිත්‍රපටි අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජයන්ටද තමන්ගේ ස්වරූප චිත්‍රපටිය තිරගත කිරීමට වසර කිහිපයක් බලා සිටින්නට සිදු වුණා. ඔහු පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදී පසුව පවසා තිබුණු විදියට ඔහුගේ චිත්‍රපටිය තිරගත කිරීමේදී ද විශාල අසාධාරණයකට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා.

ලංකාවේ චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම තරුණ අධ්‍යක්ෂවරුන්ට අසීරු කටයුත්තක් බව තරුණ චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් බොහෝ දෙනෙක් අදහස් පළ කරමින් කියා තියෙනවා. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් ලංකාවේ තිරගත වීමට අවස්ථාවක් ලැබුණේ නැති, සිනමා විචාරකයන්ගේ ගෞරවයට ලක්වුණ චිත්‍රපටි බොහොමයක් පෝලිමේ සිටින බව නම් පැහැදිලිව දකින්නට ලැබෙනවා. මේ සටහන ලියැවෙන්නේ ඒ චිත්‍රපටි අතරින් කිහිපයක් ගැනයි.

theindependent.lk

බහුචිතවාදියා     

දෙරණ සිනමා සම්මාන උළෙලේදී හෙට දවසේ සිනමාව වෙනුවෙන් හිමි සම්මානය දිනා ගත්තේ බහුචිතවාදියා චිත්‍රපටියයි. කූඹියෝ නාට්‍යයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලද කලණ ගුණසේකර ‘බහුචිතවාදියා’ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපානවා. කෙසේ වෙතත් දෙරණ සිනමා සම්මාන උළෙලේදී සම්මානය ලබාගන්නා චිත්‍රපටියේ අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය විසින් අදහස් දක්වමින් පැවසුවේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම දැවැන්ත අභියෝගයක් වනු ඇති බවයි. මේ වෙද්දීත් චිත්‍රපටිය ප්‍රදර්ශනය සැලසුම් කිරීමට මාලක දේවප්‍රිය ඇතුළු කණ්ඩායම උත්සාහ කරමින් සිටිනවා.

saaravita.lk

සෙවණැලි

උදාර අබේසුන්දර ලංකාවේ දැවැන්ත ජනප්‍රියත්වයක් ලබන්න මෑත කාලයේදී සමත් වුණා. ඒ ‘මීෂා හාමු’ කියන නමින්. කූඹියෝ ටෙලි නාට්‍යයේ කෙටි චරිතයකින් ඔහු රංගනයෙන් එක්වූ නිසා ඔහුට ඒ විශේෂ අවධානය යොමු වුණා. එහෙත් සිනමා සමාජයේදී ඔහු රංගන ශිල්පියෙක් පමණක් නෙවෙයි. ඔහු බලාපොරොත්තු රැගත් අධ්‍යක්ෂවරයෙක්.

උදාර අබේසුන්දර විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටිය තමයි ‘සෙවණැලි’ කියන්නේ. ඒ චිත්‍රපටියද මේ වනවිට වසර කිහිපයක් තිස්සේ තිරගත වීමට අවස්ථාවක් නොලබා තියෙනවා. විශ්ව බාලසූරිය නම් හැකියාවෙන් පිරුණු තරුණ කැමරා අධ්‍යක්ෂවරයා සෙවණැලි චිත්‍රපටියට කැමරා අධ්‍යක්ෂණයෙන් එක්ව සිටිනවා. චාන්දනී සෙනෙවිරත්න මේ චිත්‍රපටියට අපූරු රංගනයකින් එක්වෙනවා. චාන්දනීට අමතරව මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලින් බිමල් ජයකොඩි, නිරෝෂා පෙරේරා සහ සරත් කොතලාවල එක් වෙනවා. අද්භූත ගණයට අයත් මේ චිත්‍රපටියද ලංකාවේ චිත්‍රපටි කලාව පුළුල් කරන්නට හැකියාවක් තියෙන අධ්‍යෂවරයෙකුගේ චිත්‍රපටියක්.

filmsouthasia.org

ඩීමන්ස් ඉන් ද පැරඩයිස්‍

බහුචිතවාදියා චිත්‍රපටිය සමඟම දෙරණ සිනමා සම්මාන උළෙලේදී කතාබහට ලක්වුණු වාර්තා චිත්‍රපටියක් තමයි ජූඩ් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ ඩීමන්ස් ඉන් ද පැරඩයිස් නම් වාර්තා චිත්‍රපටිය. ඔහු එම සම්මාන උළෙලේදී මතු ප්‍රාර්ථනා සපිරි අධ්‍යක්ෂවරයා ලෙස සම්මානය දිනා ගත්තා. මේ චිත්‍රපටිය ජූඩ් රත්නම් යුද්ධය පිළිබඳ සැබෑ සිදුවීම් පෙළක් දෙස යළි හැරී බැලීමක් ලෙස නිර්මාණය කළ වාර්තා චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ලොව ගෞරවනීයම සිනමා සම්මාන උලෙළ ලෙස සැලකෙන ප්‍රංශයේ කාන් සිනමා සම්මාන උලෙළේ ප්‍රදර්ශනය කෙරුණා. ඒ ගෞරවය ලද ලංකාවේ චිත්‍රපටි ඇත්තේ කිහිපයයි. ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයි වාර්තා චිත්‍රපටිය සිනමාහල්වල තිරගත වීම සමඟම ලංකාවේ සිනමාහල්වලදී හොඳ වාර්තා චිත්‍රපටි නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සිනමා රසිකයන්ට විශ්වාස කළ හැකියි. එහෙත් ඩීමන්ස් ඉන් ද පැරඩයිස් චිත්‍රපටිය නුදුරේදී තිරගත කළ හැකි වේදැයි ජූඩ් රත්නම් මහතා සැක පළ කරනවා.

The Three wheeler Diaries fb

ත්‍රීවීල් ඩයරීස්

ලංකාවේ සිනමාව වර්ණවත් කරන්නට සමත් සිනමා ශානරයක් තමයි රෝඩ් මූවීස් කියන්නේ. සිනමා විචාරක චින්තන ධර්මදාස 2015 දී ත්‍රීවීලර් ඩයරීස් චිත්‍රපටියේ දර්ශන වාරයක් තිරගත වීමෙන් පසුව පැවති සංවාදයකදී කියා තියෙන විදියට රෝඩ් මූවීස් කියන ශානරයට අයිති චිත්‍රපටියක් ‘පාර දිගේ’ චිත්‍රපටියෙන් පසුව ලංකාවේ තිරගත වී නැහැ. ත්‍රීවීලර් ඩයරීස් තිරගත වුවහොත් එය ලංකාවෙ සිනමාව ලස්සන කරන්නට සමත් චිත්‍රපටියක් වනු ඇතැයි ඔහු කියනවා. ත්‍රීවීලර් ඩයරීස් චිත්‍රපටිය කේන්ද්‍ර වන්නේ ලිංගික ශ්‍රමික කාන්තාවක්ව රැගෙන ඇය හරහා මුදල් උපයමින් ත්‍රීවීලරයක නැඟී රට වඩා ගමන් කරන මිතුරන් කිහිප දෙනෙකු වටායි. කෞෂල්‍යා ප්‍රනාන්දු මේ චිත්‍රපටි‍යේ ප්‍රධාන චරිතයක් රඟ දක්වනවා.

දැවෙන විහඟුන්

‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටිය සංජීව පුෂ්පකුමාරගේ පළමු වැනි චිත්‍රපටියයි. අන්තර්ජාතික වශයෙන් ශිෂ්‍යත්වයක් ලබා සිනමාව අධ්‍යනය කිරීමට අවස්ථාව ලද සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ දෙවැනි චිත්‍රපටිය ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටියයි. සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී ඇතුළු රංගන ශිල්පීන් එක්වූ මේ චිත්‍රපටියද අන්තර්ජාතික වශයෙන් සම්මාන උලෙළවල් කිහිපයකදීම සම්මාන ලබන්නට සමත් වුණා. කෙසේ වෙතත් මේ චිත්‍රපටියද නුදුරු අනාගතයේදී ලංකාවේ තිරගත වනු ඇතිදැයි ඇත්තේ සැකයක්. කෙසේ වෙතත් බී.බී.සී. සිංහල සේවය සමඟ අදහස් දක්වමින් සංජීව පුෂ්පකුමාර කියා තිබුණේ තමන්ගේ චිත්‍රපටිය ලංකාවේ සිනමා ප්‍රේක්ෂකාගාරය සමඟ බෙදා හැරීම තමන්ට ‍විශාල සතුටක් බවයි. ඒ නිසා ලංකාවේ සිනමාහල්වල චිත්‍රපටිය තිරගත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කියා තිබුණා.

දැකලා පුරුදු කෙනෙක්

බූපති නලින් කියන්නේ විචාරකයෙක් ලෙස සමාජයේ කතාබහට ලක්වුණ පුද්ගලයෙක්. දැවැන්ත අධ්‍යයනයක් එක්ක කලා විචාරයේ නිරත වෙන කෙනෙක් විදියට බූපතිව සමාජය හඳුනා ගන්නවා. බූපති නලින් වික්‍රමගේ මලිත් හෑගොඩ සමඟ එක්ව ලියා, මලිත් හෑගොඩ විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටියක් තමයි ‘දැකලා පුරුදු කෙනෙක්’ කියන්නේ. දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටියේ කැමරා අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ ලංකාවේ සිටින ප්‍රවීණතම කැමරා අධ්‍යක්ෂවරයෙක් වගේම සිනමා ගුරුවරයෙක්ද වන එම්.ඩී. මහින්දපාලයන් විසින්. මේ චිත්‍රපටියද 2015 දී පමණ අවසාන කළා. එමෙන්ම අන්තර්ජාතික සිනමා උළෙලවල් වලදී තිරගත කළා. එහෙත් තවම ලංකාවේ තිරගත කිරීමට අවස්ථාවක් ලැබී නැහැ. කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී අධ්‍යක්ෂ මලිත් හෑගොඩ පැවසුවේ චිත්‍රපටිය තිරගත කිරීම තවත් සෑහෙන කාලයකට සිදු නොවනු ඇති බවයි. ඒ ලංකාවේ චිත්‍රපටි ප්‍රදර්ශනයට ඇති නොයෙකුත් බාධා නිසයි.

පනෛයිමරකාඩු

ලංකාවේ සිනමාහල්වල ‍’කෝමාලි කිංග්ස්’ දෙමළ චිත්‍රපටිය තිරගත වීම ලාංකීය දෙමළ සිනමාවේ බලාපොරොත්තු මතුකරන අවස්ථාවක් වුණා. ‍කෝමාලි කිංග්ස් කොළඹ කේන්ද්‍රීයව නිර්මාණය කළ චිත්‍රපටියක්. යාපනයේදී නිර්මාණය කළ චිත්‍රපටියක් සිනමාහල්වල තිරගත කරන්නට අවස්ථාව ලැබුණොත් එය ලංකාවේ දෙමළ සිනමාවට තවත් විශාල ජයග්‍රහණයක් බවට පත්වේවි. 2017 වසරේ යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී තිරගත වුණ පනෛමරක්කාඩු දෙමළ චිත්‍රපටිය සිනමාහල්වල තිරගත වීම ඒ ජයග්‍රහණය ලබන අවස්ථාව විය හැකියි.

ලංකාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරේ පාලන බලය හිමිකරගෙන සිටි සමයේ උතුරේ ජීවත්වූ සිනමා අධ්‍යක්ෂවරයෙක් වන කේසවරාජන් නවරත්නම් මහතා යුද සමය නොතකා තම සිනමා සිහිනය පසුපස හඹා ගිය අයෙක්. ඒ නිසාම එල්.ටී.ටී.ඊ  පාලන සමයේ වුව ඔහු චිත්‍රපටි හයක් පමණ අධ්‍යක්ෂණය කර තියෙනවා. යුද්ධය අවසාන වීමෙන් පසුවද මුහුණ දෙන්නට සිදු වූ අමිහිරි අත්දැකීම් පසෙක තබා ඔහු සිනමාවටම යොමු වුණා. පනෛමරක්කාඩු චිත්‍රපටිය රූගත කිරීම් 2010 පමණ කාලයේදී ආරම්භ කළ බව ඔහු කියනවා. කෙසේ වෙතත් චිත්‍රපටිය 2017 තෙක් අවසාන කරන්නට ‍ඔහුට හැකියාව ලැබුණේ නැහැ. පනෛමරක්කාඩු චිත්‍රපටිය 2017 දී කොළඹදී තිරගත කිරීමට සැලසුම් කළත් චිත්‍රපටියේ නීතිමය අයිතිය පිළිබඳ ගැටලුවක් ඇතිවුණු නිසා එය අසාර්ථක වුණා. කෙසේ වෙතත් මේ වෙද්දී නීතිමය ගැටලුව විසඳාගෙන චිත්‍රපටිය තිරගත කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බව කේසවරාජන් නවරත්නම් මහතා කියනවා.

Cover  Sanjeewa Pushpakumara/FB

Related Articles