Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාර්කෝ ග්‍රාසි චිත්‍ර ශිල්පියාගේ තෙලිතුඩෙන් ජීවය ලබන හැඩකාර අප්සරාවියෝ

චිත්‍ර ශිල්පය කියන්නෙ අපූර්වතම කලාවක්. චිත්‍රයකට පණ පෙවීමට නොහැකි පුද්ගලයෙකුට පවා එහි පවතින රසය විඳ ගැනීමටත් විවිධ අර්ථකථනයන් ඉදිරිපත් කිරීමටත් හැකියාව පවතිනවා. විවිධ චිත්‍ර ශිල්පීන් ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයන් බවට පත් වන්නේ සිය පෞද්ගලික අභිරුචීන්ට අනුව යි. ඒ අතර සොබාදහම, විවිධ සිදුවීම්, අර්ථයන් ව්‍යංගයෙන් හඟවන වර්ණ රූප, ස්ත්‍රී රූප මූලික වෙනවා. ඉතාලි චිත්‍ර කලාවෙහි අංකුරයක් ලෙසින් බිහි වූ ඇල්බේනියානු සම්භවයක් සහිත මාර්කෝ ග්‍රාසි චිත්‍ර ශිල්පියා අද වන විට චිත්‍ර කලාව තුළ ඉමහත් පෙරළියක් සිදුකරමින් සිටිනවා. ඔහුගේ කලාව ගොඩනැගෙන්නේ, ඔහු ප්‍රවීණත්වයට පත්වන්නේ, ඔහුගේ ම සුන්දරියන් අතිනුයි. ඒ සුන්දරියන් අන් කිසිවෙකුත් නොව, ඔහුගේ ම මනසින් ඔහු උපකල්පනය කරගත් ස්ත්‍රී රූප යි. මාර්කෝගේ විශේෂත්වය වන්නේ ඔහු අතින් නිර්මාණය කරන සිතුවම්, සිතුවම්දැ යි සිතෙන තරමට ජීවමාන හා තාත්වික ඒවා වීම යි. ඔහුගේ වර්ණ ගැන්වීම් එතරම්ම  සජීවී සහ විශේෂිත යි.

මාර්කෝ සිතුවමක් නිර්මාණය කරමින් (ostrnum.com)

මාර්කෝ සැබැවින් ම අද්විතීය චිත්‍ර නිර්මාණකරුවෙක්. දෙවියන් විසින් ආදම් සහ ඒවා මැවූ බවට පවත්නා ආගමික පුරාවෘත්තය හා සසඳා බලන්නේ නම්, මාර්කෝ ද චිත්‍ර කලාව තුළ එක්තරා දෙවියෙකු බවට පත්වනවා. ඔහුගේ සිතුවම්වලට සමීප ව බලන ඕනෑ ම පුද්ගලයෙකුට ඇතිවන්නේ තමන් කිසියම් ජීවමාන පුද්ගලයෙකුගේ ඡායාරූපයක් දෙස බලා සිටිනවා යන හැඟීම යි. අදාළ ස්ත්‍රී රූප වෙත වඩාත් සමීප වී සම මතුපිට සෛලමය පිහිටීම, පැල්ලම්, ඇහිබැමි, ඇහි පිහාටු, හිසකේ පිහිටා තිබෙන ආකාරය යනා දී අතිශයින් සියුම් ස්ථාන පරීක්ෂාවක් සිදුකරන ඕනෑ ම අයෙකු, මාර්කෝගේ නිර්මාණ කෞශල්‍යය පිළිබඳ ව මවිතයට පත් වෙනවා. වරදක් පෙන්වා දිය නොහැකි අන්දමින් ඒවායෙහි පිරී පවතින්නේ සජීවීත්වය යි; ජීවමානත්වය යි. කැන්වස් පසුබිම මත සැබෑ කාන්තාවක් මවා පෙන්වන මාර්කෝ, චිත්‍ර කලාව තුළ දේවත්වයට පත් වන්නේ එලෙස යි. ඔහු ඔහුගේ සෑම සිතුවමකට ම අමතර යමක් එකතු කරනවා. ඔහුගේ එක් චිත්‍ර නිර්මාණයක නිරූපණය වන කාන්තාවගේ පිටෙහි පවත්නා කැටයම් සිදුරු මඟින් ඇගේ අභ්‍යන්තරයෙහි පවත්නා හිස් බව නිරූපණය කොට දක්වනවා. අලංකාර ස්ත්‍රී රුවක් හුදු කවරයක් පමණක් කර දැක්වීමක් එහි දී සිදු වී තිබෙනවා.

අභ්‍යන්තරය හිස් බව නිරූපණය කරන නිර්මාණයක් (mymodernmet.com)

තවත් නිර්මාණයක මාර්කෝ ඔහුගේ ම සිතුවිල්ලකින් බිහි වූ කාන්තාව මත අපූරු සහ වර්ණවත් tattoo හෙවත් පච්චයක් නිරූපණය කර දක්වනවා. ඔහුගේ තවත් නිර්මාණයක සිටින කාන්තාව මත මාර්කෝ පුරාණ පළඳනාවක ස්වරූපයක් දක්වන වීදුරු වැනි ද්‍රව්‍යයකින් සකසන ලද යම් මෙවලමක් සිතුවම් කර තිබෙනවා. මාර්කෝගේ ස්ත්‍රී සිතුවම්වල පවත්නා විශේෂත්වය වන්නේ මෙය යි. ඔහු නග්න ස්ත්‍රිය මත කිසියම් විශේෂිත තවත් යමක් සිතුවම් කිරීම සිදුකරනවා. ඉන් අදාළ රූපයට විශේෂිත හැඩයක් සහ කතාන්දරයක් එක් කරනවා. මාර්කෝ විසින් සිය ස්ත්‍රී රූපවලට කරන සැරසිලි, අදාළ ස්ත්‍රී රූප අලංකරණයට පත් කරන අතර ම ඇතැම් විට තරමක බිහිසුණු පෙනුමක් ද ඊට එක් කරනවා. මාර්කෝගේ ඇතැම් නිර්මාණයන් මුළුමනින් නග්න සිතුවම් වන්නේ නැහැ. ඔහුගේ එක් සිතුවමක කාන්තාවට ඉතා අලංකාර ඇඳුමක් ද එක් කිරීමට මාර්කෝ අමතක කරන්නේ නැහැ. ඔහුගේ තවත් එක් සිතුවමක කාන්තාව වටා ගෙත්තමක් එතීමට ඔහුගේ තෙලිතුඩ සමත් වී තිබෙනවා.

වර්ණවත් ඇඳුමක් සහිත ස්ත්‍රී සිතුවම (mymodernmet.com)

සිතුවම් කලාවට, ඡායාරූප කලාවක ස්වරූපය ආරෝපණය කිරීමට තරම් මාර්කෝ දක්ෂයෙකු බවට පත් වනවා. ඔහු විසින් අඳින ලද සිතුවම් බොහෝ දෙනාගේ දෑස් පැහැර ගැනීමට සමත් වන්නේ ශරීරයේ ඉතා සියුම් ලක්ෂණයන් පවා සිය සිතුවම් තුළට ඇතුළත් කිරීමට තරම් මාර්කෝ දක්ෂයෙකු වීම හේතුවෙන් ම යි. ඔහුගේ අතිශය දියුණු සිතුවම් ඇඳීමෙහි තාක්ෂණය විසින් ලොව බොහෝ දෙනා ව තමන් වෙත ග්‍රහණය කරගනිමින් සිටිනවා.

 

කවරයේ පින්තූරය: (Youtube)

මූලාශ්‍රයයන්:

Hyperrealistic Paintings of Women with a Surreal Twist by Marco Grassi, mymodernmet.com

marcograssipainter.com

Related Articles