Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙක්සිකෝවෙන් සොයාගත් ලොව විශාලතම දිය යට ගුහා සංකීර්ණය

මායාවරුන්ගේ ශිෂ්ටාචාරය පිළිබඳව තතු ගවේෂණයේ යෙදෙන විද්වත් කණ්ඩායමක් විසින් මීට මාස කිහිපයකට පෙර, එනම් ජනවාරි මස මුල භාගයේදී එක් විශේෂිත සොයා ගැනීමක් සිදු කරනු ලැබුවා. එනම්, මෙක්සිකෝවේ ගිණිකොණ දිග පිහිටි යුකේටන් අර්ධද්වීපයේ (Yucatan peninsula) දිය යට පිහිටා ඇති සැක් ඇක්ටන් සහ ඩොස් ඕජෝස් නම් වන ගුහා දෙකක් අතර සම්බන්ධතාවයක් පවත්නා බවයි. the Great Maya Aquifer Project team නම් වූ මෙම කණ්ඩායම විසින් සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණයන්ගෙන් හෙළි වූයේ මෙම ගුහා ද්විත්වය එකිනෙක සම්බන්ධ කළ විට දිය යට සැතපුම් දෙසිය පහළවක පමණ අන්තර්-පෘෂ්ඨමය වංකගිරියක් (Subsurface labrunth) දැකගත හැකි වන බවයි. නැෂනල් ජියෝග්‍රැෆික්හි නිර්වචනයන්ට අනුව නම් මෙතෙක් ලොව සොයාගෙන ඇති විශාලතම දිය යට පිහිටි ගුහා පරිශ්‍රය වන්නේ යුකේටියානු අර්ධද්වීපයේ පිහිටි මෙම ගුහා සංකීර්ණයයි.

දිය යට සැඟවී ඇති වංකගිරිය

Flooded caverns නමින් හැඳින්වෙන මෙම ගුහා සෑදී ඇත්තේ ඉතා ආකර්ෂණීය පාෂාණමය සැකැස්මකිනි. නමුත් මෙහි ඇති එකම විශේෂත්වය එය පමණක් නොවේ. මායාවරුන්ගේ ශිෂ්ටාචාරයට ආවේණික වූ පූර්ව-හිස්පැනික යුගයට (Pre Hispanic) අයත් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන විවිධ භාණ්ඩ සහ සන්ධිස්ථානයන්ද මෙම ගුහා පරිශ්‍රය තුළ දැකගත හැකියි. එපමණක්ද නොව, මින්පෙර හඳුනාගෙන නොමැති විවිධාකාරයේ සත්ව සහ ශාක වර්ගයන්ද මෙම පරිශ්‍රයෙන් සොයාගෙන තිබෙනවා.

ගුහා තුළ සැරිසරන කිමිදුම්කරුවෝ (www.smithsonianmag.com )

මායාවරුන්ගේ ශිෂ්ටාචාරය පිළිබඳව ගවේෂණය කරන the Great Maya Aquifer Project ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයා වන ගියෙර්මෝ ඩි’ අන්ඩා ප්‍රකාශ කරන්නේ මෙහි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සැකැස්මවල් සියයකටත් වඩා පවතින බවයි. “දිය යට සැඟවී ඇති මෙම වංකගිරිය මේ වන විට ලොව සොයාගෙන ඇති දිය යට පිහිටි විශාලතම පුරාවිද්‍යාත්මක සංකීර්ණය ලෙස අපි හඳුනාගෙන තිබෙනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කරනවා. “මේ යටතේ අපට ඇමරිකාවේ මුල්ම පදිංචිකරුවන් පිළිබඳව මෙන්ම මේ වන විට වඳවී ගොස් ඇති ශාක කිහිපයක් පිළිබඳවද දත්ත හා තොරතුරු ලබා ගන්නට අපේ කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා පමණක් නොවෙයි, මායාවරුන්ගේ ශිෂ්ටාචාරය පිළිබඳව අතිශය වැදගත් අනාවරණ රැසක් කිරීමටද මේ පරිශ්‍රය අනිවාර්යයෙන්ම උපකාරී වනවා” අධ්‍යක්ෂක ගියෙර්මෝ ඩි’ අන්ඩා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

සැක් ඇක්ටන් (Sac Actun) නම් වූ මෙම දිය යට පිහිටි එක් ගුහාවක් තුළින් 2014 වසරේදී මිනිස් ඇටසැකිල්ලක් හමු වී තිබුණා. කිමිදුම්කරුවන් විසින් මෙම ගුහාවෙහි කොටසක් ගවේෂණය කරමින් සිටියදී එහි තිබී සොයා ගැනුණු මෙම ඇටසැකිල්ල මේ වන විට වත්මන් ලෝකයා විසින් සොයාගෙන ඇති පැරණිතම ඇටසැකිල්ල ලෙසින්ද හැඳින්වෙනවා.

සැක් ඇක්ටන් ගුහාව (feel-planet.com)

ගුහා දෙක අතර ඇති සම්බන්ධතාවය සොයා ගැනීම

නැෂනල් ජියෝග්‍රැෆික් කණ්ඩායම වාර්තා කරන අන්දමට මෙම ව්‍යාපෘතියට අයත් කිමිදුම් කරුවන් සැක් ඇක්ටන් සහ ඩොස් ඕජෝස් (Dos Ojos) නම් වන ගුහා ද්විත්වය තුළ පිහිටා ඇති උමං මාර්ග සහ පොළොව යට පිහිටි ජලාශ සටහන් කරමින් ඒවා සිතියම්ගත කොට තිබෙනවා. මෙම පොළොව  යට පිහිටි ජලාශ හැඳින්වෙන්නේ cenotes නමින්. දිගුකලක් තිස්සේ මෙම ගුහා දෙක අතර ඇති සම්බන්ධතාවය සොයාගැනීමට ගත් වෑයම සාර්ථක වූ බැවිනුයි මෙම ගුහා දෙක අතර පිහිටි අන්තර් -පෘෂ්ඨමය ප්‍රදේශය සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකියාව ලැබුණේ. මෙක්සිකෝවේ කැරිබියානු මුහුදු තීරයේ පිහිටා තිබෙන, විශාල පවුරකින්ද වට වී ඇති ටියුලම් (Tulum) නම් වන නගරය ආසන්නයෙනුයි මෙම ගුහා දෙක සම්බන්ධ කෙරෙන අන්තර් -පෘෂ්ඨමය වංකගිරිය පිහිටා ඇත්තේ.

රොයිටර් සේවය වාර්තා කරන්නේ ගුහාවන් වලට නම් තැබීමේ ක්‍රියා පටිපාටියට අනුව නම්, එක ළඟ ගුහා පරිශ්‍ර කිහිපයක් පිහිටා ඇති විට ඉන් විශාල ගුහා පරිශ්‍රය විසින් ඒ අසල වන කුඩා ගුහාවන්ද තම නාමය යටතට ඈඳාගනු ලබන බවයි. ඒ අනුව, මෙම වංකගිරියේ ඇති විශාලතම ගුහාව වන්නේ සැක් ඇක්ටන් ගුහාව බැවින්, සම්පූර්ණ පරිශ්‍රයටම සැක් ඇක්ටන් යන නම හිමිවනු ඇති.

මෙම නවතම ගවේෂණය පිළිබඳව ලොවට හෙළි කිරීම පිණිස පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මෙම ව්‍යාපෘතියේ තවත් අධ්‍යක්ෂකවරයෙකු වූ රොබට් ශ්මිට්නර් ප්‍රකාශ කළේ තමා මේ ගවේෂණ කටයුතු සඳහා තම දිවියෙන් දශක දෙකක පමණ කාලය වැය කොට ඇති බවයි. “වසර විස්සකටත් වැඩි කාලයක් මුළුල්ලේ මෙක්සිකොවේ ක්වින්ටානා රූ (Quintana Roo) ප්‍රාන්තයට අයත් මෙම ගුහා පරිශ්‍රයන් තුළ කිලෝමීටර සිය ගණනකටත් වඩා දුරක් එහා මෙහා කිමිදී ගමන් කිරීමේ ප්‍රතිපලයක් අප අද ලොවට කියා පානවා. මෙම දශක දෙකෙනුත් මම වසර දා හතරක් පමණ වැය කළේ මේ මහා සැක් ඇක්ටන් පරිශ්‍රය ගවේෂණය කිරීමටයි” යනුවෙන් ඔහු පවසා සිටියා. “දැන් අප සැමගේම වගකීම වන්නේ එම ගවේෂණ කටයුතු ඉදිරියටත් මනාව කරගෙන යාමයි”

ඩොස් ඕජෝස් ගුහාව (youtube.com)

මෙම ගවේෂණයට පෙර ලොව විශාලතම දිය යට පිහිටි ගුහා පරිශ්‍රය ලෙස හඳුනාගෙන තිබූයේ සැතපුම් එකසිය හැට අටක දුරකට හිමිකම් කී ඔක්ස් බෙල් හා (Ox Bel Ha)  පරිශ්‍රයයි. එය පිහිටා ඇත්තේද මේ පරිශ්‍රය අසලයි. සැක් ඇක්ටන්, ඩොස් ඕජෝස් හා කෝල් බාල් (Koal Baal) යන පරිශ්‍රයන් ඊට දෙවැනි වූ අතර, මේ වන විට පුරාවිද්‍යාඥයින් විශ්වාසය පළ කරන්නේ මෙම පරිශ්‍රයන් සියල්ලම එක් වීමෙන් මායා ශිෂ්ටාචාරයට අයත් දිය යට පිහිටි මුළු ජලජ සංකීර්ණයම, එනම් “The great Maya Aquifer” යනුවෙන් හැඳින්වෙන සම්පූර්ණ සංකීර්ණයම අනාවරණ කරගත හැකිවනු බවයි. නැෂනල් ජියෝග්‍රැෆික් ආයතනය තම නවතම අරමුණ ලෙස හඳුන්වා දෙන්නේද ඒ පිළිබඳ වැඩිදුර ගවේෂණ චාරිකා දියත් කිරීමයි.

බිලි පූජා

මායා ශිෂ්ටාචාරය පිළිබඳව මෙතෙක් අනාවරණ කොටගෙන ඇති තතු අතුරින් වඩාත් අනුවේදනීය එකක් වන්නේ ඔවුන් ඇදහූ “චාක්” (Chaac) හෙවත් වර්ෂාව, අකුණු සහ ජලයට අධිපති දෙවියන් හට කුඩා දරුවන් බිලි දෙමින් පූජා පවත්වා ඇති බවයි. හොන්ඩුරාස් ලෙසින් අතීතයේ හඳුන්වන ලද වත්මන් බෙලීස් දේශයට ආසන්නයේ පිහිටා ඇති Midnight Terror cave නැමති ගුහාව තුළින් වයස අවුරුදු දාහතරට අඩු දරුවන්ගේ අස්ථි කැබලි දස දහසක් පමණ මේ වන විට සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පුරාවිද්‍යාඥයින්ගේ මතය වන්නේ මායාවරුන්ගේ ශිෂ්ටාචාරය පිළිබඳව අප තවමත් දන්නේ ඉතා සුළු තොරතුරු ප්‍රමාණයක් පමණක් බවයි. එවැනි තවත් අනාවරණ ඉදිරියටත් කිරීමේ බලාපොරොත්තුව ඇතිව ඔවුන් මේ මොහොතේත් සැක් ඇක්ටන් නම් වන ජලයෙන් වැසුනු ගුහාව තුළ එහා මෙහා පිහිනමින් සිටිනු ඇති.

කවරයේ ඡායාරූපය – cnn.com

තොරතුරු උපුටා ගැනීම – www.smithsonianmag.com වෙබ් අඩවියේ “World’s largest Underwater Cave system Discovered in Mexico” ලිපිය ඇසුරිනි.

Related Articles