සියවස් ගණනාවක් තිස්සේ නොයෙක් ස්වරූපයේ මිථ්‍යා කථාන්තර තුළින් මනුෂ්‍ය ලෝකයට පිවිසුණු ‘කඟවේණා’ මෑත ඉතිහාසයේ දී වඩාත් ජනප්‍රිය වුණේ ජේ. කේ. රෝලිං මහත්මිය විසින් රචිත ‘හැරී පොටර්’ පොත් මාලාව හේතුවෙන් බව පැවසීම වරදක් නොවෙයි. දිය කිඳුරියන් සහ මකරුන් සමග මිථ්‍යා ලෝකයේ වැජඹෙන සුදෝසුදු පැහැ කඟවේණුන්ගේ සොඳුරු රුව, මධ්‍යතන යුගයට අයත් තෙල් සායම් සිතුවම් මත මෙන් ම පොඩිත්තන් වෙනුවෙන් රචනා කරන ලද පින්තූර කථාන්තර පොත් තුළ  ද දැක ගැනීමට ලැබෙනවා.

මෙසේ කාටත් හුරුපුරුදු රුවක් වන ‘කඟවේණා’ මිථ්‍යා සාහිත්‍ය ලොවට පැමිණි කථාන්තරය ද සිත් වසඟ කරවන්නක්. හදිසියේ ම මිනිස් පරිකල්පනය තුළින් බිහි නොවුණු ඔවුන් එකිනෙකට වෙනස් මුල් කාලීන ප්‍රභවයන් රාශියක් ඔස්සේ ක්‍රමයෙන් වර්ධනය වුණා. මේ ලිපිය පුරාතන යුගයේ පටන් පුරාවෘත්තයන් ගෙත්තම් කිරීම සඳහා නොමද දායකත්වයක් ලබා දුන් කඟවේණුන් ගැන යි.

© Bustle

සංස්කෘතීන් රැසක් ඔස්සේ දිග හැරුණු පුරාවෘත්තය

මුල් කාලීන මෙසපොතේමියානු චිත්‍ර ශිල්ප අතර මෙන් ම ඉන්දියාවේ සහ චීනයේ ජනප්‍රිය පුරාවෘත්තයන් හි ද කඟවේණුන් ගැන තොරතුරු ඇතුළත් වෙනවා. නමුත් කඟවේණෙකුගේ ස්වරූපය විස්තර කරන පැරණි ම ලේඛනය අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසට යි. ග්‍රීක වෛද්‍යවරයෙක් සහ ඉතිහාසඥයෙක් වන තේසියස් විසින් පෙරදිගින් පැමිණි සංචාරක වෙළඳුන්ගෙන් ඔහු අසා දැන ගන්නා ලද කරුණු පදනම් කරගෙන එය රචනා කර තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ සුදෝසුදු පැහැ සිරුරක්, තද රතු හෝ දම් පැහැ හිසක් සහ නිල්වන් දෙනෙත් හිමි අශ්වයෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල කැළෑ බූරුවන් ඉන්දියාවේ සිටින බව යි. එසේ ම මෙම විභූතිමත් සත්ත්වයින්ගේ නළල මත ප්‍රමාණයෙන් අඩියක් පමණ වන රතු පැහැ මුදුනක්, කළු පැහැ මැද කොටසක් සහ සුදු පැහැ ආරම්භයක් සහිත අඟක් පිහිටා ඇති බව ඔහු තව දුරටත් සඳහන් කර තිබෙනවා.

 (© Wikimedia Commons) කඟවේණෙකු ව දැක්වෙන මෙසපොතේමියානු නිර්මාණයක්

නමුත් චීන පුරාවෘත්තයන්ට අනුව වාසනාව රැගෙන එන සත්ත්වයෙකු වන කඟවේණාගේ අඟ දිගින් අඩි 12 ක් පමණ වන අතර ඔහුගේ සිරුර වැසී ඇත්තේ ශුද්ධ වූ පංච වර්ණ එනම් කළු, රතු, චින්ග් (කොළ සහ නිල් මිශ්‍රණයක්), සුදු සහ කහ පැහැයෙන් යුතු ලොම් කබායකින්. එසේ ම බොහෝ පොත්පත් හි කඟවේණා ප්‍රමාණයෙන් අශ්වයෙකු හා සමාන බව දක්වා තිබුණ ද පුරාණ ග්‍රීක කථාන්තර සංග්‍රහයක් වන ෆිසියොලොගස් හි සඳහන් වන්නේ ඉතාමත් කුඩා සත්ත්වයෙකු වන කඟවේණා ප්‍රමාණයෙන් එළු පැටවෙකු හා සම වන බව යි.

කඟවේණුන් ගැන සඳහන් වන බොහෝ පුරාවෘත්තයන් පදනම් වී ඇත්තේ පෙරදිග සිටි පැමිණෙන සංචාරක වෙළඳුන් විසින් ලබා දෙන තොරතුරු මත බව පැවසීම වැරදි නැහැ. මෙවැනි තොරතුරු භාවිතා කරමින් ඇරිස්ටෝටල්, ජුලියස් සීසර් සහ මාකෝ පෝලෝ වැනි ප්‍රකට පුද්ගලයින් පවා තමන්ගේ සටහන් හි කඟවේණුන් ගැන සාකච්ඡා කර තිබෙනවා. එසේ ම පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ සඳහන් වන ‘රීම්’ නම් සත්ත්වයා, කඟවේණුන් පිළිබඳ කථාන්තර ජනතාව අතර ප්‍රචලිත වීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන්නට ඇති බව යි.  

(© Tilman Piesk) බයිබලයේ දැක්වෙන ‘රීම්’ සත්ත්වයා

පාරිශුද්ධත්වයේ සංකේතයක්

බොහෝ කලා කෘතීන් හි කඟවේණා දක්වා ඇත්තේ පිරිසිදු බව සංකේතවත් කරන සුදු පැහැයෙන්. ඇතැම් මූලාශ්‍රයන් හි යහපත් සත්ත්වයින් ලෙස දැක් වුව ද සමහර ග්‍රන්ථයන්ට අනුව තමන්ගේ සොඳුරු රුවෙන් උදම් වී සිටින කඟවේණුන් ඔවුන්ගේ දවසින් වැඩි කාල සීමාවක් ගත කරන්නේ රිදියෙන් තැනූ කැඩපතක් ඉදිරියට වී තමන්ගේ රුව අගය කිරීම සඳහා යි. එසේ ම බලසම්පන්න සහ හීලෑ නොවූ සත්ත්ව කොට්ඨාසයක් වන ඔවුන් ව ග්‍රහණයට ගැනීම අතිශය අසීරු කටයුත්තක්.

© Wikimedia Commons

පුරාවෘත්තයන් හි සඳහන් වන අන්දමට කඟවේණෙකු ව අල්ලා ගැනීම සඳහා උගුලක් නිර්මාණය කළ යුතු වන අතර ඒ සඳහා කන්‍යාවකගේ සහය ද අත්‍යවශ්‍ය වෙනවා. ඒ අනුව පළමු ව කඟවේණුන් වාසය කරන හෝ වාසය කරන බවට සැක කරන වනාන්තරයක් සොයා ගත යුතු යි. ඉන් පසු ව කඟවේණා ව හීලෑ කර ගැනීමට බලාපොරොත්තු වන කන්‍යාව රුක් මුලක් හෝ ඇද වැටුණු දැව කොටයක් අසල රැඳෙමින් අදාළ සත්ත්වයා පැමිණෙන තුරු බලා සිටිය යුතු වෙනවා. ජනශ්‍රැතීන්ට අනුව පාරිශුද්ධත්වයේ සංකේතයක් වන කඟවේණා ව ආකර්ෂණය කර ගැනීමට හැකියාව පවතින්නේ ගුණවත් යුවතියකට පමණ යි.

සුව කිරීම බලය හිමි කඟවේණාගේ අඟ

සියවස් ගණනාවක් තිස්සේ කඟවේණාගේ අඟ සැලකෙන්නේ වටිනා වස්තුවක් ලෙස යි. පුරාවෘත්තයන් හි සඳහන් වන ආකාරයට මායාවී බලයන් සහිත කඟවේණාගේ අඟට ජලය පිරිසිදු කිරීමට හැකියාව පවතිනවා. එසේ ම විෂ ශරීරගත වූ විට එය උදාසීන කිරීමට ද කඟවේණ අඟට හැකි යි. මේ හේතුවෙන් පුරාණ රජවරුන් බොහෝ දෙනෙක් කඟවේණ අඟක් තමන් සතු කර ගැනීමට උත්සාහ කළ බව ඉතිහාසයේ දැක් වෙනවා. එසේ ම කඟවේණාගේ අඟ භාවිතා කරමින් රෝග සුව කිරීමට ද හැකි බව අදින් සියවස් කිහිපයකට පෙර ජීවත් වූ මිනිසුන් විශ්වාස කර තිබෙනවා.

© Feanne / Deviant Art

ජනශ්‍රැතීන් හි සඳහන් වන්නේ විෂ උරා ගැනීම සඳහා කඟවේණාගේ අඟට සුවිශේෂී හැකියාවක් පවතින බව විශ්වාස කළ එංගලන්තයේ 1 වැනි ජේම්ස් රජු ඔහුගේ සේවකයෙකුට විෂ බඳුනක් පානය කිරීමට පවා සලස්වන ලද බව යි. එසේ ම 17 වැනි සියවසේ දී පවා එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් බොහෝමයක කඟවේණ අඟ යොදා ගනිමින් සකසන ලද බව පැවසෙන ඖෂධ රාශියක් අලෙවි කරන ලද බව සඳහන්. එම ඖෂධවලට සරම්ප, ජර්මන් සරම්ප, උණ සහ මස්පිඩු වේදනාවන් වැනි රෝග සුව කිරීමට හැකි බව සඳහන් කරමින් පුවත්පත් දැන්වීම් පවා පළ වී තිබෙනවා.

සැබෑ ලෝකයේ කඟවේණුන්

කඟවේණා හුදෙක් ම මිථ්‍යා සත්ත්වයෙකු බව මේ වන විට තහවුරු වී තිබුණ ද තවමත් කඟවේණුන් සොයා දඩයමේ යන පුද්ගලයින් ද නැතුවා ම නොවෙයි. පරිසරවේදීන් සඳහන් කරන්නේ කඟවේණා යැයි වරදවා වටහාගෙන රයිනෝසිරස් සත්ත්වයින් දඩයම් කිරීම, ලෝකයේ රයිනෝසිරස් ගහනය වඳ වී යාම සඳහා ප්‍රබල හේතුවක් වී ඇති බව  යි. නමුත් රයිනෝසිරස් සත්ත්වයින් සතු අඟ සත්‍ය අඟක් නොව අඟක ස්වරූපය ගන්නා කේශර පටකයක් බව යි පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ.

(© World Wildlife Fund) දළ තල්මසුන් පිරිසක්

මිහිමත පමණක් නොව මහ සයුරේ ද කඟවේණුන්ගේ ස්වරූපය ඇති සත්ත්වයෙකු වාසය කරනවා. ‘දළ තල්මසා’ ලෙස හැඳින්වෙන එම සත්ත්ව විශේෂය තනි දළක් සහිත මධ්‍යම ප්‍රමාණයේ තල්මස් විශේෂයක්. එසේ ම ජාන විකෘතිතා හේතුවෙන් තනි අඟක් සහිත ව උපත ලබන කුර සහිත සතුන් ද සත්ත්ව ලෝකයේ දී දැක ගැනීමට ලැබෙනවා.

කවරයේ පින්තූරය : © Pinterest