Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ ඕනෑම ස්ථානයක සටන් කළ හැකි ඇමෙරිකානු නේවි සීල් බලකාය

ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අනුබද්ධ නේවි සීල් නම් (Navy SEALs) විශේෂ මෙහෙයුම් ඒකකය පිළිබඳව ඔබ අනිවාර්යයෙන් අසා ඇති. ගොඩබිම, මුහුද හා ගුවනේ ඕනෑම ස්ථානයක සටන් කළ හැකි මෙම විශේෂ බලකාය ගංගා ආශ්‍රිතව, මෝයවල්, ඩෙල්ටාවන් ආශ්‍රිතව මෙන්ම වෙරළබඩ කලාපයන්වල හා වගුරුබිම් ආශ්‍රිතව ද සටන් මෙහෙයවීමට විශේෂ පුහුණුවක් ලබා සිටිනවා.

ඔවුන් ලෝකයේ ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ ඕනෑම ප්‍රදේශයක ක්ෂණික මෙහෙයුම් සිදු කිරීම සඳහා පුහුණුකර තිබෙනවා. ඇමෙරිකාව වෙනුවෙන් වියට්නාම් යුද්ධයට මෙන්ම ගල්ෆ් යුද්ධයට සහභාගී වූ නේවි සීල් බලකාය වර්තමානය වන විට “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ” ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ සිය මෙහෙයුම් කටයුතුවල නිරතව සිටිනවා.

නේවි සීල් ආරම්භය

නේවි සීල් (Washington Times)

එක්සත් ජනපදයේ නේවි සීල් ආරම්භය දෙවන ලෝක යුද්ධ කාලය තරම් ඈතට දිව යනවා. එම කාලයේ නාවික හමුදාව තුළ නිර්මාණය වූ විශේෂ ඒකකය මේ නමින් හැඳින්වූයේ නැති වුව ද, නේවි සීල්වල ආරම්භය ලෙස එම කාලය නම් කළ හැකිය.

එක්සත් ජනපද නාවික හමුදාව තුළ නේවි සීල්, විශේෂ ඒකකයක් ලෙස ස්ථාපනය වන්නේ 1962 වසරේ දී යි. ඒ ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී යි.

නේවි සීල් කාර්යභාරය

පුහුණුව (YouTube)

ඇමෙරිකානු නාවික හමුදාවේ විශේෂ ඒකකයක් ලෙස ක්‍රියාත්මක වෙන නේවි සීල් ඒකකයේ ප්‍රධානතම කාර්යය වන්නේ රජය පවසන ඕනෑම මොහොතක ලෝකයේ ඕනෑම ගොඩබිමක, සාගරයක හෝ ගුවන් සීමාවක තම විශේෂ මෙහෙයුම් ක්ෂණිකයෙන් ක්‍රියාත්මක කිරීම යි.

CIA ආයතනයේ මඟපෙන්වීම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය රාජ්‍ය සතුරන් මෙන්ම ලෝකයේ ඕනෑම ස්ථානයක සිටින ත්‍රස්තයන් ද අල්ලාගැනීමේ හෝ විනාශ කිරීමේ මෙහෙයුම් වැඩිම ප්‍රමාණයක් දියත් කරන්නේ නේවි සීල් භටයන් විසින්.

විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පෙර ලෝකයේ ඕනෑම රටකට එම රජයේ අවසර මත හෝ හොර රහසේ ඇතුල් වී මෙහෙයුම් සඳහා ඔත්තු බැලීම මෙන්ම, වැදගත් තොරතුරු රැස්කර ගැනීම බුද්ධි මෙහෙයුම් දියත් කිරීම ද සිදු කරන්නේ මොවුන්.

ඉලක්ක සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් කුඩා කණ්ඩායම් වශයෙන් ඕනෑම මෙහෙයුමක් සඳහා සහභාගී වී දැවැන්ත ප්‍රහාර එල්ලකර පලා යාම ද මෙම භටයන්ට පැවරෙන වගකීමක් ලෙස සදහන් කළ හැකි යි.

ජලය යට කෙරෙන සටන් සඳහා ද ලෝකයේ අනෙකුත් විශේෂ ඒකකවලට වඩා වැඩි දක්ෂතාවයක් පෙන්නුම් කරන නේවි සීල් භටයන්, ඕනෑම වර්ගයේ ස්වභාවික බාධකයන් මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන ඕනෑම බාධකයක් බිදහෙලා යාමට තරම් බුද්ධියෙන්, තාක්ෂණයෙන්, හා ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්ත යි.

ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව

මැදපෙරදිග මෙහෙයුම් (Al-Masdar News)

නේවි සීල් භටයන් පුහුණු කරවන්නේ ලෝකයේ ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ විශේෂ මෙහෙයුම් සිදු කිරීමට යි. ඔවුන්ට වෙරළබඩ ද, ගැඹුරු සාගරයේ ද, නාගරික ප්‍රදේශවල ද, එසේත් නැතිනම් කාන්තාර ප්‍රදේශයවල ද, වනාන්තරවල ද, නැතහොත් කඳුකර ප්‍රදේශය ද යන්න අදාළ වන්නේ නෑ.

මෙහෙයුම් සඳහා සහභාගී වීමට හෙලිකොප්ටර් යානා, සබ්මැරීන, පැරෂුට්, අති වේගවත් බෝට්ටු භාවිතා කරනවා. එහෙම නැතිනම් විශාල දුරක් පිහිනීමෙන් හෝ දිව යාමෙන් ද අදාළ ස්ථානයට ළඟා වෙනවා.

සාමාන්‍ය හමුදා භටයන් විශාල ගණනාවක් සහභාගී විය යුතු මෙහෙයුම්, නේවි සීල් භටයන් කුඩා කණ්ඩායමක් සහභාගී වී සාර්ථකව නිමකරනවා.

නේවි සීල් සඳහා බඳවා ගැනීම

නේවි සීල් භටයන් ගුවනේ (US Navy Seal team news)

අවුරුදු 28ට වඩා අඩු ඇමෙරිකානු ජාතික තරුණයන් හා තරුණියන් මේ සඳහා බඳවාගනු ලබනවා. 2015 වසරෙන් පසුව තරුණියන් සඳහා ද මෙම විශේෂ ඒකකයේ ඉඩ වෙන් කර තිබෙනවා. ඉතා අසීරු තෝරා ගැනීමේ පරීක්ෂණ ක්‍රමවේදයක් මෙහිදී ක්‍රියාත්මක වෙනවා. මෙහිදී ආධුනිකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය මෙන්ම මානසික යෝග්‍යතාවය ද මැන බැලීම සඳහා පරීක්ෂණ කිහිපයක් පැවැත්වෙනවා.

තෝරාගන්නා භටයන් මානසික හා කායික ශක්තියෙන් ඉතාමත් උසස්, ඕනෑම අවස්ථාවකට ඔරොත්තු දෙන ආකාරයේ අය විය යුතු යි. ඊට අමතරව දරා ගැනීමේ හැකියාව හා කණ්ඩායම් හැඟීම ද පරික්ෂා කරනු ලබනවා. භටයන් තෝරා ගැනීම සඳහා සහභාගී වන්නේ ඒ සඳහා විශේෂ පුහුණුව ලැබූ විශේෂඥයන් කණ්ඩායමක්.

පුහුණුව

හිමේ සටන් පුහුණුව (NAVY SEAL + SWCC)

තෝරා ගන්නා ආධුනික භටයන් සඳහා සති අටක මූලික නාවික පුහුණු පාඨමාලාවක් පැවැත්වෙනවා. ඉන් අනතුරුව තවත් සති අටක කාලයක් පුරාවට උසස් නාවික පුහුණු පාඨමාලාවක් ක්‍රියාත්මක කෙරෙනවා.

එය අවසන් වූ පසු සති 24ක් පුරාවට දිය යට සටන් පුහුණව සඳහා භටයන් යොමු කෙරවෙනවා. අනතුරුව සති 5ක් තිස්සේ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් පැරෂුට් පුහුණු පාසලක පැරෂුට් පාඨමාලාවක් සඳහා යොමු කරවනවා. ඉන්පසු තවත් සති 26ක් පුරාවට සිදුකෙරෙන්නේ උසස් සීල් බලකා පුහුණුව භටයන් වෙත ලබා දීම යි.

දිය යට පුහුණුව (Business Insider)

මෙම පුහුණුවෙන් අනතුරුව ඔවුන් නේවි සීල් බලකායේ විවිධ උප කණ්ඩායම් වෙත අනුයුක්ත කරනවා. එම කණ්ඩායම් නේවි සීල් පළමු කණ්ඩායම, දෙවන කණ්ඩායම, තෙවන ආදී ලෙස හදුන්වනවා. වර්තමානය වන විට උප කන්ඩායම් ගණන 12කින් සමන්විත යි.

ඉන් කණ්ඩායම් කිහිපයක් මැදපෙරදිග මෙහෙයුම් කටයුතුවලට ප්‍රවීණයන් වන අතර තවත් කණ්ඩායම් කිහිපයක් ලෝකය වටා මෙහෙයුම්වලට ප්‍රවීණයන් වෙනවා. තවත් කණ්ඩායම් කිහිපයක් ඉන්දියන් සාගරය හා පැසිපික් සාගරය වැනි විවිධ සාගරයන්හි මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණුව ලබා තිබෙනවා.

ජෝර්ජ් බුෂ් විසින් ආරම්භ කරන ලද “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ” ඇෆ්ගනිස්තානය ඉරාකය හා සිරියාව ඇතුළු රටවල්වල ප්‍රධාන මෙහෙයුම් දියත් කරන්නේ නේවි සීල් ඒකක යි. එම මෙහෙයුම් යටතේ 2011 වසරේ මැයි මාසයේ දී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන්නේත් නේවි සීල් බලකා භටයන් කණ්ඩායමක් විසින්.

කවරයේ පින්තූරය - NAVY SEAL + SWCC

මූලාශ්‍රයයන් -

navy.com

military.com

sealswcc.com

navysealfoundation.org

Related Articles