Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්ද බලයේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ඡන්ද අයිතියේ ඉතිහාසය දෙස බලන විට පුරවැසියන්ට ඡන්ද අයිතිය හිමි වූ ආසියාවේ පැරණිම රටවල් අතරට මෙරට එක් වන බව දකින්න පුළුවන්. මෙරටට කුමක් හෝ ඡන්ද අයිතියක් හිමි වන්නේ 1910 වසරේ දී ගෙන ආ කෲව්-මැකලම් ප‍්‍රතිසංස්කරණ හරහා යි. එහි දී ව්‍යවස්ථාදායකය සඳහා සාමාජිකයන් කිහිපදෙනක් පත් කර ගැනීමට මෙරට සීමිත කොට්ඨාසයකට පමණක් ඡන්ද අයිතිය හිමි වුණා. එය අප, සීමිත ඡන්ද බලය මෙරටට හිමි වීම ලෙස සඳහන් කරනවා.

1931 වසරේ දී ලංකාවේ ක්‍රියාත්මක වූ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් මෙරටට සර්වජන ඡන්ද බලය ලැබෙනවා. එහි තේරුම වන්නේ ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති සියලු පුරවැසියන්ට කිසිදු වෙනස්කමකින් තොරව ඡන්ද අයිතිය ලබා දීම යි. එහි වයස් සීමාව වූයේ වයස අවුරුදු 21 යි. පසුව බණ්ඩාරනායක ආණ්ඩු සමයේ එනම්, 1959 වසරේ දී පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවක් මඟින් ඡන්දය ලබා දීමේ අයිතිය වයස අවුරුදු 18ට වඩා වැඩි සියලු පුරවැසියන් සඳහා හිමි වෙනවා. ඒ අනුව මේ යටතේ පළමු මහා මැතිවරණය 1960 වසරේ මාර්තු මාසයේ දී පැවැත්වෙනවා.

ජනතා පරමාධිපත්‍ය බලයේ එක් අංගයක් වන ඡන්ද අයිතිය 

ඡන්ද අයිතිය යනු ජනතා පරමාධිපත්‍ය යටතට ගැනෙන එක් අංගයකි. (newsfirst)

ජනතාව විසින් ජනතාව පාලනය කිරීම සඳහා යොදා ගනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය යටතේ ඡන්ද අයිතිය යනු ජනතා පරමාධිපත්‍ය යටතට ගැනෙන එක් බලයක් ලෙස හැඳින්විය හැකි යි. නියෝජිත ප්‍රජාත්නත්‍රවාදය යටතේ ජනතාව විධායක ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායකය තෝරා පත් කරගැනීම සඳහා තම පරමාධිපත්‍ය අංගයක් වන ඡන්ද අයිතිය භාවිතා කරනවා. මෙරට පුරවැසියාට ඡන්ද අයිතිය හිමි වීමේ ඉතිහාසය 1910 වසර දක්වා දිව යනවා. එහි පළමු අවස්ථාව වන්නේ එම වසරේ ක්‍රියාත්මක වූ කෲව්-මැකලම් ප‍්‍රතිසංස්කරණය යි. 

ව්‍යවස්ථා සභාවට 4 දෙනෙකු සීමිත ඡන්දයකින් තෝරාගැනීමට යෝජනා වූ කෲව්-මැකලම් ප‍්‍රතිසංස්කරණ

මුල් කාලයේ ලංකාවට හිමි වූයේ සීමිත ඡන්ද අයිතියක් පමණි. (trtworld)

ලංකාවේ පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය හඳුන්වන්නේ 1833 ක්‍රියාත්මක වූ කෝල්බෲක්-කැමරන් ප‍්‍රතිසංස්කරණ යි. ඉන්පසුව, 1910 තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් නොවූ අතර ම කෝල්බෲක්-කැමරන් ප‍්‍රතිසංස්කරණවලින් යෝජනා වූ දේවල් ක්‍රියාත්මක නොවීම නිසා රටේ බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරීන් අතර ද යම් නොසන්සුන්තාවයක් නිර්මාණය වෙනවා.

කෲව්-මැකලම් ප‍්‍රතිසංස්කරණ යටතේ ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථාදායකයේ බලතල පුළුල් කරමින්. ව්‍යවස්ථාදායක සභාවේ සභික සංඛ්‍යාව 21 දක්වා වැඩි කිරීම සඳහා යෝජනා වෙනවා. මෙහි දී නිල ලත් මන්ත්‍රීවරු සංඛ්‍යාවට වඩා නිල නොලත් මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරන ලෙස ඉල්ලා සිටියත් එය ක්‍රියාත්මක වන්නේ නෑ. බොහෝ දෙනෙක් නිල නොලත් මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරන ලෙස ඉල්ලා සිටින්නේ ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කිරීම සඳහා යි. නමුත් එය සාර්ථක වන්නේ නෑ. නිල නොලත් නියෝජිතයන් 10 දෙනෙක් මේ ඔස්සේ පත් කෙරෙන අතර, එලෙස පත් වන සාමාජිකයන් 4 දෙනෙක් සීමිත ඡන්දයකින් තෝරා පත් කරගැනීමට යෝජනා වෙනවා. සීමිත ඡන්ද බලය යටතේ උගත්, රුපියල් 1,500ට නොඅඩු වාර්ෂික ආදායමක් හෝ වැටුපක් හිමි අවුරුදු 21ට වඩා වැඩි පිරිමින්ට පමණක් ඡන්ද බලය හිමි වෙනවා. ඒ අනුව කාන්තාවන්ට හෝ අඩු ආදායම්ලාභීන්ට ඡන්ද බලය ලැබෙන්නේ නෑ.

එලෙස ඡන්ද බලයෙන් යුරෝපීයයන් දෙදෙනෙක්, බර්ගර් ජාතිකයෙකු හා එක් උගත් ලාංකිකයෙකු තෝරා පත් කරගනු ලබනවා. උගත් ලාංකිකයා වන්නේ පොන්නම්බලම් රාමනාදන්. 

ඡන්ද බලය වයස අවුරුදු 21ට වැඩි සියලු දෙනාට ලබා දීම 

ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 වසරේ දී යි. (groundviews)

1931 වර්ෂයේ දී ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ යෝජනා අනුව ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබෙනවා. සර්වජන ඡන්ද බලය ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම මඟින් මෙලෙස අර්ථ දක්වා තිබෙනවා.

“රටක සුදුසුකම් සැපිරූ සියලු පුරවැසියන්ට, ජාතිය, ආගම, භාෂාව, වර්ගය, කුලය, අධ්‍යාපනය, දේපළ  හිමිකම, උපත, උපන් ස්ථානය, ස්ත්‍රී/පුරුෂ භාවය ආදී කිසිදු වෙනස්කමකින් තොරව පාලන බලයට හවුල් වීමේ අයිතිය හා/හෝ තමන්ගේ නියෝජිතයින් පත් කරගැනීමට ඇති අයිතිය යි.” 

සර්වජන ඡන්ද බලයේ දී වයස අවුරුදු 21ට වඩා වැඩි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඡන්ද අයිතිය හිමි වෙන අතර, මෙරටට සර්ව ජන ඡන්ද බලය ලැබෙන්නේ ආසියාවේ එකම රටකටවත් එම වරප්‍රසාදය නොලැබී තිබූ අවස්‌ථාවක වීම ද විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකි යි. නමුත්, මෙම සංශෝධනයට එවකට සිටි ලාංකික දේශපාලඥයන්ගෙන් සමහරක් අකමැති වූ බව ද සඳහන් වෙනවා.

18ට වඩා වැඩි සියලු දෙනාට ඡන්ද අයිතිය හිමි වීම 

ඡන්දය ප්‍රකාශ කිරීම ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලු දෙනාගේ වගකීමකි. (open)

බණ්ඩාරනායක ආණ්ඩු සමයේ එනම්,1959 අංක 11 දරන මැතිවරණ සංශෝධන පනත මඟින් සර්වජන ඡන්ද බලය සඳහා හිමිකම් ලබන වයස අවුරුදු 21 සිට අවුරුදු 18 දක්වා අඩු කරනු ලබනවා. 1959 මැයි මස සහතික කරනු ලැබූ නාම ලේඛනයේ සිට නාම ලේඛන ගෘහ අංක පිළිබඳව සකස්‌ කිරීම ආරම්භ කරනවා. 

මේ පනත සඳහාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනක් සිය අකමැත්ත තදින් එල්ල කර සිටිනවා. විශේෂයෙන් එවකට විපක්ෂයේ සිටි සර් ජෝන් කොතලාවල එය හඳුන්වන්නේ ‘වඳුරන්ට ඡන්ද අයිතිය ලබා දීමක්’ ලෙස යි.

වර්තමානය වන විට ලංකාවේ වයස අවුරුදු 18 සම්පුර්ණ වූ අයට ඡන්ද අයිතිය හිමි වන අතර, ලෝකයේ බොහෝ රටවල ද එම සීමාව 18 ලෙස පවතිනවා. යුරෝපයේ රටවල් කිහිපයක් ඇතුළු තවත් රටවල් කිහිපයක එය 16 දක්වා පහළ හෙලා ඇති අතර, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ඡන්ද අයිතිය හිමි වන්නේ වයස අවුරුදු 25 සම්පූර්ණ වූ පසුව යි.

කවරයේ පින්තූරය- wp.com

මූලාශ්‍රය- elections.gov.lk

Related Articles