Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අප්‍රසන්න අවස්ථා

රටක පාර්ලිමේන්තුව යනු එම රටේ උත්තරීත්තර ආයතන අතරින් එක් ආයතනයක් වන අතර රට පාලනය කිරීමට අවශ්‍ය නීති සියල්ල නිර්මාණය වෙන්නේ මෙතනින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු අනෙකුත් සියළුම අණපනත් ඉදිරිපත් කර සම්මත කරගනු ලබන්නේ පාර්ලිමේන්තුවේදීයි. පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා එහි උත්තරීතර භාවයට හා කථානායකවරයාට සියළු මැතිඇමති වරුන් ගෞරව කළ යුතු අතර ඒ පිළිබඳව ඔවුන් සියළුදෙනා වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා.

නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඉහත කී ගුණාංග ඇත්දැයි පොදු ජනතාව වන අපට ඇත්තේ සැකයක්. රට පාලනය කරන්නට පත් කර යවන මහජන නියෝජිතයන් ඒ බව අමතක කර කිසිදු ගරුසරුවක් නොමැතිව පාර්ලිමේන්තු ගර්භය තුළ විනය නීතින් තඹයකට මායිම් නොකර ගැටුම් ඇතිකරගත් අවස්ථා ඕනෑ තරම් පාර්ලිමේන්තු ඉතිහාසය පුරා දකින්නට පුළුවන්.

ජනතාව විසින් මහජන සේවය උදෙසා පත්කර යවන පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් තම වගකීම පිළිබඳව නොසිතා අප්‍රසන්නව කටයුතු කළ ප්‍රධාන අවස්ථා තුනක් පිළිබඳවයි අද අපි ඔබ වෙත ගෙන එන්නේ. මීට අමතරව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ යකා නටපු අවස්ථා පිළිබඳව ඔබ දැනුවත් අවස්ථා comment එකකින් සටහන් කර යන්න පුළුවන්.

01. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ මුෂ්ටි ප්‍රහාරය

පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා විසින් පහර දීම ආරම්භ කිරීම (ITN News)

2016 වසරේ මැයි 03 වන දින පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් හිටපු ජනාධිපතිවරයාට වර්තමානයේ සලසා ඇති ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් නගන අතර එයට පිළිතුරු දීම සඳහා ඔවුන් අපේක්ෂා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහයි. නමුත් පිළිතුරු දීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් එය නියෝජ්‍ය අමාත්‍ය සරත් ෆොන්සේකා වෙත ලබා දෙනවා.

මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගැබට පිවිසෙනවා. සරත් ෆොන්සේකාට, අගමැතිවරයාට හා කතානායකවරයාට විරුද්ධව කෑ ගසන ඔවුන් අතරින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සරත් ෆොන්සේකා කතා කිරීමට විරුද්ධව කතානායකවරයාට මෙසේ ප්‍රකාශ කරනවා. “අගමැති වෙනුවට මුරකාරයාට දෙන්නේ නෑ කතානායක.” මේ කාලගෝට්ටිය අතරතුර සෙංකෝලයට අත තබන්නට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා උත්සාහ කළත් වේත්‍රධාරියා විසින් එය වළක්වනවා.

ඇමතිවරයාට කතාව නවත්වන ලෙස දිගින් දිගට බලකරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස අතර සිටි ප්‍රසන්න රණවීර හා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුව අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාම හේතුවෙන් ඇමති තෙවරප්පෙරුම විසින් රණවීර මන්ත්‍රීවරයාට පහර දෙනවා.

ඉන්පසු තමයි ගැටුම නිර්මාණය වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දිත් සමරසිංහ ගැටුමට දායක වෙනවා. මෙහිදී ඔහු තුවාල ලබා රෝහල් ගත වීමක් පවා සිදු වෙනවා. ගැටුම සම්බන්ධව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කළ අතර එහි නිර්දේශ මත ගැටුමේ ආරම්භකරුවන් ලෙස ප්‍රසන්න රණවීර හා පාලිත තෙවරප්පෙරුම නම් කර ඔවුන්ගේ පාර්ලිමේන්තු සහභාගීත්වය දින 7කට තහනම් කරනවා.

ගැටුම ආරම්භ වූ ආකාරය පිළිබඳව මේ වීඩියෝවෙන් නරඹන්නට පුළුවන්.

2. හෙළ උරුමයේ හිමිවරුන්ට රෝහල් ගතවෙන්නට පහරදීම

කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමි රෝහල් ගතකර (Alamy)

2004 වසරේ ජුනි මාසයේ 8 වනදා රැස් වූ පාර්ලිමේන්තුවේදී එම වසරේ පැවැත්වුණු නව මැතිවරණයෙන් හෙළ උරුමය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ අක්මීමන දයාරත්න හිමියන් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබුණා.

නමුත් අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හා මන්ත්‍රී විමල් වීරවංශ දිගින් දිගටම ප්‍රකාශ කරන ලද්දේ දිවුරුම් දීමට එරෙහිව වාරණ නියෝගයක් ලැබී ඇති බැවින් එම හිමියන්ට දිවුරුම් දිය නොහැකි බවයි. එවකට කතානායකවරයා වූ වි.ජ.මු. ලොකු බණ්ඩාර විසින් එවැනි අධිකරණ නියෝගයක් පාර්ලිමේන්තුවට ලැබී නොමැති බැවින් දයාරත්න හිමිට දිවුරුම් දීම සඳහා අවස්ථාව ලබා දෙනවා.

හිමියන් දිවුරුම් දීම සඳහා සභා ගර්භයට පිවිසෙනවාත් සමඟම ආණ්ඩු පක්ෂයේ විශාල මන්ත්‍රීවරු පිරිසක් පැමිණ මග හරස් කර දයාරත්න හිමියන් අල්ලා ගන්නවා. විපක්ෂයේ මන්ත්‍රීවරුද මේ අවස්ථාවට පිවිසෙන අතර ඒ දෙපිරිස අතරද උණුසුම් තත්වයක් ඇතිවෙනවා. ඒ අතර ජීවන් කුමාරණතුංග ඇමතිවරයා හා මහින්දානන්ද අලුත්ගමගේ විස්න් හිමිනම වැරෙන් අල්ලාගෙන සිටින්නේ ඉදිරියට යාමට නොදෙමින්. දයාරත්න හිමියන් බේරා ගැනීමට පැමිණෙන හෙළ උරුමයේ ජාතික සංවිධායක කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමියන්ටත් පහරදීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ හා මර්වින් සිල්වා යන මන්ත්‍රීවරුන් උත්සාහ දරනවා.මේ අතරතුර පාර්ලිමේන්තුවේ සෙංකෝලය අස්ථානගත වන අතර එය සොයා ගැනීමට බොහෝ වෙලාවක් ගත වෙනවා.

කෙසේ හෝ ගැටුම අවසන් වන්නේ හිමිවරු දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසුවයි. දයාරත්න හිමියන්ගේ උරහිසට පහර දෙන්නටත් සුමංගල හිමියන්ගේ ලිංගික අවයව මිරිකීමටත් තරම් මන්ත්‍රීවරුන් පහත් තත්වයකට පත් වී තිබීම ඉතා කණගාටුදායක බව සදහන් කළ යුතු වෙනවා. පාර්ලිමේන්තුව තුළ කිසිදු මන්ත්‍රීවරයෙකුට කිසිදු සිද්ධියක් වීඩියෝගත කළ නොහැකි වූවත් මන්ත්‍රී විමල් විරවංශ තම ජංගම දුරකතනයෙන් ගැටුම වීඩියෝ කරන ආකාරයත් දැක ගන්නට පුළුවන්.

මේ කණගාටුදායක සිදුවීමේ වීඩියෝව ඔබට නරඹන්නට පුළුවන්.

03. පොලීසියෙන් පැමිණ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභාවෙන් ඉවත් කිරීම

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉවත් කිරීමට පැමිණි පොලීසිය (Sri Lanka News Live)

2017 වසරේ මාර්තු 8 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ විසින් තම පක්ෂයට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටීමට ඉඩ නොදෙන බව කතානායකවරයාට ලිඛිතව දැනුම්දීම මඟින් ඇති වූ උණුසුම් තත්වය හේතුවෙන් එදින පාර්ලිමේන්තුව සිව් වරක් අත් හිටුවීමට කතානායක කරූ ජයසූරිය තීරණය කරනවා.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විනය විරෝධී ලෙස දිගින් දිගටම කතානායකවරයාට හා සභාවට බධා එල්ල කරනු ලබනවා. ඔහුට කතානායකවරයා විසින් අනතුරු අඟවන නමුත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා එය මායිම් නොකරමින් දිගින් දිගටම බාධා කරනු ලබනවා. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුකූලව සභාවෙන් ඉවත්ව යන ලෙස කතානායකවරයා විසින් ඔහුට දැනුම් දී පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තබනවා.

නැවත සභාව රැස් වීමේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා රැඳී සිටීමෙන් නැවතත් උණුසුම් තත්වයක් හටගන්නා අතර ඔහුව සභාවෙන් ඉවත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගෙන්වීමට කතානායකවරයාට සිදු වෙනවා.

ඉන්පසු ජන්ද විමසීමකින් මන්ත්‍රීවරයාට සතියක කාලයක් පාර්ලිමේන්තු සභාව තහනම් කරනවා. එම සිදුවීම ඔබට මෙම වීඩියෝවෙන් නරඹන්නට පුළුවන්.

ඉහත විස්තරාත්මක සිදුවීම් වලට අමතරව තවත් ගැටුම් ලෙස, බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වූ විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතර තුර ඩඩ්ලි සේනානායක විසින් මෛත්‍රීපාල සේනානායකට පහරදීමට උත්සාහ දැරීම, 1974දී එකම පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකු වූ සෞඛ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.පී.ජී. ආරියදාසට එවකට කර්මාන්ත අමාත්‍ය එස්.කේ.කේ සූරිආරච්චි විසින් පහරදීම වැනි සිදුවීම්ද සිහි කළ හැකියි.

කවරයේ ජායාරූපය – Sunday Times

මුලාශ්‍ර – Wikipedia, YouTube, www.watapita.com, colombopage.com, dailynews

Related Articles